රොෂාන් රඟපායි – පුතා සින්දු කියයි

gossiplanka image 1
 

ක්ලැරන්ස් මහත්මයාගෙසින්දුවලට ආසයි – මිනෙත්අධ්‍යක්‍ෂණයට තවම සූදානමක් නෑ… රොෂාන්වගා කරන්නත් කැමතියි… මිනෙත්මොණරවිලක් 24 එනවා – රොෂාන්


තාත්තයි පුතයි එකම චිත්‍රපටයේ වැඩ කරනවා කියන්නේ මොනතරම් සුන්දර අත්දැකීමක්ද? අපි අද කතා බහ කරන්න සූදානම් වෙන කතානායකයාගේ පුතයි ඔහුයි පසුගිය 16 වැනිදා ඉඳලා තිරගත කිරීම ආරම්භ කරපු ‘My සිම්බා’ සිනමා නිර්මාණයේ එකට වැඩ කරනවා. තාත්තා තමයි රොෂාන් රණවන, පුතා මිනෙත් රණවන ‘My සිම්බා’ චිත්‍රපටයට ගායනයෙන් දායකවෙනවා. ඔය අතරේ රසික ලියනගේ අධ්‍යක්‍ෂණය කළ ‘මොණර විලක්’ චිත්‍රපටයේ ඔසඳගේ චරිතය තුළින් එළැඹෙන 24 වැනිදා ඉඳලා සිනමාහල්වලට ගොඩවෙනවා. ඉතිං කාලෙකට පස්සේ චිත්‍රපට දෙකක් එකවර තිරගත වෙන වෙලාවේ රොෂාන් එක්ක වගේම ඔහුගේ පුංචි පුතු මිනෙත් එක්කත් කතාබහක නිරත වුණා.


චිත්‍රපට දෙකක් එකවර තිරගත කිරීම වෙනස්ම අත්දැකීමක්. ‘My සිම්බා’ චිත්‍රපටය සඳහා සජීවී සිංහයකු රූගත කිරීමට එකතු කරගෙන තියෙනවා. ඒක මම හිතන්නේ ලංකාවේ පළමුවතාවට සිද්ධ වුණු දෙයක්. ඉන්දියානු චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණු JK කියන අධ්‍යක්ෂවරයා තමයි මේක අධ්‍යක්‍ෂණය සිදුකළේ. ඔය අතරේ මෙහි පසුබිම් ගායනයට ඉන්දියානු ශිල්පීන් කිහිපදෙනකුත් සහභාගි වෙනවා.


ඔය අතරේ මගේ පුතා මිනෙත් මෙහි පසුබිම් ගායනයෙන් එකතුවෙනවා. මේ චිත්‍රපටයට මිනෙත් ගායනයෙන් එකතුවෙනකොට ඔහුට අවුරුදු හතරයි. දැන් ඔහුට වයස අවුරුදු හයයි. තාත්තා රඟපාන චිත්‍රපටයේ පුතා සින්දු කියනවා කියන්නේ හරි අපූරු අත්දැකීමක්. අවුරුදු හතරේදී පුතා සිනමාවට එක්වුණහම තාත්තා කෙනෙක් විදිහට ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක්.


ඒත් එක්කම මම කාලෙකට කලින් රඟපෑ මොණරවිලක් චිත්‍රපටයත් 24 වැනිදා ඉඳලා සිනමාහල්වලට එනවා. ඒකෙත් ප්‍රවීණයන් රැසක් එක්ක වැඩ කළා. ඔවුන්ගෙන් දෙන්නෙක් තුන්දෙනෙක් විතර ජීවතුන් අතරත් නැහැ. නිළි රැජින මාලනී ෆොන්සේකා වගේම දර්ශන ධර්මරාජ් ඒ අතර සුවිශේෂයි. කොහොම නමුත් එකවර චිත්‍රපට දෙකක් තිරගතවීම සුවිශේෂී අත්දැකීමක් කියලයි රොෂාන් අපිට කිව්වේ.


My සිම්බා ගැන රොෂාන්ගේ පුතා මිනෙත් අපිත් එක්ක කතාබහකට එකතු වුණා. ඒකත් හරි සුන්දර කතාවක්.


මට හරි සන්තෝෂයි. මම තාත්තා ඉන්න චිත්‍රපටයක සින්දු කිව්වානේ. ‘කැලේ රජා’ කියන සින්දුව තමයි මම කිව්වේ. තාත්තා වගේම හැමෝමත් මම සින්දු කිව්වා හරි ලස්සනයි කිව්වා.


මම ඉස්කෝලේ යන්නේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට. මම තවම ඉස්කෝලේ එක වසරේ. මම සරණි කියලා චිත්‍රපටයකත් රඟපෑවා. ඒකත් ඉස්සරහට එන්න තියෙනවා. තාත්තා රඟපෑව ‘ලොක්ඩවුන්’ චිත්‍රපටය තමයි මම මුලින්ම බැලුවේ. තාත්තාව ලොකු ස්ක්‍රීන් එකේ දැක්කම මටත් රඟපාන්න ආස හිතුණා.


මිනෙත් ලොකු වුණහම කවුරු වෙන්නද කියලා ඇහැව්වහම හරි අපූරු උත්තරයක් දුන්නා.


මම ආසයි ප්ලේන්එකේ වැඩ කරන්න. සින්දු කියන්න. ඇක්ට් කරන්නත් ආසයි. මම ආසම චිත්‍රපටය තමයි සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටය. ඒ ෆිල්ම්එකේ සින්දුවලටත් ආසයි.


මිනෙත් තාත්තා රඟපාපු චිත්‍රපටවලින් වැඩිපුරම කැමැති ‘My සිම්බා’ චිත්‍රපටයට ලු. තාත්තා රඟපාන්නේ වනජීවී නිලධාරියකුගේ චරිතයක්. මාත් යාල යන්න ආසයි. මම කැලේට හරි ආදරෙයි. මමත් තාත්තා එක්කම ‘My සිම්බා’ චිත්‍රපටය බැලුවා. තාත්තා ගැන මට හරි ආඩම්බරයි.


මම ඉස්කෝලේ වැඩ කරලා ඉවර වෙලා තාත්තාගේ ෆිල්ම්ස් බලනවා. වගා කරනවා. මම වගා කරන්න හරි ආසයි.


අපි මිනෙත්ගෙන් ඇහැව්වා මොනවද වගා කළේ කියලා.


මම පැෂන් ෆෘට්, කොමඩු වගා කරලා තියෙනවා. මම සින්දු අහන්නත් හරි ආසයි.


මිනෙත් වැඩිපුරම කැමැති ක්ලැරන්ස්ගේ ගීතවලට ලු. සින්දුවල, නම් ටිකක් කියන්නත් මිනෙත් අමතනක කළේ නැහැ. මලට බඹරෙකු සේ, සිහින ලොවක්, සඳ එක් දිනක් වගේම ජෝතිපාලගේ ශ්‍රීසෙත් සාදයි සින්දුවටත් ආසයි.


මගේ සමහර ෆ්‍රෙන්ඩ්ස්ලා මාව ටීවී එකේ දකිනවා. ඉතිං මම ගොඩක් මහන්සි වෙනවා විඩියෝස්වලට ඉන්න. එතකොට ඔක්කොම කියනවා ඔයා හරිම ලස්සනට වීඩියෝවල ඉන්නවා කියලා.


‘My සිම්බා’ කියන්නේ මම සින්දු කියපු ලස්සන චිත්‍රපටයක්. ඔයාලත් එන්න ඒ චිත්‍රපටය බලන්න.


මිනෙත්ගේ හුරතල් කතාබහෙන් පස්සේ අපි ආපහු රොෂාන්ගේ පැත්තට හැරුණා. රොෂාන් ආපහු අපිත් එක්ක කතාබහ පටන් ගත්තේ පුංචි මිනෙත් ගැන කියලා.


මිනෙත් ‘My සිම්බා’ චිත්‍රපටයට ගායනයෙන් එකතුවෙන්නේ අවුරුදු හතරේදී. ඒක තාත්තා කෙනෙක් හැටියට ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණයක්. ඔය අතරේ ‘My සිම්බා’ රූගත කිරීම් සිදු කරන්න ගිහින් ලද අත්දැකීම් ගැනත් රොෂාන් මතකය අවදි කළා.


කලණවයි, නයෝමිවයි කැලෑව ඇතුළේ එළවාගෙන යන දර්ශනය රූගත කරන්න ගිහිල්ල මාව තුවාල වුණා. මගේ දකුණු අතේ වැළමිට හරිය හොඳටම තුවාල වුණා. කලණවයි නයෝමිවයි කැලෑව ඇතුළේ එළවාගෙන ගිය දර්ශනය රූගත කිරීම ඉතිං අමතක නොවන අත්දැකීමක්.


ඔය අතරේ රොෂාන් මොණරවිලක් චිත්‍රපටයෙ ඔසඳ ගැනත් කතාබහ කළා.


මොණරවිලක් චිත්‍රපටය රූගත කිරීම් සිදුකළේ 2018 වසරේ. රූගත කිරීම් අවසන් කරන්න අවුරුදු දෙකක් විතර ගියා. ඇත්තටම ඒ චරිතයත් වෙනස්ම චරිතයක්.


මාලනී ෆොන්සේකා, සනත් ගුණතිලක, වීණා ජයකොඩි, වසන්ත කුමාරවිල වගේ හොඳ නළු නිළියන් පිරිසක් ඒකේ රඟපානවා. මේ චිත්‍රපටයේ රඟපෑ මාලනී ෆොන්සේකා වගේම දර්ශන් ධර්මරාජ් වගේම පසුබිම් ගායනයෙන් එකතුවුණු ගීත කෝකිලාවිය ලතා වල්පොලත් අද අප අතර නැහැ.


චිත්‍රපට දෙකක් එකවර තිරගත කිරීම පිළිබඳවත් රොෂාන් අපත් එක්ක කතා බහ කරන්න අමතක කළේ නැහැ.


ඇත්තටම හොඳයි. කාලෙකින් තමයි මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් එකවර තිරගත වෙන්නේ. නිර්මාණකරුවෙක් විදිහට සතුටුවුණත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් චිත්‍රපට තිරගත වෙන විදිහත් එක්ක සිනමාශාලා මදි කියලත් හිතෙනවා. මොකද දැන් දර්ශනවාර ලැබෙන ප්‍රමාණය අඩුයිනේ. ඉස්සර එහෙම දෙයක් තිබුණේ නැහැනේ.


ඉස්සර එක චිත්‍රපටයකට දර්ශනවාර තුනම තිබුණා. අද වෙනකොට චිත්‍රපට තුනකට ඒ දර්ශනවාර තුනම බෙදිලා යනවා. එතකොට පොඩි අර්බුදකාරි තත්ත්වයක් තියෙනවා. සිනමාහල් මදි කියලත් හිතෙනවා. ඔන්න ඔය ගැටලුව විසඳා ගන්නත් ඕනෑ. දර්ශනවාර බෙදීයෑම හරි අපරාධයක්. ඇත්තටම මගේ චිත්‍රපට හයක් එන්න තිබ්බා. දැන් ඔය ඒකෙන් දෙකක් තමයි තිරගත වෙන්නේ. කොහොමත් මේ අවුරුද්දේ ‘සරණී‘ චිත්‍රපටයත් තිරගත වෙයි. මේ චිත්‍රපට තුනේ චරිත ඒකාකාරී නැහැ, විවිධයි.


මේ වසරේ රොෂාන් රඟපෑ චිත්‍රපට රැසක් තිරගත වුණානේ. ඒ ගැන ඔහුගේ අදහස මොනවගේද කියලත් අපි විමසුවා.


චිත්‍රපට තිරගත වෙන එක හොඳයි. නමුත් ඒ චිත්‍රපට ඒ කාලවලදීම තිරගත වුණා නම් තවත් හොඳයි කියලයි හිතෙන්නේ. දැන් හරි ආපු එක හොඳයි. මොකද එතකොට කාලීන බව නැති වෙනවානේ. දැන් මොණරවිලක් ගත්තොත් සෑහෙන කාලයකට කලින් කරපු වැඩක්. ‘My සිම්බා’ නම් අවුරුදු දෙකකට විතර කලින් කරපු වැඩක්. නමුත් එහෙම හරි චිත්‍රපට ටික ආපු එක ලොකු දෙයක්.


රොෂාන්ගේ රංගන ජීවිතයේ ගෙවී ගිය කාලවකවානුව ගැනත් ඔහු රසිකයන්ට යමක් කියන්න අමතක කළේ නැහැ.


මම දැන් ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු විසිදෙකක් විතර වෙනවා. ආපු කාලයත් එක්ක සෑහීමකට පත්වෙනවා. මගේ පළමු චිත්‍රපටය තිරගත වුණේ 2006 වසරේ. දැන් 2026 වසරට හරියටම අවුරුදු විස්සක්. චිත්‍රපට රූගත කිරීම්වලට සම්බන්ධ වුණේ 2004 වසරේදී. එහෙම බලන කොට අවුරුදු විසිදෙකක්. හොඳ නිර්මාණ ටිකක් කරලා තියෙනවා. ඔය අතරේ ප්‍රේක්‍ෂකයන් අතරට ගිය නිර්මාණ රැසක් තියෙනවා. එහෙම බලනකොට රංගන ශිල්පියෙක් හැටියට සතුටු වෙන්න පුළුවන්. මම රඟපෑ චිත්‍රපට අතරේ ප්‍රේක්‍ෂකයන්ට තවමත් මතකයි සුවඳ දැනුණා ජීවිතේ.


ආසයි මං පියාඹන්න, චැලෙන්ජර්ස්, රෝස කැලේ වගේ කතා කරන්න පුළුවන් නිර්මාණ ගොඩක් තියෙනවා. දැන් මට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙනස් චරිත කරන්න.


රොෂාන් රණවන කියන නම අධ්‍යක්‍ෂණය කියන භූමිකාව ඉදිරියේ ලියන්න සූදානම් නැතිද කියලත් අපි ඇහැව්වා.


අධ්‍යක්‍ෂණය පැත්තට යන්න තවම සූදානමක් නැහැ. රංගන ශිල්පියෙක් හැටියට මට විවිධ චරිත කරන්න ඕනෑ. එහෙම බලන කොට මම තවම සෑහීමකට පත්වෙන්නේ නැහැ. චරිත පිපාසයක ඉන්නවා කියලයි මම ඒකෙන් අදහස් කරන්නේ. තව විවිධාකාර චරිත කරන්න අවස්ථාව හම්බවුණොත් හොඳයි කියලයි මට හිතෙන්නේ.


රොෂාන්ට තවමත් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවාද කියලා ඇහැව්වහම ලැබුණේ මේ වගේ උත්තරයක්.


මේ දවස්වල ටෙලිනාට්‍ය තුනකට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් තවම ඒවා ආරම්භ කරලා නැහැ. සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඔය අතරේ මම සරණි චිත්‍රපටය වගේම ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතාගේ පුතා වන අශාන් ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය සිදුකළ චොකලට් කියන චිත්‍රපටය ගැනත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක තුළින් සිනමාවේ ලොකු වෙනසක් ඇති වෙයි කියලා හිතනවා.


සමහරු නම් කියන්නේ චිත්‍රපට විතරයි කරන්න ඕනෑ, ටෙලිනාට්‍ය කරන්න ඕනෑ නැහැ කියලා. ඒ කතාව වලංගු වෙන්නේ ඉස්සර කාලයට තමයි. අද කාලේ හොඳ ටෙලිනාට්‍ය බිහිවෙනවා. සමහර ටෙලිනාට්‍ය බැලුවහම ඒ තරම් හොඳ චිත්‍රපට නිර්මාණය වෙන්නෙත් නැහැ. ඉතිං අද කාලේ හොඳ තරුණ අධ්‍යක්‍ෂවරු බිහිවෙනවා. අනික අපි දැනගන්න ඕනෑ තෝරාබේරාගෙන නිර්මාණ භාරගන්න. මම හිතනවා තවම මම තෝරාබේරා ගෙන නිර්මාණ කරනවා කියලා. පිට ඉඳලා බලන කෙනෙක් ඒ ගැන කොහොම හිතාවි ද කියන්න දන්නේ නැහැ. නමුත් මම හිතනවා මම තෝරාබේරාගෙන නිර්මාණකරණයේ යෙදෙනවා කියලා. සමහරුන්ට හිතෙන්න පුළුවන් අයියෝ මෙයා මේක කළේ ඇයි අපරාදෙනේ කියලත්. එහෙම විවේචන, ඔවුන්ගේ මතය අනුවනේ. ඉස්සර කාලෙ ඉඳලා මම නිර්මාණ තෝරාබේරාගෙන තමයි කරන්නේ.


කලාවට රොෂාන්ට බිරිඳගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරන්න අමතක කළේ නැහැ.


කලා වැඩවලට බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. තෝරාබේරාගැනීම් ගැනත් කතාබහ කරනවා. සමහර වේලාවට මට නොපෙනෙන පැති එයාට පෙනෙනකොට ඒ ගැනත් ඇය මට පෙන්වා දෙනවා. එදා ඉඳලා ඒ ලැබෙන සහයෝගයේ අඩුවක්නම් නැහැ.


දිනේෂ් විතානඇඳුම් -Danuk Men’sDesigner Wearඡායාරූප – යෝෂිත ලියනගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post