මවගේ දැඩි කැමැත්ත මත කලා ක්ෂේත්රයට පිවිසි සංජානාට මුලින්ම අවස්ථාව ලැබී ඇත්තේ ඇගේ මවගේ මිතුරෙකු වූ සුමංගල මහතා මාර්ගයෙන් බාලසූරිය නම් අයෙකු හඳුනාගැනීමෙනි. ඒ ඔස්සේ අධ්යක්ෂ සායාගේ ‘සින්ටො’ ටෙලි නාට්‍යයේ සුළු චරිතයකට ඇය සම්බන්ධ වී තිබෙනවා. එහිදී ඇගේ දක්ෂතා දුටු අධ්යක්ෂවරයා සිය ඊළඟ නිර්මාණය වූ ‘ඇයි අපි සුදුද’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් සඳහා ඇයව තෝරාගෙන තිබුණා. ඒ කළු පැහැති සමක් ඇති තරුණියන් වෙනුවෙන් කළ තිර පරීක්ෂණයකින් පසුවයි.
ඉන්පසු සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කෙටි විවේකයක් ගත් සංජානා, එකල විකාශය වූ ‘කොටු’ ටෙලි නාට්‍යයේ දැඩි රසිකාවියක් බවට පත්ව සිටියා. ඇයට ‘කොටු’ සිනමා නිර්මාණයට සම්බන්ධ වීමට ආරාධනා කර ඇත්තේද සායා විසිනි. පෞද්ගලිකවම සංජුගේ චරිතයට සහ එම සංස්කෘතික පසුබිමට දැඩිව කැමති වූ නිසා ඇය ඉතා ආසාවෙන් එම ආරාධනය භාරගෙන තිබෙනවා. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී ඔවුන් රිය අනතුරකට මුහුණ දී ඇති අතර එහිදී සංජානාගේ කකුලකටද තුවාල වී තිබෙනවා.
කලාවට පිවිසීමට පෙර නිරූපණ ක්ෂේත්රයේ කටයුතු කළ ඇයට සිනමාව යනු සම්පූර්ණයෙන්ම නවමු අත්දැකීමකි. ටෙලි නාට්‍ය කිහිපයකට දායක වී තිබුණත් ඇගේ කුළුඳුල් සිනමා අත්දැකීම වන්නේ ‘කොටු’ චිත්‍රපටයයි. එමෙන්ම මුහුරත් උළෙලක් පිළිබඳව මුලින්ම අත්දැකීම් ලබාගත්තේ ද මේ හරහා බව ඇය සඳහන් කළා. ප්රවීණයන්ගේ ගුරුහරුකම් සහ සහයෝගය මත සිය චරිතය සාර්ථකව නිම කිරීමට ඇයට හැකි වී තිබෙනවා. ‘කොටු’ වේදිකා නාට්‍යයේ හෝ ටෙලි නාට්‍යයේ රඟනොපෑවද ඒවායේ ප්‍රේක්ෂිකාවක් වූ තමන්ට මෙවැනි වෙනස්ම නිර්මාණයකට දායක වීමට ලැබීම පිළිබඳව ඇය නිහතමානීව සතුටු වනවා. එසේම අධ්යක්ෂවරයා කෙරෙහි ඇති දැඩි විශ්වාසය නිසාම තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වේ යැයි ඇය කිසිවිටෙකත් බිය වී නැහැ.
අද කාලයේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වීමට බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබුණත්, මේ තරම් ළාබාල වයසකදී සිනමාවට පිවිසීමට ලැබීම විශාල භාග්‍යයක් ලෙස සංජානා සලකනවා. චිත්‍රපටයේ ඇගේ සහාය නළුවා ලෙස කටයුතු කරන්නේ ඉසුරංගයි. මුලින් ඔහු තරමක් ආඩම්බර චරිතයක් යැයි සිතුවත්, එකට වැඩ කිරීමේදී ඔහුත් තමන් වගේම විනෝදකාමී කෙනෙකු බව ඇයට වැටහී තිබෙනවා.
2023 වසරේ 'මිස් ටීන් ශ්‍රී ලංකා' (Miss Teen Sri Lanka) කිරුළ දිනාගනිමින් ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ද ඇය සමත් වී තිබෙනවා. නිරූපණ ක්ෂේත්රයේ සිට රංගනය දක්වා පැමිණි ගමනේදී ඇයට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. විශේෂයෙන්ම හමේ පැහැය හේතුවෙන් බොහෝ තිර පරීක්ෂණවලින් ඇයව ප්‍රතික්ෂේප වී තිබෙනවා. කෙසේ වෙතත්, රංගනයට පිවිසීම සඳහා තමන්ගේ සමේ වර්ණය වෙනස් කරගැනීමට ඇය කිසිවිටෙකත් උත්සාහ කර නැහැ. ඒ වෙනුවට තම පවුලේ අයගේ නොමඳ සහයෝගය සහ ශක්තිය මත නොසැලී ඉදිරියට පැමිණීමට ඇයට හැකි වුණා. කුඩා කාලයේ සිටම විලාසිතාවලට දැඩිව ප්‍රිය කළ සංජානා අදටත් කාලය ලැබෙන පරිදි නිරූපණ කටයුතුවල නිරත වනවා.
තමන් පවුලට ලැදි, ආදරය අපේක්ෂා කරන නිහතමානී තරුණියක බව පවසන ඇය, අදටත් රූගත කිරීම් සඳහා යන්නේ තම මව සමඟයි. සමාජ මාධ්‍ය තුළ කැපී පෙනීමට අනවශ්‍ය උත්සාහයක් නොගන්නා ඇය පවසන්නේ තමන්ට ලැබීමට ඇති දේ අනිවාර්යයෙන්ම ලැබෙන බවත්, තමන් කෙරෙහි විශ්වාසයක් ඇත්නම් බාහිර අවධානයක් අවශ්‍ය නොවන බවත්ය.
ENGLISH SUMMARY:
Sri Lankan actress Sanjana Nethmini makes her cinematic debut with the newly released movie 'Kotu', playing the lead role of Sanju. Directed by Saya, 'Kotu' was originally popularized as a stage play and a teledrama before being adapted for the silver screen. Sanjana, who entered the entertainment industry to fulfill her mother's wish, previously acted in the teledramas 'Sinto' and 'Ayi Api Sududa'. Before her acting career, she achieved significant success in modeling, notably winning the Miss Teen Sri Lanka 2023 title and representing the country internationally.
During a recent interview, she shared that filming 'Kotu' was a challenging but rewarding experience, which even included a minor car accident on set. Acting alongside co-star Isuranga, she expressed immense gratitude for the opportunity to enter the film industry at a young age. Despite facing rejections at various auditions due to her dark skin tone, Sanjana remained authentic and refused to alter her appearance to fit traditional industry beauty standards. A humble, family-oriented individual, she credits her resilient journey to the unwavering support of her parents.