මල් දෙන්න නම් ඕනේ තරම් අය ඉන්නවා- ශෙහාර සඳරුවන්

gossiplanka image 1
 


දක්ෂතාව, තරු ගුණය, කැපවීම සහ මහන්සිය, මෙම ගුණාංග එකට එකතු වූ විට ජනප්‍රියත්වය අනිවාර්යයෙන්ම පසුපසින් පැමිණේ. එය සජීවී සාක්ෂියක් වන්නේ නව පරපුරේ තරුණ තරුණියන්ගේ සිත් වසඟ කරගත් ජනප්‍රිය තරුවක් වන ශෙහාර සඳරුවන්ය. ‘උකුල සලා’, ‘ටිකිරිලියා’, ‘සැරද මචං’, ‘ඇති කොල්ලෝ’, ‘කෝ ළඟට එන්නකෝ’, ‘චිල්ල මලේ’, ‘දැක්ක ගමන් වශී’ වැනි ජනප්‍රිය ගීත රැසක් හරහා ඔහු සංගීත ලෝකයට නව රිද්මයක් එක් කළ අතර දෙස් විදෙස් ප්‍රාසාංගික වේදිකාවන්හි දස්කම් පෙන්වමින්, සංගීතයේ දීප්තිමත් රටා මවන ඔහු අද යෞවන හදවත්හි ටේ‍රන්ඩ් එකක් වී හමාරයි. ඔහුගේ නවතම ගීතයත් සමග ‘මව්රට හාට්’ මේ විශේෂ කතාබහ සිදුකළේ ශෙහාර සඳරුවන්ගේ සංගීත ගමන පිළිබඳ තවත් රසවත් පැතිකඩ සමගිනි.


ඒ සොඳුරෝ… කොහොමද ඉතින්?

හොඳයි, හොඳින් සතුටින් ඉන්නවා….

අලුතින්ම රීලීස් වුණු ගීතය ගැනත් කියමු?

මගේ අලුත්ම ගීතය ‘ඒ සොඳුරෝ..’. මේක නිර්මාණය වෙන්නේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය සංගීතවත් කරපු චමත් සංගීත් අතින්. ඒ වගේම මේකේ පද රචනය කරන්නේ මෑත කාලයේ හැදුණු හිට් සින්දු ගොඩක අයිතිකාරියක්. ඒ තමයි යශෝදා අදිකාරී. මේකට මට ලස්සන වීඩියෝ එකක් කරලා දෙනවා මෑත කාලයේ සිටින අතිදක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන සංදේශ් බණ්ඩාර. ඉතින් හරිම ලස්සන පැත්තක කරපු මතක, අත්දැකීම් ගොඩක් ලබපු මගේ කරපු වැඩවලින් මම කැමැතිම නිර්මාණය ඒක.

මේ නිර්මාණය ඔබගේ අනෙක් නිර්මාණයන්ට වඩා වෙනස් නිසාම රූගත කිරීම් අතර වුණු අමතක නොවුණු තැන් ගැනත් මතක් කරමු?

මේ වැඩේ කාලයක් තිස්සේ ඇදෙමින් තිබුණු වැඩක්. අවුරුදු 3ක් විතර කාලයක් මේ සින්දුව වෙනුවෙන් මට බලන් ඉන්න වුණා. අනෙක මේ වැඩේදී ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ගීතය රූගත කරන්න ගිය දවසේ හරිම සීතල දවසක්. කූඩැල්ලෝ එක්ක මඩේ බැහැගෙන වතුරෙ බැහැගෙන අමාරුවෙන් කරපු වැඩක ප්‍රතිඵලයක් මේ ගීතය. එදා දවල් වෙද්දි වැස්ස නිසා බලාපොරොත්තු වුණු විදිහට හොඳටම අපිට වැඩේ කරගන්න බැරිවුණා. අනික තමයි මගේ වැරදීමකින් ලොකු කරදරයකට මුහුණ දෙන්න වුණා. මට ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක් සහ ඒ වගේ වැඩක් ආයේ කවදාවත් මට වෙනවට ආසම නැහැ. ඒක මොකක්ද කියලා මට කියන්න අමාරුයි හැබැයි. ජීවිතයේ අඳුරු මතකයක් ඒක.

ශෙහාර, ඇත්තටම මල් දෙන්න කෙනෙක් ඇති නේද? ශෙහාරට ආදරේ කරන අය කැමැති වෙයි ඒ ගැනත් දැන ගන්න?

මල් දෙන්න නම් ඕනෙ තරම් අය ඉන්නවා. ඒත් මම එහෙම හැමෝටම මල් දෙන කෙනෙක් නෙවෙයි. මම මල් දෙන කෙනාව පෙන්නන්න ඕනෙ කාලෙදි ඔයාලට පෙන්නන්නම්. එතකන් මෙහෙම ඉමු.


ඒ කෙනා කලා ක්ෂේත්‍රයේම කෙනෙක් වෙයිද?

කොහෙත්ම නෑ. බලමු අපි සමහර විට ඒවා වෙනස් වෙන්නත් ඉඩ තියෙයි. කිසිම දෙයක් ගැන වැඩිපුර බලාපොරොත්තු තියාගෙන බලන් ඉන්න කෙනෙක් නෙවෙයි මම.

අද රටම ආදරය කරන නව පරපුරේ ජනප්‍රිය දක්ෂ ගායකයෙක් ඔබ. කොහොමද මේ සංගීත ගමනේ ආරම්භය වුණේ….?

සංගීත ගමන ආරම්භ වුණේ පාසල් කාලෙදි. ඒක දිග කතාවක්. ඒත් මම ටිකක් මතක් කරන්නම්. මගේ පාසලේ හිටපු එකම සංගීත ගුරුවරයා මුණසිංහ සර් තමයි මගේ ගායන හැකියාව දැකලා මට සංගීතය ඉගෙන ගන්න ආරාධනා කරන්නේ. එතැනින් පටන් ගත් ගමන උසස් පෙළ විභාගෙන් පස්සේ ටික කාලෙකට නතර වෙනවා. ඉන් පසු මම විදේශගත වෙනවා. විවිධ ප්‍රශ්න සහ ආර්ථික අපහසුතා නිසා විදේශගත වෙලා ටික කාලයක් ඉන්නකොට මට එපාවෙලා නැවත ලංකාවට ඇවිත් මගේ තාත්තා එක්ක බිස්නස් කරන්න පටන් ගන්නවා. ටික කාලයක් යනකොට හැමදේම හරියනවා. එතැනින් පස්සෙ තමයි මම මේ මියුසික් ෆීල්ඩ් එකට පා තබන්නේ. මම කරපු පළමු සින්දුවේ ඉඳන්ම හිට් වෙනවා. ඒත් එක්කම දකින්න ආසාවෙන් හිටපු ගොඩාක් අය එක්ක එකට වැඩ කරන්න අවස්ථාව හම්බවෙනවා. එහෙම තමයි මගේ ගමන ආරම්භය වුණේ.

ශෙහාර දැන් ඔබ ගොඩක් ජනප්‍රියයි. ඔබේ ගීත නිර්මාණ හැම එකක්ම වගේ හිට් එකක් වුණා. මේ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට මේ තරම් දැනෙන්න රහස මොකක්ද?

එහෙම ලොකු රහසක් නෑ. මුල ඉඳන්ම කළේ මගෙන් මිනිස්සු ඉල්ලන දේ. නමුත් හැමෝම ඒකට කැමැතිත් නැහැ නේ. මම කාලයක් මගේ රිද්මය වෙනස් කරන්න උත්සාහ කළා. ගීත දෙක තුනක්ම වෙනස් විදිහට කළා. නමුත් අසාර්ථක වුණා. මම දැනගත්තා මගෙන් ඉල්ලන්නේ වෙන දෙයක් කියලා. නැවතත් කලින් මගේ ෆෑන් බේස් එක හැදිලා කලින් රිද්මයටම මම එයාලා ඉල්ලන දේ දෙන්න තීරණය කළා. ඉස්සරහට එන්න තියෙන නිර්මාණ බොහෝ දුරට අහපු ගමන් නැටවෙන නිර්මාණ වෙයි.

අද වෙනකොට ප්‍රාසාංගික දෙස් විදෙස් වේදිකා දෙකම ජයගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබ වාසනාව කියන දේ විශ්වාස කරනවාද? හේතුව හැමෝටම දක්ෂතාවම තිබුණත් ප්‍රාසාංගික වේදිකාවට එන්න අවස්ථාව හම්බවෙන්නේ නැති තරම්..?

අනිවාර්යයෙන්ම වාසනාව කියන දේ ටිකක් තියෙන්නත් ඕනේ. අපි කරන කියන දේවල් එක්ක තමයි අපිට ලැබෙන්න දෙයක් තියෙනවා නම් ලැබෙන්නේ. එහෙමයි කියලා නිකන් ඉඳලා වැඩකුත් නෑ. දක්ෂතාව තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. කැපවෙන්න ඕනේ. අන්තිම වෙනකන් අත්හරින්නේ නැතුව අල්ලගෙන ඉන්න ඕනේ. නිතරම හොඳ දේවල් කරනවා නම් ඒවට දෙවියන්වහන්සේගෙන් තෑගි ලැබෙනවා අපි මහන්සි වෙන දේවල්වලට බෝනස් එකක් විදිහට. ඒක තමයි ඒ වාසනාව කියන්නේ.

ඔබේ ගීතවලට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර නම් මාරයි. ගොඩක්ම මට ඉන්නේ පාසල් යන වයසේ රසික පිරිසක්. මම හිතනවා මම අල්ලගෙන ඉන්නෙ හොඳම රසික පිරිසක් කියලා. යන යන තැන එයාලගෙන් පුදුම ආදරයක් ලැබෙන්නේ. ඒ ආදරේ මම විඳිනවා හරිම ආසාවෙන්. ඒක මාර එකක්. මට ඒ ආදරේ තව ඕනේ. ඒ වෙනුවෙන් මම තව ගීත ගොඩක් කරනවා. ඒ ආදරේ හරියට විඳපු කෙනෙක් මේක දාලා යන්නේ නෑ කවදාවත්. ඒක පිස්සුවක්.

ඔබේ හීනය වුණේ ගායකයෙක් වීමද?

මගේ එහෙම ලොකුවට හීනයක් තිබුණේ නෑ. පොඩි කාලේ මට ආසාවක් තිබුණා සංගීත ගුරුවරයෙක් වෙන්න. ඒ ඇරෙන්න මම කලින් කිවුවා වගේ කිසිම දෙයක් ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මේ හැමදේම එක මොහොතකින් නැති වෙලාම යන්න පුළුවන්. ඒත් මම දැන් ඉන්න තත්ත්වයත් එක්ක මට හීන ගොඩක් තියෙනවා. මැරෙන්න කලින් එවාට ළඟාවෙන්න මහන්සි වෙලා වැඩ කරනවා. මගේ නමත් කවදා හරි මම මැරුණට පස්සේ ගූගල් කරලා බැලුවම ලංකාවේ හිටපු දක්ෂ ගායන ශිල්පියෙක් කියලා වැටෙන්න ඕනේ මගේ ඔරිජිනල් සින්දු 50ක් 100ක් එක්ක.

ඔබේ මේ කලා ක්ෂේත්‍රයේදි ලැබුණු වටිනාම ජයග්‍රහණය ගැන කිව්වොත්?

වසරේ ජනප්‍රියතම ගීතවලට ලැබෙන සම්මාන උළෙලකට නිර්දේශ වීමත්, පොඩි කාලේ ඉඳන් මම ආදරේ කරන ජනප්‍රිය චරිතත් එක්ක එකට වැඩකරන්න ලැබීමත්, මම අවුරුදු හතරකට කලින් රැකියාවට ගිය රටට ලොකු ප්‍රසංගයකට වී.අයි.පී. රථයක ආරක්ෂකයන් පිරිවරාගෙන මට සහභාගි වීමට ලැබීමත් මගේ ජීවිතයේ අමතක නොවන ජයග්‍රහණයක්.

පවුලේ විස්තර සහ ඒ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි නංගි මමයි. හරිම ආදරණීය පවුලක්. හැම ආත්මයකම මට ඒ අම්මවයි තාත්තවයි ලැබෙනවා නම් මම ආසයි. මුලදි කාලයේ මගේ වැඩවලට එච්චර ලොකු කැමැත්තක් තිබුණේ නෑ. දැන් එයාලා මට වඩා ආසයි. මම අද යම් තැනකට ඇවිල්ලා ඉන්නවා නම් ඒ එයාලා නිසයි.

ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරලම කතාබහ අවසන් කරමු?

මගේ අලුත්ම ගීත ගොඩාක් එන්න තියෙනවා. මගේ ටැමිල් ඔරිජිනල් සින්දුවක් එන්න තියෙනවා. ෆිල්ම්ස්වලට කරපු සින්දු. ඒ වගේම කවර්ස් සහ මගේ ඔරිජිනල් සින්දු කිහිපයක්ම තියෙනවා. ඒ වගේම මගේ ී්‍යෑශ කියලා ජකදඑයසබට ඉර්බා එකක් පටන් ගත්තා.. ඉදිරියේදි මගේ බ්‍රෑන්ඩ් එකේ ලස්සන ඇඳුම් ටිකක් ගන්නත් පුළුවන් ඔයාලට.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post