සර්කස්කාරයෝ නාට්‍ය ‍ෙය් අංකූරා- විහඟ ගීත්මාල්

gossiplanka image 1
 විහඟ ගීත්මාල් යනු ළමා රංගන ශිල්පීන් අතර මේ දිනවල කාගෙත් අවධානයට හා කතා බහට ලක්වන දක්ෂ රංගන ශිල්පියෙකි. ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියත්වයට පත් වූ ටෙලි නාට්‍යය කීපයකින්ම ඔහුගේ රංගන කුසලතාව මැනවින් නිරූපණය කර ඇත. ‘සර්කස්කාරයෝ, පහේ ළමයි, පිරිමි ළමයි‘ වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය කිපයකින්ම ඔහු ප්‍රේක්ෂකයා හමුවට පැමිණියේය. කලා ලොවේ සාර්ථක ගමනක් යාමට අදිටන් කර සිටින ඔහු සමඟ කළ කතා බහකි මේ.


විහඟ ඔයාගේ අලුත් විස්තර මොනවද?


මේ දවස්වල පාසල් වැඩයි, රඟපෑම් කටයුතුයි දෙකම සමබරව කරගෙන යනවා. මට දැන් වයස අවුරුදු 14යි. ඉගෙන ගන්නේ මහර ජනාධිපති විද්‍යාලයේ 9 ශ්‍රේණියේ. මම ඉන්නේ කඩවත. මගෙ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි, මමයි.


දැන් ඔබ අපට නිතර නිතර නිර්මාණවලින් දකින්න ලැබෙන ළමා රංගන ශිල්පියෙක්. කොහොමද ඒ ගමනේ ආරම්භය?


මම කලා කටයුතුවලට කියලා මුලින්ම සම්බන්ධ වෙන්නේ ගීතයක මියුසික් වීඩියෝ එකක රඟපාන්න. එතකොට මං තුන වසරේ හෝ හතර වසරේ ඉගෙන ගත්තේ.


මගේ පළවෙනි ටෙලි නාට්‍යය රංගන අත්දැකීම තමයි සිරස නාළිකාවේ විකාශය වුණු සද්ධාමංගල සූරියබණ්ඩාර මාමා ගේ ‘සර්කස්කාරයෝ‘ ටෙලි නාට්‍යය. ඒකෙ මගේ චරිතය වුණේ ‘අංකූරා‘. ඒ නාට්‍යයේදී ප්‍රවීණ රංගන ශිල්පී නැන්දලා මාමලා එක්ක වැඩ කරන්න ලැබීම මට ලොකු භාග්‍යයක්. සීන් එකක් කරන කොට දෙබස් කියන්නේ කොහොමද, ඒකෙ ටෝන් එක එන්න ඕන කොහොමද වගේ ගොඩක් දේවල් මම එයාලගෙන් ඉගෙන ගත්තා.


කැමරාවක් ඉස්සරහ රඟපාන්න බය හිතුනේ නැද්ද?


පොඩි කාලේ මියුසික් වීඩියෝ වලට ඉඳලා තියෙන නිසා ටෙලි නාට්‍යය රංගනය මට නුහුරු අත්දැකීමක් වුණේ නැහැ. ඒක නිසා කැමරාව ඉස්සරහ රඟපාන්න මගෙ හිතේ ලැජ්ජාවක්, බයක් තිබුණේ නැහැ.


ඔයා ප්‍රේක්ෂකයා අතර වඩාත් ජනප්‍රිය වුණේ මොන චරිතයෙන්ද?


ප්‍රේක්ෂකයා අතර මම ජනප්‍රිය වුණේ ‘සර්කස්කාරයෝ‘ නාට්‍යයේ ‘අංකූරා‘ ගේ චරිතයෙන්. ඒ චරිතයට මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.


විහඟ රඟපාන කොට මුහුණ දුන්න අමතක නොවෙන සිදුවීම් මොනවද?


අමතක නොවෙන සිදුවීමක් කියලා ගත්තොත් මම රඟපාපු ස්වර්ණවාහීනි යේ විකාශය වුණු ‘පිරිමි ළමයි‘ ටෙලි නාට්‍යයේ එක සීන් එකකදී නෝරා කෙසෙල් කැනක් අරන් අපට ගහන්න එළවගෙන එනවා. ඒක නම් අමතක වෙන්නේ නැහැ. ඒ නාට්‍යයේ මගේ චරිතය ‘පැටියා‘.


විහඟට ගොඩක් දුරට ලැබෙන්නේ කටකාර, දඟකාර චරිත නේද? සැබෑ ජීවිතේදිත් ඔයා දඟකාර, කටකාර කෙනෙක්ද ?


අපොයි ඔව්….ටිකක් විතර මම එහෙම තමයි.


ඉදිරියට අලුත් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබිලා තියෙනවද ?


‘අලුත් සර්‘ සහ ‘සිරි‘ කියලා ටෙලි නාට්‍ය දෙකේ මේ දවස්වල ඉන්නවා. ගොඩක් නාට්‍යයවලට මට ආරාධනා ලැබෙනවා. ඒත් පාසල් වැඩත් එක්ක ඒ නාට්‍ය සේරම භාර ගන්න අමාරුයි. අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දීලා වැඩ කරන්න ඕන. ඊට අමතරව මට වෙළඳ දැන්වීම්වලටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ආරාධනා ලැබෙන වෙලාවට මට මොකක් හෝ වෙනත් වැඩක් යෙදිලා තියෙන නිසා ඒ වැඩවලට සම්බන්ධ වෙන්න විදිහක් නැති වුණා.


ඔබේ අධ්‍යාපන කටයුතු කොහොමද?


මම කැමතිම විෂයය විද්‍යාව. ක්‍රීඩාවක් විදිහට පිහිනුම් ක්‍රීඩාවේ නිරත වෙනවා. විනෝදාංශ නම් පොත් කියවන්න, නව නිර්මාණ කරන්න තමයි මම වැඩිපුරම කැමති.


මොකද්ද ඔයාගේ අනාගත බලාපොරොත්තුව ?


අනාගතයේදී මම කැමතියි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්නත්, දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට කලා ක්ෂේත්‍රයේ වැඩ කරන්නත් තමයි.


ඔයාට මේ තැනට එන්න අත දුන්න අය කවුද?


සද්ධා මංගල සූරියබණ්ඩාර මාමා, සිවගුරුනාදන් මාමා, මහේෂ් කරුණාරත්න මාමා වගේම ෂාන් අයියා ඇතුළු මට රංගනය සඳහා උදවු උපකාර කරපු හැමෝම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ අම්මයි තාත්තයි මා වෙනුවෙන් කරන කැපවීම්, මට නිදහස දීලා තිබෙන නිසයි අද මට මෙහෙම ඉන්න පුළුවන්කම තියෙන්නේ.

gossiplanka image 1
gossiplanka image 2
Previous Post Next Post