මේනකා මධුවන්ති, කාලෙකට කලින් හැමෝම දන්න රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. නමුත් මීට අවුරුදු පහකට කලින් ඇය කලාවෙන් ඈත් වෙලා විදේශගත වෙනව.ඩුබායි රටේ රැකියාවක් කළත් අවුරුද්දකට වතාවක් ලංකාවට ඇවිත් යන්න ඇය අමතක කරන්නෙ නැහැ. ඉතිං මේ අවුරුද්දෙ ලංකාවට ආපු වෙලාවෙ ‘මීවිත’ එක්ක කතාබහ කරන්න ඇය අමතක කළේ නැහැ.
මේනකා මෙවරත් අලුත් අවුරුද්දට ලංකාවට ආවා?
ඔව්, මම හැම අවුරුද්දකම මේ විදිහට ලංකාවට ඇවිත් යනව. ඒ ගැන වැඩිය කවුරුවත් දන්නෙ නැහැ. ඉතිං මේ වතාවෙත් පුරුදු විදිහට ආවා. නමුත් වෙනත් අවුරුදුවලට වැඩියෙන් මේ වතාවේ ටිකක් වැඩිපුර කාලයක් නැවතුනා.
මේ ආව ගමනෙදි රඟපාන්න එන්න කියල කවුරුත් කිව්වෙ නැද්ද?
මේ වතාවෙ මම එන බව වගේම ආව බවත් ගොඩක් දෙනෙක් දැනගත්තා. ඒ මම සමාජ මාධ්‍යයේ පළකරපු ෆොටෝස් නිසා. රංගනයට විශේෂ ආරාධනයක් තවම ආවෙ නැහැ. නමුත් ගොඩක් දෙනෙක් අහනව ඇයි රඟපාන්නෙ නැත්තෙ කියල වගේම නැවත රඟපාන්න එන්න කියලත් කියනව. හොඳ යාළුවො පිරිසක් මට ඉන්න නිසා අවුරුදු දහයකින් ආවත් මට හරියන චරිතයක් ලැබෙයි කියල විශ්වාසෙකුත් මං ළඟ තියෙනව.
හොඳම කාලෙදි ඔබ ලංකාව දාල යනව?
ඒකට හේතුව, මම රඟපෑමට ඇවිත් ඒ දේ සාර්ථකව කරගත්තෙ නැහැ කියන දේ කියන්නත් පුළුවන්. නමුත් ඕනෑම දේකට කාලයක් තියෙනවනෙ. ඉතිං මම හිතුව රැකියාව වෙනුවෙන් වෙන්කරන්න තියෙන හොඳම කාලය මේක කියල. මොකද හැමදාම අපිට වෘත්තීය මට්ටමෙන් රැකියාවක් කරල යමක් උපයා ගන්න පුළුවන් වෙන්නෙ නැහැ. රංගනය කියන්නෙ ඇත්තටම අපේ ආසාවට කරන දෙයක් වගේ. මොකද රංගනයෙන් අපිට ලොකු ආදායමක් ලබන්න බැහැ. මම හිතනව අනෙක් අයත් මේ කතාවට එකඟ වෙයි කියල.
රැකියාව කරද්දි හිතුනෙ නැද්ද රඟපෑවනම් හොඳයි කියල?
මම හිතන්නෙ අපි එක දේකින් තෘප්තිමත් වෙන්නෙ නැහැ. මමත් එහෙමයි. රඟපාද්දි මට හිතෙනව මම වෙනත් වෘත්තියක් කරන්න ඕන කියල. වෙනත් වෘත්තියක් කරනකොට හිතෙනව රඟපෑව නම් හොඳයි කියල. ඒ වගේම රඟපෑම සහ ඩාන්සිං කියන්නෙ මගේ ෆැෂන් එක. ඒක මට මැරෙනතුරු අමතක කරන්න බැහැ.
මේනකා විදේශගතව මොකද කරන්නෙ කිව්වොත්?
මම ඉන්නෙ ඩුබායිවල. අපිට සැලෝන් තුනක් තියෙනව. ඒ තුනේම මැනේජර් විදිහට කටයුතු කරන්නෙ මම.
ඔබ ක්‍ෂේත්‍රයට එන්නෙ රියැලිටි වැඩසටහනක් හරහා?
ඔව්, මම ක්‍ෂේත්‍රයට එන්නෙ සිරස ඩාන්සිං ස්ටාර් හරහා. ශාන් පෙරේරා මහත්මයාගෙ නර්තන කණ්ඩායමේ ඉන්න අතර ආපු ආරාධනයක් නිසයි මම මේ තරගයට ඉදිරිපත් වෙන්නෙ. එයින් පස්සෙ ටෙලි ඩ්‍රාමා, චිත්‍රපට, නර්තන වැඩසටහන්වලට ලැබුණ ආරාධනා එක්ක මම ඒවාට සම්බන්ධ වුණා.
ඩුබායිවලදි ලංකාවේ නිර්මාණ බලනවද?
බොරු කියන්න ඕන නැහැනෙ, මම රඟපාන කාලෙදි වුණත් මගේ නිර්මාණයක් හැරෙන්න අනෙක් නිර්මාණ බලන ප්‍රමාණය අඩුයි. නමුත් රට ඉඳිද්දි සෝෂල් මීඩියා වලින් වුණත් හිතට වදින ක්ලිප් එකක් දකින්න ලැබුණොත් මම ඒ නිර්මාණය බලනව.
කලාවෙන් ඈත්වෙලා කොපමණ කාලයක් වෙනවද?
ඇත්තටම මම කලාවෙන් ඈත් වෙලා අවුරුදු පහක් විතර වෙනව. අවසන් වරට චිත්‍රපටයකට සම්බන්ධ වුණේ හර්ෂ උඩකන්ද මහත්මයාගෙ ‘කොළඹ සන්නිය රිටර්න්’ සහ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ සිවගුරුනාදන් මහත්මයාගෙ ‘රාජයෝගය’ ට.
ලංකාවේ නවතින්න අදහසක් නැද්ද?
මම දිගටම ලංකාවේ නවතින්න තමයි හිතාගෙන ඉන්නෙ. නමුත් රැකියාවේ කටයුතුත් එක්ක දැනට මට එහෙම කරන්න විදිහක් නැහැ. අපි බලමු තව අවුරුද්දකින් දෙකකින් විතර.
මේනකාගෙ පෙනුමත් වෙනස් වෙලා?
ඔව්, ගොඩක් වෙනස් වෙලා. මම කොණ්ඩය ගොඩක්ම කොට වෙන්න කැපුවා. අද වෙද්දි ලංකාවෙ ඒක ටේරන්ඩ් එකක් වෙලා. එහේ අය පිළිගන්නෙත් නැහැ මම ලංකාවෙ කෙනෙක් කියල. හැමදේම අප්ඩේට් වෙනකොට අපිත් එහෙම වෙන්න ඕනනෙ.
රංගනයෙන් ඈත් වුණාට පස්සෙ මේනකා ගැන වැඩි තොරතුරක් නැති වුණා?
මම ලංකාවෙන් ගියාට පස්සෙ සෝෂල් මීඩියා කිසිම දෙයක් භාවිත කළේ නැහැ. දැනට අවුරුද්දකට කලින් වගේ තමයි ෆොටෝ එකක් අප්ඩේට් කළේ.
මේ වන විට රංගන ක්‍ෂේත්‍රය සමග තියෙන සම්බන්ධතා කොහොමද?
රංගන ක්‍ෂේත්‍රයේ මම ආශ්‍රය කරන්නෙ සීමිත සිරිසක්. ඒ අතරින් ගොඩක් දෙනෙක් මම ලංකාවට ආවා කියල දැනගෙන මට කතා කළා. ඒ වගේම ගොඩක් ළඟින් ඉන්න කිහිප දෙනෙක් මුණගැහුනා.
නර්තනය නැවත පටන්ගන්න අදහසක් නැද්ද?
මම හරිම ආසයි. මුල් කාලෙදි ඩාන්සිං ක්ලාස් පවා කළා. නමුත් එක එක කාලෙට එක එක අදහස් එනවනෙ. ලංකාවෙන් යද්දි මට කඩවත සැලෝන් එකක් තිබුණා. එහෙදි මම රූපලාවන්‍ය ඩිප්ලෝමා එකක් කළා. ඉතිං මට ඕන ඒ අත්දැකීම අපේ රටේ අයත් එක්ක බෙදාගන්න ඉන්ස්ටිටියුට් එකක් ආරම්භ කරන්න.
රංගන ක්‍ෂේත්‍රයේ අලුත් මුහුණු ගැන ඔබේ අදහස කොහොමද?
අපි ක්‍ෂේත්‍රයට ආපු කාලෙත් ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමහර වෙලාවට හොඳ දේවල් වගේම නරක දේවලුත් හම්බ වුණා. දැන් තත්ත්වය ගොඩක් හොඳයි. ඉස්සර නටන්න පුළුවන් අයට රඟපාන්න බැහැ, රඟපාන්න පුළුවන් අයට නටන්න බැහැ. නමුත් දැන් ඉන්න අය හරිම දක්‍ෂයි. පොඩි ළමයි පවා හරිම ස්මාර්ට්, හරිම ඇඩ්වාන්ස්.
මහේෂ් එදිරිසිංහඡායාරූප – සජීව ලක්‍ෂාන්