කාලෙකට පස්සේ දකිද්දි ලොකු වෙනසක් දැනෙනවා - දමයන්ති ෆොන්සේකා

gossiplanka image 1
  


සිංහල සිනමාව විතරක් නෙවෙයි පුංචි තිරයත්, වේදිකාවත් වෙනුවෙන් තම දස්කම් දක්වමින් කලා ක්ෂේත්‍රය පුරාම නොමැකෙන නමක් සටහන් කළ ඇය, කුඩා අවධියේම කලාවට පිවිස මේ වනවිට රංගනයට අමතරව ගුරුවරියක් ලෙසත්, අධ්‍යක්ෂවරියක් ලෙසත් කටයුතු කරනවා. කවුරුත් හොඳින් හඳුනන මේ ශිල්පිනිය දමයන්ති ෆොන්සේකා. අද අපේ කතාබහ මේ සොඳුරු කලාකාරිනිය සමගයි. Sri Lanka Latest News


මේ දිනවල දමයන්ති හරිම බිසී නේද?

ගොඩක් කාර්යබහුලයි. ඒත් ඔබ සෑහෙන දවසක ඉඳලා උත්සාහ කළා මා සමග කතාබහ කරන්න. ඒ නිසාම පොඩි කාලයක් වෙන්කර ගත්තා මේ වෙනුවෙන්ම. මේ දිනවල මගේ වැඩකටයුතු ගැන සඳහන් කළොත් ‘වරකත’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. එයට අමතරව මගේ සැමියා ප්‍රසන්න විතානගේ අලුත් චිත්‍රපටයක් කරන්න සූදානම් වෙනවා. ඒ වැඩකටයුතු සහ මගේ පෞද්ගලික වැඩකටයුතු සමග තමයි කාලය ගතකරන්නේ.

කාලෙකට පස්සේ ‘වරකත’ ටෙලිනාට්‍යයේ සුදු මැණිකේ වෙලා?

ඇත්තටම ඔව්. කාලෙකට පස්සේ තමයි මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. ඉතින් මේ දවස්වල සුදු මැණිකේ ගැන තමයි මගතොටදී හමුවෙන සියලු දෙනා කතාබහ කරන්නේ. කාලෙකට පස්සේ මාව මේ විදියට දකින නිසා ප්‍රේක්ෂකයන්ටත් ලොකු වෙනසක් දැනෙනවා. ලැබෙන ප්‍රතිචාර නම් ඇත්තටම හොඳයි.

සුදු මැණිකේ කියන්නේ ඇත්තටම නපුරු චරිතයක්ද?

මිහිර සිරිතිලක මට මේ චරිතයට ආරාධනා කළාට පස්සේ මම මුලින්ම ඔහුගෙන් ඇහුවේ මට මේ චරිතය කරන්න පුළුවන්ද කියලා. ‘වරකත’ පිටපත ඉතා හොඳ පිටපතක්. ඒ පිටපත ඇතුළේ ලොකු අරුතක් තියෙනවා. ඒ වගේම ඒ දෙබස්වල, චරිත ස්වභාවය තුළ ප්ලේ කරන්න දේවල් තියෙනවා. ඉතින් ඒ ස්ටයිල් එක නිකම් දෙබසක් කියලා රඟපානවාට වඩා අරුතක් සමග ප්ලේ කරන එක ලෙහෙසි නැහැ. ප්‍රේක්ෂකයන් වරකත ටෙලිනාට්‍යය වැලඳගෙන තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. සුදු මැණිකේ කියන්නේ නපුරු චරිතයක්. හැබැයි එක කෑගහලා නපුරුකම පෙන්වන චරිතයක් නෙවෙයි. හරියටම කිව්වොත් අළු යට ගිනි තියෙනවා වගෙයි. ඉතින් කාලෙකට පස්සේ මේ වගේ චරිතයක් කරන්න ලැබීම වගේම මට මේ නිර්මාණයට ආරාධනා කළාට මිහිරට මම ගොඩක් ස්තුති කරනවා.

පසුගියදා ඔබ ඔබේ ආදරණීය සැමියා සමග විදේශගත වුණා නේද?

ජීවිතයේ ලබපු භාග්‍යවන්ත අවස්ථාවක්. රුසියාවේ පැවැති 48 වැනි මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල වෙනුවෙන් තමයි අපි සහභාගි වුණේ. තරගකාරී අංශයේ ජූරි සභාපතිවරයා ලෙස ප්‍රසන්නව තෝරාගෙන තිබුණා. ඒ රටට ගියාම තියෙන පිළිගැනීම අපට විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්. ලෝකයේ හැම රටකින්ම ඒ සිනමා උළෙලට තරග කරන්න චිත්‍රපට ඉදිරිපත් කරලා තිබුණා.


නිර්මාණවලට දමයන්තිගේ දායකත්වය අඩුයි නේද?

එයට මගේ කිසිම හේතුවක් නැහැ. පසුගිය දවස්වල මට නිර්මාණවලින් ආරාධනා ලැබුණේ නැහැ. මෙගා නාට්‍යද, කොටස් අඩු නිර්මාණද කියලා මගේ තෝරාගැනීමක් නැහැ. මම කතන්දර විතරයි තෝරාගන්නේ. හැබැයි ඉතින් කාලෙකට පස්සේ දකිනකොට ප්‍රේක්ෂකයන්ටත් ඒ චරිත හරහා ලොකු වෙනසක් දැනෙනවා. ඒ වෙනස නිසා තමයි මේ දවස්වල ‘වරකත’ ටෙලිනාට්‍යයේ මගේ චරිතය ගැන වුණත් කතා වෙන්නේ.

අලුත් නිර්මාණයක් කිරීමට ඔබේ සැලසුම කොහොමද?

වේදිකා නාට්‍යයක් කරන්න සැලසුමක් තියෙනවා. ඒ වගේම නව මුහුණු එකතු කරගෙන කෙටි වේදිකා නාට්‍ය හතරක් කරන්නත් සූදානම් වෙනවා.

ඔබගේ රංගන පාසලේ වැඩකටයුතු කොහොමද?

කොවිඩ් වසංගතය සමග මගේ රංග පාසල අතරමග නතර වුණා. ඒ වගේම පුහුණුවීම් කිරීමට සුදුසු තැනක් සොයාගැනීමට අපහසු වුණා. දැන් ඒ වැඩකටයුතු සඳහා ස්ථානයක් මගේ හිතවතෙක් සූදානම් කරමින් යනවා. ඒ වැඩකටයුතු අවසන් වුණාට පසුව මම නැවත රංගන පාසල පටන් ගන්නවා.

නවක ශිල්පීන්ට පුහුණුව අවශ්‍යද?

අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඔවුන්ට සතතාභ්‍යාසය අවශ්‍යයි. ඒ වගේම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කරන කෙනකුට පුහුණුවක් ඇතිව මේ ගමන යනකොට ලොකු පහසුවක් දැනෙනවා. මගෙන් ගුරුහරුකම් ලබාගත්ත ගෝලයන් අද මේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත බවට පත්වෙලා. ඒ ඔවුන්ගේ දක්ෂතාව දැකලා. අද ඔවුන් වැඩකරන පිළිවෙළ දැක්කම ගොඩක් සතුටු වෙනවා මම. මේ ගමන යන්න නම් ඔවුන්ගේ උත්සාහය, කැපකිරීම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post