“ගොඩක් අය වසරේ කැමතිම කාලේ අලුත් අවුරුදු කාලේ උනත් මං කැමතිම වෙසක් එකට. හරිහැටි කෑමක් බීමක් නැති අසරණ, දුප්පත් මිනිස්සුන්ට වේලක් හරි බඩකට පිරෙන්න කන්න ලැබෙන කාලයක්නේ වෙසක් කියන්නේ. මොකද වෙසක් කාලෙට රට පුරාම දන්සැල්. ඒ ඇරුණම හැමතැනම පිංකම්. ඉතින් ඒ නිසා මං අනිත් කාලවලට වඩා වෙසක් එකට හරි කැමැතියි.”
එහෙම කියන්නේ මේ අපේ රටේ ජනප්‍රිය නිළියක් වගේම නිරූපණ ශිලිපිනියක් වන රුවී ලක්මාලි. විසේකාර පෙනුමක් නැතත් රුවී මේ දවස්වල අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ ‘විසේකාරී’ නිසා.
“විසේකාරී ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ වාසුකී කියන චරිතයට. ඒ ඇරුනම මේ දිනවල තව අලුත් ටෙලිනාට්‍ය දෙකක වැඩ කරනවා. ළඟදීම ඒ ටෙලිනාට්‍ය දෙකත් විකාශය වෙයි.”
රුවීගෙන් ඒ පිළිතුර ලැබුණේ මේ දිනවල ඇයගේ රංගන කටයුතු ගැන ඇහුවම. දැනට වසර කීපයකට පෙර ප්‍රසිද්ධ අවුරුදු කුමරිය තරඟයක් ජයග්‍රහණය කරමින් රංගන වරම් හිමිකරගත් රුවී, පුංචි කාලේ නම් හීන මැව්වේ නර්තන ගුරුවරියක් වෙන්නලු.
“මම පෞද්ගලික පාසලක අවුරුදු 4ක් නර්තන ගුරුවරියක් විදියට සේවය කළා. ඒත් ඒ වෙද්දි කලා ක්ෂේත්‍රයට ඇවිත් හිටපු හින්දා ගුරු වෘත්තියට සමුදීලා කලාවත් එක්ක ඉදිරියට යන්න හිතුවා. හැබැයි අදටත් මං නර්තනයට හරිම ආදරෙයි.”
එදා රුවී රඟපෑ කුළුදුල් ටෙලිනාට්‍ය වුණේ සිරස නාලිකාවේ විකාශය උනු ‘හිතට වහල් වීමි’ කියන ටෙලිනාට්‍යයලු. එතැනින් පස්සේ හිරු තනිවෙලා, තුන්පනේ, දෙයියන්ගේ රටේ වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකටම ඈ රංගනයෙන් දායකවෙලා තියෙනවා.
“තුන්පනේ ටෙලිනාට්‍යය කියන්නේ මගේ රංගන ජීවිතේ එක හැරවුම් ලක්ෂ්‍යයක්. මොකද ඒ ටෙලිනාට්‍යයේ මම චරිත දෙකක් කළා. හොඳ ප්‍රතිචාර වගේම, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ සම්මාන උළෙලකදි ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයකුත් ලබාගන්න පුළුවන් වුණා.”
සුපුන් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරපු ‘තුන්පනේ’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් අතරතුර රුවීට අමතක නොවන අන්දමේ සිදුවීම්වලටත් මුහුණපාන්න උනු වගයි ඇය අපි එක්ක කිව්වේ.
“ඒ ටෙලිනාට්‍යයේ මං කළේ අහසයි පොළොවයි වගේ එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඒක පහසු වුණේ නෑ. ඇයි ඉතින් පොඩි වෙලාවක් ඇතුළත එක චරිතයක් කරලා, අනෙක් චරිතය වෙනුවෙන් ලෑස්තිවෙන්න එපැයි. එතකොට කටහඬ, කතා කරන විදිය, මුහුණේ හැඟීම් වගේ ගොඩාක් දේවල් ක්ෂණිකව වෙනස් කරගන්න ඕන. ඒක අභියෝගයක් වුණා. ඒත් මට තුන්පනේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා ඒකට හුඟාක් උදව් කළා.”
පුංචිතිරයෙන් කලා ක්ෂේත්‍රයට පය තියන බොහෝමයක් නළු නිළියන්ගේ ඊළඟ ලොකුම හීනය වෙන්නේ රිදීතිරය. ඒ හීනය සැබෑකරගත් නළු නිළියන් අතර රුවීත් ඉන්නවා. ඒ ගැන ඇය කිව්වේ මෙහෙම කතාවක්.
“ඇත්තටම සිනමාවට සම්බන්ධවීම කියන්නේ මට තිබුණු ලොකුම හීනයක්. රංගනයට ඇවිත් ඉතාම කෙටි කාලයක් තුළ ඒ හීනයත් සැබෑවක් කරගන්න මට පුළුවන් වුණා. ඒ අතරින් ආශාවරී, ක්ලැරන්ස් (Rhythm of the Guitar), බිම්බාදේවි හෙවත් යශෝදරා කියන්නේ මං රඟපෑ චිත්‍රපට කිහිපයක්.”
‘ආශාවරී’ චිත්‍රපටයේ රුවී රඟපෑවේ දමිළ කාන්තාවකගේ චරිතයකට. ඒ අප අතරින් සමුගත් විශිෂ්ටම රංගධරයෙක් වෙන ජයලත් මනෝරත්නයන්ගේ නැගණිය විදියට. එදා ඔහු සමඟින් එකට රඟපාන්නට ලැබුණු ඒ අවස්ථාව ගැනත් අපේ කතා නායිකාවට කියන්න කතාවක් තිබුණා.
“එතුමා මාව හුඟාක් වර්ණනා කළා. මං හොඳට රඟපානවා කිව්වා. නිළියක් විදියට මට හොඳ ගමනක් යන්න පුළුවන් වගේම ඒ ගමන හරිම පරෙස්සමින් යන්න පුතේ කියලත් කිව්වා. ඔහු වගේ දැවැන්තයෙක් එහෙම කියද්දි මට සතුට කොයිතරම් ද කිව්වොත් මට එතුමා ඉස්සරහදිම ඇඬුනා. මම ඒ වෙලාවේ එතුමට දණගහලා වැන්දා. ඒ වගේ චරිතයක් මේ කලාවට අහිමිවීම පාඩුවක්. අදත් ඒ හිඩැස එහෙමමයි.”
පෙම්වතියගේ චරිතයෙන් ඔබ්බට ගිහින් චරිතාංග නිළියක් විදියට කටයුතු කරන රුවීට තවමත් රඟපාන්න අවස්ථාවක් නොලැබුණු, ඒ උනත් රඟපාන්න ආසාවෙන් පසුවන චරිතයක් තියෙනවද කියලත් අපි නිකමට අහලා බැලුවා. ඒ වෙලාවෙයි රුවී හිනාවෙන ගමන්ම මෙන්න මේ කතාව කිව්වේ.
“(සිනාසෙමින්) ඇත්තටම මං හරිම ආසාවෙන් ඉන්නවා පොලිස් නිලධාරිනියකගේ චරිතයක් කරන්න. ඒත් ඔය කතාව මං කවුරු හරි එක්ක කියපු ගමන් කවුරුත් කියන්නේ මං ඒ චරිතෙට අහිංසක පාට වැඩියි කියලා.”
*එතකොට රුවීගේ පවුලේ වෙන ඉන්නේ කවුද?
“මගේ පවුලේ මට හිටියේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි. ඒ අතරින් ගිය අවුරුද්දේ නොහිතපු විදියට මගේ පොඩි අයියා හදිසි හෘදයාබාධයකින් මියගියා. මං අදටත් පොඩි අයියගේ ඒ අහිමිවීම ගැන දුක්වෙනවා. මට මතකයි ඉස්සර මං ෆේස්බුක් එකේ ෆොටෝ එකක් එහෙම දැම්මම පළවැනි ලයික් එක එන්නේ එයාගෙන්. එයා තමයි මගේ ලොකුම රසිකයා. හැබැයි දැන් මට තවත් පුංචි ෆෑන්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ අයියලා දෙන්නගේ පුතාලා දෙන්නා. එක්කෙනෙක් උවිඳු. අනෙක් කෙනා හසිඳු. ඒ දෙන්නා ගැන නොකිව්වොත් ධරණී පත්තරේ ගෙදර අරන් යන්න වෙන්නෑ. ඒ මොකද දෙන්නා ආර්ටිකල් එකක් යන ගානේ මට බණිනවා, හැමෝම ගැන කියනවා එයාලා දෙන්නා ගැන කවදාවත්ම කියන්නේ නෑ කියලා.”
*ඒ දෙන්නා රුවීට හරි ආදරෙයි වගේ නේද?
“(සිනාසෙමින්) ඔව්, මට අක්කා කියලයි කියන්නේ.”
කතාබහ අවසන් කරමින් නිළියක් විදියට වගේම නිරූපණ ශිල්පිනියක් විදියට අද ඉන්න තැනට එන්න අතහිත දුන් සියලුදෙනාමත්, ඈට ආදරේ කරන ආදරණීය ප්‍රේක්ෂකයින්වත්, රුවී ඉතා ආදරයෙන් මතක් කළා.