HER – හදවත් ලොක් කළ, හැව්ලොක් රැය

gossiplanka image 1
 


මට මේ ළඟක දී මගේ වට්ස්ඇප් එකට ආරාධනා පත්‍රයක් එනවා උමාරියාගේ ටීම් එකෙන්. ඒකේ තිබුණේ ‘ඇය’ කියලා ප්‍රසංගයක් හැව්ලොක් ග්‍රවුන්ඩ් එකේ තියෙනවා, ඒක බලන්න එන්න කියලා. ඉතිං මම හතහමාර වෙද්දී හැව්ලොක් ග්‍රවුන්ඩ් එකේ ගේට්ටුව ළඟට යනවා. ඒ යන තැන ඉඳලා අතට පටියක් පැලඳලා පිළිවෙළට මාව ගෙනිහිල්ලා සීට් එකේ ඉන්දන තැනට වෙනකම් එතැනට ආපු හැම කෙනාට ම ලස්සනට ඒ වැඩේ සිදු කළා. ඒ කියන්නේ මේක අත්තර්ජාතික තලයේ ක්‍රමවේදයටම අසුන් නිර්මාණය කරලා තිබුණා. එතැන කිසිම කම්මැළිකමක් තිබුණේ නැහැ. අතිවිශාල වේදිකාවක් ගහලා ඒකේ දිග රෑම්ප් එකක් ගහලා තිබුණා පෆෝම් කරන්න. පාට පාට ආලෝක ධාරාවන් ඔය අතරේ විහිදෙනවා.


මට මේ සීට් එකේ ඉඳලා ෂෝ එක පටන්ගන්න වේලාව එනකොට මගේ හිත අතීතයට ගියා.


මීට අවුරුදු විස්සකට විතර ඉහත දී මම යනවා භාතිය සන්තුෂ්ලාගේ ශබ්දාගාරයට ගී පද රචනා සහ වෙළෙඳ දැන්වීම් වැඩවලට. එතකොට මම දැක්කා රිසෙප්ශන් එකේ පාසල් නිල ඇඳුමින් ගැහැනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා භාතිය සන්තුෂ් හම්බ වෙන්න. දඟකාර හැඩකාර ඒ ළමයි දෙන්නා දෙමළෙන්, සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හරි ලස්සනට සින්දු කියනවා. එදා මම උමාරියා ද, උමාරා ද කියලා දැනගෙන හිටියේ නැහැ. අන්තිමේ භාතිය මට කිව්වා ඔවුන්ගේ ටීම් එකට මේ දෙන්නව ගන්නවා කියලා. මට මතකයි, ‘ඔයා මගෙ නම් ජීවිතේ මල්’ කියන මම ලියපු සින්දුවට මුලින්ම මේ දෙන්න පෆෝම් කළා. එදා ඉඳලා අද වෙනකම් විශාල ගමනක් ගියා. ඉතිං අද මගේ කතානායිකාව, ඇය. ෂෝ එක පටන්ගන්න දහය, නවය, අට, හත, හය, පහ, හතර, තුන, දෙක, එක කියලා කවුන්ට්ඩවුන් එකක් ගියා. හරියට ම අටයි. අටවෙනකොටම සංගීත ප්‍රසංගය පටන්ගත්තා. ලස්සන පසුබිම් සංගීතය, ආලෝක ධාරාවන් අස්සේ අර රෑම්ප් එකේ ඉස්සහරින් පොළොව යටින් හිමීට හිමීට මෙන්න උමාරියා ආවා දේවදූතියක් වගේ ලස්සනට හැඩවෙලා.


ගීත ගායනා පටන්ගන්නකොටම මගේ ඇහැ ගියේ මේ ඔකෙස්ට්‍රා එකට. ඒක මෙහෙයවන්නේ අපේ දෙණිපිටිය පරම්පරාවේ අලුත්ම තරුව එෂාන් දෙණිපිටිය. ඔහු සුදු ඇඳගෙන සුදු පාට පියානෝවක් ළඟ හිඳගෙන.


ඔහුට පිටිස්සෙන් තට්ටු තුනකට වාදකයෝ හිටියා. ඒ අතරේ අපේ ඩැඩී බෑන්ඩ් එකේ චිකා, නාද්රෝ වගේම විශාල පිරිසක් හිටියා. මේක සෙක්ෂන් කරලා තිබුණා


brass, strings, percussion, guitars, wind Instruments, drums ආදී වශයෙන්. ඊළඟට මේකේ ලස්සන ගැහැනු පිරිමි දරුවන්ගෙන් පිරුණු ක්වයර් එකක් තිබුණා.


මේකේ ඇත්තටම සීටින් ප්ලෑන් එකක් තිබුණා. ඒක අපිට කලින් එවලා තිබුණේ. මේකේ ඇඳුම් ආයිත්තම් ඉතාම ලස්සනයි. මේකේ මම දැකපු වැදගත්ම දේ තමයි උමාරියා තනියම කම්පියර් පාට් එකත් කරගෙන තනියම ෂෝ එක කරපු එක. මේක මම දැකපු ලංකාවේ තනි පුද්ගල, කේවල ගායිකාවක් විසින් කරන ලද විශිෂ්ටම සංගීත


ප්‍රසංගයක්. ඉතිං පුංචි ගම්මිරිස් ඇටේ වගේ හිටියට උමාරියා ඇයගේ සංවිධාන ශක්තිය සහ සැලසුම් ශක්තිය ඉතාම ඉහළ මට්ටමක තිබුණා. මේක අන්තර්ජාතික තලයට යන නිමාවක්.


පළමු පෆෝමන්ස් එක හැටියට අපේ ඩැඩී බෑන්ඩ් එකේ චිකා උමාරියත් එක්ක පොඩි ගිටාර් සෝලෝ එකක් කළා. ඒක අතිවිශිෂ්ටයි. ඊළඟට එෂාන් එක්ක පියානෝ සෝලෝ එකක් කළා. එයත් එක්ක සින්දු කියන්න භාතිය සන්තුෂ් ආවා. අක්කා, උමාරාත් ආවා. ඉතිං ප්‍රසංගයේ දී කන, ඇහැ අහකට ගන්න හිතෙන්නේ නැති විදිහට හරිම ක්‍රමවත්ව, ප්‍රතාපවත් ලෙස ගලාගෙන යනවා.


ඔන්න හරිම ලස්සන සිද්ධියක් වුණා. ඒ තමයි උමාරියාගේ ලස්සන සින්දුවක් තියෙනවා අමරදේව සර් එක්ක ගායනා කරන හන්තාන සිහිනේ කියලා. දැන් අමරදේව සර් නැහැ. අමරදේව සර්ගේ හඬයි, රුවයි තිරයකට ගෙනැවිත් සජීවීව පෆෝමන්ස් එකක් කළා. ඇත්තටම මම දැක්කේ අමරදේව සර් දිව්‍යලෝකේ ඉදලා ගායනා කරනවා වගෙයි. මේ විශාල වේදිකාව දෙපසින් ඇති දැවැන්ත වීඩියෝ වෝල් එක මත දිස් වුණ වීඩියෝ විෂුවල්ස් සහ එය සංගීතය සමග එකට බද්ධ කළ තාක්‍ෂණික උපක්‍රම අතිශය මනරම්. අමරදේව සර් ජීවතුන් අතර නැහැ කියලා දැනුණේ නැහැ. මම හිතනවා සමස්ත ප්‍රේක්ෂකයන්ටම ඒක දැනෙන්න ඇති කියලා.


මෙහි ශබ්ද පරිපාලන ශිල්පියා, ඉංජිනේරුවා වුණේ මලින්ද ලෝව් කියන අපේ ලංකාවේ ඉන්න අතිවිශිෂ්ට ශබ්ද ඉංජිනේරුවා. මේකේ සද්දය කියන එක ශබ්දය අපි කියන ප්‍රෝ සවුන්ඩ් එක කන්වලට මීපැණි දානවා වගේ. ඒ වගේ ග්‍රවුන්ඩ් එකක් ඇතුළේ එහෙම සංගීත සංකලනයක් මික්ස් එක්ක මාස්ටර් කරලා ගන්නවා කියන්නේ හරිම අමාරු ක්‍රියාවක්. මේ ඔකෙස්ට්‍රා එකේ මයික්ම තියෙන්න ඇති අතිවිශාල ප්‍රමාණයක්. ශබ්ද ඉංජිනේරුවෝ දන්නවා මයික් ගොඩාක් තියෙනකොට ශබ්දය බැලන්ස් කරන්න තියෙන අමාරුව. නමුත් එක මයික් ඩ්‍රොප් එකක් එන්නේ නැතිව අපිට ප්‍රසංගය අවසානය තෙක්ම මේක අහගෙන යන්න මලින්ද ලෝව් සංගීතය, ශබ්ද පරිපාලනය මනාව සකස් කරලා තිබුණා. මට හරිම ආඩම්බරයි ලංකාවේ දෙණිපිටිය පරපුරේ එෂාන් වගේ කෙනෙක් උමාරියා වගේ තරුණියක් එක්ක කරපු විශිෂ්ටම ප්‍රසංගයක්. ඊළඟට ප්‍රසංගය කිසිම අඩුවක් නැතිව ගලාගෙන ගිහිල්ලා හරියටම රෑ දහය වෙද්දී, අවසාන ගීතය ගායනා කරලා, රෑම්ප් එකේ උඩට ආපු තැනින්ම ඇය ප්‍රසංගය නිමා කළා. වීඩියෝ තිර මත ආරම්භයේදී දිය ඇල්ලකින් ජලයට වැටෙන ඇය අවසානයේ රැස් විහිදෙන ගිනි ජාලා අතරින් විශ්වයට ඇදී ගියා. වෙලාවට කලාවට වැඩක් ඉවර කරනවා කියන්නේ මෙන්න මේකටයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post