රිවර්ස්ටන් පොලිස් නිළධාරියකුගේ ඇතුළාන්තය පිළිබිඹුවක් – ප්‍රියන්ත සිරිකුමාර

gossiplanka image 1
 


රඟපෑමක් කියලා තේරෙන්නේ නැති තරමටම යම් චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරනවා නම් වගේම ඒ චරිතය ඇතුළේ ජීවත්වෙනවා නම් ඔහු සැබෑ දක්ෂයෙකි. පසුගිය වසරේ සිට රිදී තිරය, පුංචි තිරය වගේම වේදිකාව ඔස්සේ එහෙම චරිත ඇතුලේ ජීවත්වුණ චරිතයක් එක්කයි අද අපි කතාබහ කරන්න හදන්නේ. මේ දවස්වල ඔහු කොස්තාපල් චන්ද්‍රපාල ලෙසින් නන්දිත එක්ක රිවර්ස්ටන් යනවා. මේ වැඩේට ඉන්ස්පෙක්ටර් පින්නවල වගේම සාජන් උදයසිරිත් ඉන්නවා. කොහොමින් කොහොම හරි හැමෝම කතාබහ වෙන රිවර්ස්ටන් ගැන කතාබහ කරන්න අපි කොස්තාපල් චන්ද්‍රපාලට ජීවය දෙන ප්‍රියන්ත සිරිකුමාරව මුණගැසුණා.


ඔබ රංගනයෙන් දායකවුණු රිවර්ස්ටන් මේ දිනවල තිරගත වෙනවා. මොනවද කට්ටිය කියන්නේ?


රිවර්ස්ටන් චිත්‍රපටය ඇත්තටම ලංකාවේ තිරගත වෙන්න කලින් අන්තර්ජාතික සිනමා උළෙලවල ජූරිවලදී විශේෂ අවධානයට ලක්වුණු චිත්‍රපටයක්. මෙහි රචනය, අධ්‍යක්ෂණය වගේම කැමරාකරණයට සම්මාන පවා හිමිවුණා. විශේෂයෙන් මහේන්ද්‍ර පෙරේරාට සම්මාන හිමිවීම වගේම රන්දික ගුණතිලක නිර්දේශ වුණා. මේක හොඳ චිත්‍රපටයක් කියන කාරණාව අන්තර්ජාතික සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්වීමෙන් පවා ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට දැනගැනීමට හැකිවුණා. චිත්‍රපටය තිරගතවුණාට පස්සේ අපිට දැනගන්න ලැබුණා හැම පළාතකම ප්‍රේක්ෂකයෝ ගිහිල්ලා චිත්‍රපටය නරඹනවා. මම හිතන්නේ චිත්‍රපටය බැලුවට පස්සේ ලැබෙන ආරංචියත් එක්ක තමයි මම හිතන්නේ චිත්‍රපටය මිනිස්සු අතරට ගමන් කරන්න පටන්ගන්නේ. චිත්‍රපටයේ තියෙන කතා තේමාවේ විශේෂත්වයත් එක්කත් මිනිස්සු ඉදිරියට තවත් නරඹයි කියලා හිතනවා.


මේ පිටපත කියවනකොට මොකද හිතුණේ?


මෙහි සුවිශේෂීම කාරණය තමයි තිරපිටපත. ඒක නිලන්ත පෙරේරා කියන කලින් අපි දැනහඳුනාගෙන හිටපු ලංකාවේ ඉන්න කාලේ විශේෂයෙන්ම බූඩි එක්ක වැඩකරන කාලයේ වැඩකරපු සිනමාව පිළිබඳ උනන්දුවක් තිබ්බ තරුණ මිත්‍රයෙක් තමයි ලිව්වේ. ඔහුගේ කතාවක් තමයි ලලිත් රත්නායක තිර පිටපත ලියලා අධ්‍යක්ෂණය කරන්නේ. ඉතිං නිලන්තගේ ඒ කතාව ඉතාම වැදගත් වෙනවා මේ චිත්‍රපටය ගැන කතා කරද්දී. අපූරු තිරනාටකයක් හැටියට පළපුරුදු අධ්‍යක්ෂවරයෙක් තිරනාටක රචකයෙක් හැටියට ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයෙත් චිත්‍රපට ක්‍ෂේත්‍රයේ ලලිත් ඒක ඉතාමත්ම අපූරුවට නිර්මාණාත්මකව ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙනවා සාර්ථක චිත්‍රපටයක් සඳහා. ඉතිං ඒක විශේෂ කාරණාවක්.


කොස්තාපල් චන්ද්‍රපාල වෙනුවෙන් මොනවගේ කැපකිරීමක් ද කරන්න සිද්ධවුණේ?


පොලිස් නිලධාරියා කියන මාතෘකාව ගැන ගත්තහම ලෝකයේම එහෙමයිනේ. ළමයෙක් ඉපදුණාට පස්සේ අම්මා තාත්තා නෑදෑයෝ, සහෝදර, සහෝදරියෝ වගේම අපට පරිසරය දැනගන්නකොටම පොලීසිය කියන එකත් දැන හඳුනාගන්නවානේ. පොලීසිය අපේ ජීවිතයට ඒ තරම්ම සමීපයිනේ. අද ලෝකේ සමාජයේ එකට ගමන් කරන විෂයක්නේ. එතකොට නීතිය වගේ කාරණාත් එක්ක ඒක සමීපයි. අපේ රටේ අපේ ජීවිත ගත්තත් පොලීසිය ආරක්ෂක සේවය විවිධ අවස්ථාවන්වලට මුහුණදීපු විවිධ අර්බුද ඇතුලේ ගමන් කරපු රටක් හැටියට අපිට විශේෂව දැනෙන රැකියාවක්. එතකොට ඒ නිල ඇඳුම් ඇතුලේ ජීවත්වෙන පුද්ගලයෝ ගත්තොත් සමාජයේ අපිත් එක්ක ජීවත්වෙන අපේ සහෝදරයෝ, අපේ නෑදෑයෝ, හිතමිතුරන් අතුරින් තමයි පොලිස් නිලධාරියා කියන එකත් ලංකාවේ අප අතර ඉන්නේ. අපි පොඩි රටක්නේ. ඉතිං මම හිතන්නේ ඒ නිලධාරියා සහ රාජ්‍යය, දේශපාලනය කියන එක තමයි මෙතැන වැදගත් වෙන්නේ. නිලයක් දරන නිලධාරියෙක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. ඔහුගේ රැකියාව ඇතුලේ තමයි ඔහු නිලයක් දරන්නේ. ඒ වගේම රාජ්‍යය කියන්නේ ඊට වඩා වගකිවයුතු කාරණයක්. ඒ නිලධාරියාට උඩින් ඉන්න, ඊළඟට දේශපාලනය කියන්නේ තවත් ආකාරය කියනවා නම් ඊටත් වඩා උඩින් තියෙන වෙනත් කාරණයක්. ඔය දෙක අතර රැකියාවකට ආපු ඕනෑම තරුණයෙක් රැකියාවක් සඳහායි නිල ඇඳුම තෝරාගන්නේ. නමුත් ඔහු රැකියාවට ආවට පස්සේ මේ තියෙන සමාජයේ සිදුවෙන රාජ්‍යය සහ දේශපාලනික බලපෑම් මේ සියල්ලම ඇතුලේ රැකියාව හැටියටත් පුද්ගලයෙක් හැටියටත් අසරණ වෙන අවස්ථාවන් අපි සමාජය හැටියට ඕනෑතරම් දකිනවා. අතීතයේ ඉඳලාම ඒක ඒ විදිහටමයි ඉස්සහරට ගමන් කළේ. ඉතිං මම හිතනවා මෙතැනින් ඉදිරියට අපි ගමන් කරද්දී ජීවිතයේ අපි රටක් හැටියට වුණත් මෙවැනි චිත්‍රපටයක් ඇතුලේ ඒ වගේ පොලිස් නිලධාරියෙකුගේ ඇතුලාන්තය පිළිබිඹු කරන්න ඉස්සරහට අරගෙන එන්න අපිට හම්බවුණ ලොකු අවස්ථාවක් රිවර්ස්ටන් චිත්‍රපටය.


දැවැන්ත නළුවෝ හතර දෙනෙක් එක්ක ජීප් එකක් ඇතුලේ රිවර්ස්ටන් ගිය ගමනේදී මුහුණදුන් අත්දැකීම් මොනවගේද?


අපි හැමෝම විවිධ විදිහේ පුද්ගලයෝ. අපි හතරදෙනාගෙත් තියෙන්නේ ඒ වගේ අදහස් තමයි. දුෂ්කර රූගත කිරීම් තමයි සිද්ධවුණේ. ලංකාවේ චිත්‍රපට කරන්නේ විශාල පහසුකම් එක්ක නෙමෙයි. අද වගේ චිත්‍රපටය මෙච්චර සංඛ්‍යාවක් බලයිද නැද්ද කියලා අපි දන්නේවත් නැතිව තමයි ඒ කාලේ අපි කළේ. දැන් වෙලාවේ කරපු චිත්‍රපටවල අවස්ථාව ඔය විදිහට තමයි තිබුණේ. එතකොට මේ චිත්‍රපටය කරද්දිත් මොනවගේ ප්‍රතිඵලයක් එයිද කියලා දැනගෙන නෙමෙයි කළේ. එහෙම වුණහම නිෂ්පාදකයා තුළත් තමන්ගේ වියදම ලබාගන්න පුළුවන් ද බැරිද කියන අසීරුතාවයන් කියන කාරණ තියෙනවා. ඒ අවදානම නිෂ්පාදකයා විතරක් නෙමෙයි නිෂ්පාදකයා සහ අනෙකුත් ශිල්පීන් අතර බෙදාගෙන තමයි අපි චිත්‍රපට කරන්නේ. එතකොට මේ මොහොතේ මේ එන ප්‍රේක්ෂක ප්‍රතිචාර අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් අපි ඉතාමත්ම අසීරුවෙන් සියයට සියයක් අපේ තියෙන කැපකිරීම සහයෝගය නිෂ්පාදකයාට අපි දීලා තමයි මේ චිත්‍රපටය කරලා තියෙන්නේ. එහෙම බලද්දී රංගන ශිල්පීන් හැටියට අපි හතර දෙනාම සෑහෙන කැපකිරීමකින් තියෙන සීමිත පහසුකම් ඇතුලේ වැඩකරලා තමයි කරලා තියෙන්නේ. ඒ හැම එකක් ඇතුලේම වෘත්තිකයන් හැටියට වෘත්තීයමය ඉහළම ලක්ෂණ අනෙකුත් තුන්දෙනාගෙත් තිබුණා. අපි හැමෝටම අපි හතර දෙනාම උත්සාහ කළේ අපේ වෘත්තිය ඇතුලේ වෘත්තීය මට්ටමේ සේවාවක් චිත්‍රපටයට ගෙන එන්න තමයි.


කොස්තාපල් චන්ද්‍රපාල ගැන මොකද හිතෙන්නේ?


චන්ද්‍රපාලලා ඕනෑතරම් අපේ සමාජයේ ඉන්නවා. අපි කොච්චර එක්තරා විදිහකට පහළම ස්ථරය මොනතරම් දුරකට අසරණ වෙනවාද කියන එක කාරණාව ගැන චන්ද්‍රපාල හැටියට චිත්‍රපටය ඇතුලේ ජීවත්වීම තුළ ඒක අත්විඳලා අත්දැකලා ඒක ගැන හිතන්න කල්පනා කරන්න මට පෞද්ගලිකව අවස්ථාව උදාවුණා. ඉතිං මම දකිනවා පොලිස් සේවයේ සිටින හැම නිලධාරියෙක් ඇතුලේම මනුස්සයෙක් ඉන්නවා කියලා. මම ඒ චරිතය ඇතුලේ මනුෂ්‍යත්වය හොයාගන්න උත්සාහ කරපු ඒ කාලය ඇතුළත දරපු උත්සාහය ඇතුළත ඒ මනුස්සයා මට පේන්න අරගෙන තියෙනවා. අපි හැමෝම මනුෂ්‍යයෝ. මම හිතන්නේ මනුෂ්‍යයෝ හැටියට අපි ගන්න තීරණ අපි කරන්නේ මොනවාද කියලා ඒ සියල්ල බලපාන්නේ මනුෂ්‍යයාටම හිතකර මනුෂ්‍යයාටම සේවාවක් වන විදිහට ගන්න තීරණය වෙන සමාජයක් හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි මේ හැමදෙයක් ඇතුලේම බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ අපිට යම් විදිහකට චිත්‍රපටයක් ඇතුලෙන් චන්ද්‍රපාල විදිහට ඇවිත් ඒකට උදව් කරන්න ඒකට සහායක් දක්වන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.


මේ දවස්වල ‘නටත් අයෙක් සුරාමතින්’ ටෙලිනාට්‍යයෙන් පවා දකින්න ලැබෙනවා?


ඇත්තටම ඒකත් තවත් විදිහක සමාජයේ සංකීර්ණතාවයන් තියෙන විෂයක්. අද දෙමාපියෝ කොච්චර දුරකට තමන්ගේ දරුවන්ට උගන්වන්න මහන්සිවෙනවාද?. ඒ එක්කම ක්‍රීඩාව වගේ දේවල් සංකීර්ණ සමාජයක් ඇතුලේ ලබාදීමේදී කොච්චර දුරකට අසීරුතාවයක් තියෙනවාද කියන එක ඒ ටෙලිනාට්‍යයෙන් දකින්න ලැබෙනවා.


කාලෙකට පස්සේ වෙනස් ටෙලිනාට්‍යයක් ඇවිත් කියලා කතාබහ වෙනවා. මොකද හිතෙන්නේ?


ඒක ඇත්තටම කාලෙකට පස්සේ ආව එක තමයි කාරණය. ඇත්තටම ටෙලිනාට්‍ය කියන්නේ මම හිතන්නේ ඔය අද අපි දකින මීටත් එහා මට්ටමක තියෙන්න ඕනෑ කලාවක් තමයි ලංකාවේ ටෙලිනාට්‍ය කියන්නේ. ඇත්තම කිව්වොත් එවැනි ටෙලිනාට්‍ය කලාවක් නොතිබිච්ච රටක් නෙමෙයි මේක. ඉතා හොඳ පරිපූර්ණ පිටපත් සහිත ඒ යම්කිසි විදිහක ඇතුලේ තියෙන ශිල්පීය තත්ත්වයන් එක්ක පවත්වාගෙන ටෙලි නිර්මාණ කරපු රටක් මේක. ඉතිං ඒවා එන්න එන්න විනාශවෙන්න ගිහිල්ලා මම හිතන්නේ මුදල කියන කාරණය අභියෝගය ඇතුලේ ශිල්පීය කාරණය ගොඩනගාගන්න බැරිව පොඩ්ඩක් ඩ්‍රොප් වෙවී වෙවී යන කාලයක් ටෙලිනාට්‍ය කලාවේ තියෙන්නේ. මම හිතන්නේ මේ නිර්මාණය ඉතාම ඉහළින් අපිට දැනෙන්නේ ඒකයි. ඊටත් වඩා එහාට අපේ රටේ ටෙලිනාට්‍ය කලාව තියෙන්න ඕනෑ. ඉතිං මම හිතන්නේ ඉස්සරහට අපිට මේ කාරණා පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන් වුණොත් අපි රටක් හැටියට අපේ කලාව කොච්චර ඉහළ තැනක පවත්වාගෙන යන්න ඕනෑද, වෙළෙඳ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන් ඕනෑම නාලිකාවකට හරි අනෙකුත් ඕනෑම කලා විෂයන් සම්බන්ධ ආයතනවලට. නමුත් ඒත් එක්ක අපි මොකක්ද අරගෙන යන්නේ කියන කාරණයේදී මූලික වෙන්නේ කලා නිර්මාණයක් තමයි අරගෙන යන්නේ. එතකොට ඒක මොනතරම් උසස් මට්ටමක තියාගන්න ඕනෑද කියලා ඉස්සරට මීටත් වඩා හිතන්න වෙනවා.


ඔබ මෑත කාලයේ වැඩිපුර දකින්න ලැබෙන්නේ සිනමාවෙන්. දැන් වැඩිපුර කාලය යොමුකරන්නේ සිනමාවටද?


එහෙම නැහැ. හොඳ ටෙලිනාට්‍ය පිටපතක් ලැබුණම මම කවදාවත් අතහැරලා නැහැ. හොඳ දෙයක් ලැබුණොත් මම ඒක කරනවා. ටෙලිනාට්‍ය කලාවේ යම් අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා. අද ටෙලිනාට්‍ය කලාවේ හරි අසීරුතාවක් තියෙන්නේ. ඒ තියෙන අසීරුතාව තුළ ටෙලිනාට්‍යය කරන එක ගැන යම් උදාසීනත්වයක් තියෙනවා. නමුත් හැම වෙලාවේම ඉතා හොඳ තිරපිටපතක් එක්ක ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න හැමවෙලාවේම මගේ කාලය දෙනවා. මම අනිවාර්යයෙන් වැඩ කරනවා. මේ කාලයේ චිත්‍රපට ක්‍ෂේත්‍රයේ අපිට තියෙනවානේ යම් විදිහකට ඉවර කරන්න පුළුවන් අපිට තව වෙන නිර්මාණයක් සඳහා ඔළුව යොමුකරන්න පුළුවන් සියයට සියයක් අපි කරන විෂයට කැපකරන්න බලාපොරොත්තුව තියාගෙන වැඩකරන්න පුළුවන් පහසුකම පොඩ්ඩක් සිනමා ක්‍ෂේත්‍රයේ මේ වෙනකොට තියෙනවා. ඒකත් එක්ක පසුගිය දවස්වල වැඩිපුර චිත්‍රපටවල වැඩකරන්න යොමුවුණා. වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත්‍රපට කියන මාධ්‍ය තුන මට පුළුවන් විදිහකට කළමනාකරණය කරගෙන තමයි වැඩ කරන්න බලන්නේ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post