පාර්ලිමන්ට් ජෝක්ස්, වන් ෂොට් වන්, ලීඩර්, ඩොක්ටර් නවරියන් වැනි චිත්‍රපට අධ්‍යක්‍ෂණය සිදුකරමින් රන්ජන් සිනමා අධ්‍යක්‍ෂණයට ද පිවිසිණි. දිගු නිහැඬියාවකට පසුව ඔහුගේ නවතම සිනමා නිර්මාණය ඕ.අයි.සී. ගඩාෆි පසුගිය බ්‍රහස්පතින්දා සිට රටපුරා සිනමාහල් රැසක තිරගත කිරීම ඇරඹිණි. මෙවර ‘මීවිත’ මුල් කවරය හැඩ කරන රන්ජන් රාමනායක සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.
දැන් රඟපාන්න ඇවිත් කොච්චර කල්ද?
මම රඟපෑම පටන් ගත්තේ 1986 අවුරුද්දේ. මගේ පළමු ටෙලිනාට්‍ය තමයි භාග්‍යා ටෙලි නාට්‍යය. රමණී බර්තොලමියුස් එක්ක තමයි රඟපෑවේ. ආජු තපර ලාලිලා කියන සින්දුව එහෙම තිබුණේ. විජය ධර්ම ශ්‍රී මහත්මයා තමයි අධ්‍යක්‍ෂණය සිදු කළේ. රමණී ප්‍රධාන නිළිය. මම ප්‍රධාන නළුවා. සුනිල් රත්නායක මහත්මයා තමයි නිෂ්පාදනය සිදු කළේ.
ඊට කලින් මම අතිරේක නළුවෙක් විදිහට සුනිල් ආරියරත්න මහත්මයාගේ ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ රඟපෑවා. ඒක තමයි පළමු වැනියට කැමරාවක් ඉස්සරහට ගිය දවස. ඒ දර්ශනයේ අදටත් මම හිටපු තැන හොයා ගන්න අමාරුයි. ඇලරික් ලයනල් ප්‍රනාන්දු තමයි නිෂ්පාදනය සිදු කළේ. ගමේ කට්ටියටත් කිව්වා මාව චිත්‍රපටයකට තෝරා ගත්තා කියලා. ඉතිං අපි ගිහිල්ලා ලෝගු ඇඳගෙන ඉන්නවා. විජය කුමාරතුංග මහත්මයා එක්ක මගේ ඥාතිකමකුත් තියෙනවානේ. මම ඉතිං කට්ටියට පේන්න ගිහිල්ලා විජය මාමා කෑවද කියලත් අහනවා. හා... හා... පුතා කෑවද කියලත් ඇහැව්වා. 86 එහෙම කළාට පස්සේ මම හැම අධ්‍යක්‍ෂවරයකුගේම ගෙදර ළඟට ගිහිල්ලා ඉන්නවා. රඟපාන්න පොඩි අවස්ථාවක් දෙන්න කියලා. හරිම අසරණයි අහිංසකයි.
එතකොට සුනිල් සෝම පීරිස් මහත්මයා පෝස්ට් කාඩ් එකක් එවලා තියෙනවා ‘ඔබටයි ප්‍රියේ ආදරේ’ චිත්‍රපටයේ ‘මනාලියක් සඳවාගේ’ සින්දුවේ මනාලයකුගේ චරිතයක් තියෙනවා එන්න කියලා. ඒ කාලේ ඒ පෝස් කාඩ් එකත් ගම වටේ පෙන්න පෙන්න ගියා. ඒක තමයි පළමුවෙන්ම තිරගත වුණු චිත්‍රපටය. ටෙලිනාට්‍ය නම භාග්‍යා.
ඕ.අයි.සී. ගඩාෆි ඔබේ නවතම සිනමා නිර්මාණය. ඔබ මෙහි හාස්‍ය සමග අඳුරු සහ කැත දේශපාලනය ගැනත් මතක් කරනවා නේද? දේශපාලනයෙන් මිදෙන්නම බැහැ නේද?
දේශපාලනය කියන්නේ ලූනු ගෙඩියේ ඉඳලා පාන් රාත්තලේ ඉඳලා තියෙන දෙයක් නේ. ඒකෙන් මිදෙන්න බැහැනේ. දේශපාලනයෙන් තොර නිර්මාණයක් නැහැ.
දිගින් දිගටම දේශපාලන ප්‍රස්තුතයක් තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද?
මගේ පළමු අධ්‍යක්‍ෂණය පාර්ලිමන්ට් ජෝක්ස් ස්වතන්ත්‍ර නිර්මාණයක්. එහි කතාව, දෙබස් සහ තිර රචනය වගේම අධ්‍යක්‍ෂණය, රඟපෑම සියල්ල මම සිදුකළා. ඉතිං ඒකෙදී ගොඩක් අය මට කිව්වා කොපි ෆිල්ම් එකක් කරන්න ඒක ලේසියි කියලා. කොපි ෆිල්ම් එකක් කරන එක ලේසි වැඩක් නේ. මමත් ඒ කම්මැලි වැඩේ දෙතුන් වතාවක් සිදුකළා. ඩොක්ටර් නවරියන් එකේ ඒක කළා. වන්පොට් එකේ යම් යම් දර්ශන ගත්තා. ලීඩර් එකෙත් යම් යම් දර්ශන ගත්තා. ඉතිං ඒකට ලොකු විවේචන ආවා. ඇයි මේ අපේ සිනමාවක් අපිට කරගන්න බැරි කියලා. ඉතිං ඒක හින්දමයි ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න අදහස් කළේ. ඒකත් දේශපාලනය ප්‍රස්තුත කරගෙන.
මගේ අලුත්ම නිර්මාණයට, නම් දහයක් විතර මුලින් ආවා. ඒ කාලේ පාර්ලිමන්ට් ජෝක්ස් කියලා චිත්‍රපටය නිර්මාණය කරන කොට එක්තරා ඇමතිවරයෙක් කිව්වා මම ජීවත්වෙලා ඉන්න කම් මේ උත්තරීතර පාර්ලිමේන්තුව ජෝක් එකක් කරන්න දෙන්නේ නැහැ කියලා. අන්තිමේ ඔහු නැති වුණා. චිත්‍රපටය තිරගත වුණා. හිතලම නෙමෙයි දේශපාලනය ගත්තේ. පාර්ලිමන්ට් ජෝක්ස් ලිව්වේ 1999 අවුරුද්දේ. 2000 වසරේ රූගත කිරීම් සිදුකළා. 2001 වසරේ තිරගත වුණේ. ඒ මීට අවුරුදු 26 කට කලින්. අදත් ඒකේ යම් යම් දේවල් තියෙනවා.
ඔබ කලකට ඉහතදී ප්‍රකාශ කළ ‘මුන් ඔක්කොම හොරු මල්ලි’ හරි ජනප්‍රිය වදනක් බවට පත්වුණා නේද?
ඕක ඉතිං ගොඩක් දේශපාලනඥයන්ට තියෙන කතාවක් නේ. එක ආණ්ඩුවක් ආවහම ඊට කලින් පාලනය කරපු අය හිරේ යනවා. අනෙක් ආණ්ඩුව ආවහම අනෙක් අයත් හිරේ යනවා. ඕක ඉතිං සාමාන්‍ය දෙයක්. අන්තිමේ මම හිතුවේ වත් නැති විදිහට මිනිස්සු අතරට ඒ වචනය ගියා.
ඕ.අයි.සී. ගඩාෆි නිර්මාණය කිරීමට අදහස ආවේ කොහොමද?
ගොඩක් වෙලාවට මම කාමරයේ ඉන්න කොට හොඳ හොඳ ප්ලොට් හීනෙන් පේනවා. ඉතිං මම හීනෙන් පේන ප්ලොට් එක උදේට මගේ ස්ටාෆ් එකට කියනවා. ඔරිජිනල් ස්ක්‍රිප්ට් එකක් හම්බ වුණා, මෙන්න මේක තමයි කතාව කියලා කිව්වහම ඕක තිබුණා නේ තෙලිඟු ෆිල්ම් එකක. මම දන්නේ නැහැ. අපි දකින දේවල්නේ හීනෙන් පෙනෙන්නේ.
ඉතිං ඕ.අයි.සී. ගඩාෆි චිත්‍රපටය ගැන කියද්දී අපිට පසුගිය ටිකේම චෝදනා ආවානේ රීමේක් කරන්න එපා කියලා. මායා කරපුවාම ආවා කාංචනා කොපි කළා කියලා. ඔරිජිනල් ශ්‍රී ලංකන් ස්ටෝරියක් ලිවීමේ ආශාව තිබුණා. ඒ වගේ දැනටත් මගේ අතේ ඔරිජිනල් කතා 24 ක් තියෙනවා. ඒ කියන්නේ බස් මාෆියාව, මැණික් මාෆියාව වගේ කතා. ඉතිං ඕ.අයි.සී. ගඩාෆි පිටපත ලෝකේ කොහේවත් වෙලා නැති දෙයක්. අන්තර්ජාලයෙන් හොයලා බැලුවහම මේ විදිහේ දෙයක් වෙලා නැහැ කියලා දැනගන්න ලැබුණේ. ඉතිං දැන් මේකට කාටවත් කියන්න බැහැනේ තෙලිඟු, මලයාලම්, ගුජරාට, හොලිවුඩ්, කොලිවුඩ් කොපියක් කියලා. මේක ස්වතන්ත්‍ර නිර්මාණයක්.
මේකට ගඩාෆි කියලා නම යොදන්න අදහස් කළේ ඇයි?
මේකට මුලින් වෙන නමක් දාලා තිබුණේ. ඕ.අයි.සී. රාවන් කියලත් ලියැවුණා. ඔහොම ඔහොම නම් ගොඩක් ලියැවුණා. මම හැම වෙලාවෙම වටේම කට්ටියගෙන් උපදෙස් ගන්නවා. අර කතාවට කියන්නේ මුට්ටිය දාලා බලනවා කියලා. අන්න ඒ වගේ. කෝකද වැඩියෙන්ම ජනතාවට වදින්නේ කියලා බලනකොට අපේ ඒ කාලේ මීගමුවේ හිටියා එඩිසන් ගුණතිලක කියලා මහත්මයෙක්. එයාට කියන්නේ ගඩාෆි කියලා.
ඒ කාලේ නොබැඳි ජාතීන්ගේ සමුළුව තිබුණ කාලේ මුහම්බර් ගඩාෆි ලංකාවට ආවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තමයි නොබැඳි ජාතීන්ගේ සමුළුව තිබ්බේ. සියලුම රාජ්‍ය නායකයෝ ඒකට ආවා. ඒකේ ජනප්‍රියම චරිතය වෙලා තිබුණේ මුහම්මර් ගඩාෆි. අපිත් ඒ දවස්වල පොඩියි. ඔහු හිටපු හෝටලය එහෙමත් බලන්න යනවා. ඒ කාලේ ලෝකයම වගේම ඇමරිකාවත් බය චරිතයක් තමයි මුහම්මර් ගඩාෆි.
සාමාන්‍යයෙන් ගම්වල චණ්ඩින්ට පවා ගඩාෆි කියලා නම දැම්මා. ඊට පස්සේ අපි ගඟ ගෙදර ආරච්චිලාගේ දොන් අසංක ඉන්ද්‍රජිත් කියන නම මුලකුරු එක්ක දාලා GADAF| ගජසිංහ තමයි එයාගේ නම. නමුත් මුලකුරු ගත්තහම එන්නේ ගඩාෆි කියලා හින්ද ගඩාෆි කියල නම දැම්මා.
ඔබ තිරයේ මේ අසාධාරණකම් ගැන කතා කළත් ඔයත් මේ දේශපාලනයෙන් රැකවරණය ලබපු කෙනෙක් නේද?
මම ඒ කතාවට එකඟ නැහැ. මම අඳුරු දේශපාලනයෙන් පෝෂණය ලැබුවෙත් නෑ. රැකවරණය ලැබුවෙත් නෑ. ඒ කාලෙ අපි කලාවෙන් ඒ වගේ චිත්‍රපට කර කර ඒ දේශපාලනයට අභියෝග කළා. ඊට පස්සෙ මම මැදපෙරදිග ප්‍රශ්නවලට ඍජුවම දායක වෙද්දී ඒ අය කිව්වා ඔයා මේ ගස් වටේ දුවන නළුවෙක්. ඔයා ක්‍රියාකාරී දේශපාලනයට ඇවිත් වැඩ කළොත් අපි තොරතුරු දෙන්නම් කියලා. ඒ දවස්වල තානාපති කාර්යාල එක්ක පවා හැප්පිලා ලොකු ලොකු ප්‍රශ්න වුණා.
ඉතිං කට්ටියම කිව්වා ඔයා එළියේ ඉඳගෙන මේ නරාවළ ගැන කියන්න එපා. නරාවළට බැහැලා සුද්ද කරන්න කියලා. නරාවළට බැහැලා සුද්ද කරලා අපිට කියන්න මේකේ තියෙන තත්ත්වය කියලා. එළියේ නිකම් චණ්ඩි ටෝක් දෙන්න ඕනෑම කෙනෙකුට පුළුවන් කියලා. ඒකට තමයි මම රයිට් කියලා 2006 සවලත් අරගෙන මේ නරාවළට බැස්සේ. බැහැලා බලද්දී අර එළියේ කියපු කතා සියයට සියයක් ඇත්ත. මේකට එන්නේ කවුරුත් මුදල් හම්බ කරන්න. නමුත් මේකෙන් හොරකම් නොකරන කෙනෙකුට හම්බ වෙන්නේ 63,500 යි.
මට අද ගහක් වටේ දුවල රන් සමනළ ජෝඩුව කිව්වොත් ඊට වඩා මුදලක් හම්බ වෙනවා. වෙළෙඳ දැන්වීමකට, විවෘත කිරීමකට ගියොත් තවත් මුදලක් හොයාගන්න පුළුවන්. සමහරු මේ 63,500 වැටුපට ඇතුළට යන්න කෝටි දහය පහළොව වියදම් කරනවානේ. එතකොට තේරෙනවා මේකේ සැඟවුණු දෙයක් තියෙනවා කියලා. මම දේශපාලනයට ඇවිත් කලාවෙන් හොයපු සල්ලි සේරම වියදම් වුණා. ඔය දේවල් කතා කරලා තමයි අවුරුද්දයි මාස 7යි දින 14 ක් හිරේ ඉන්න සිද්ධ වුණේ.
2025 වසරේ තිරගත වුණු චිත්‍රපට බලද්දී වෙනස්ම හැඩයකට තමයි සිනමාව ගමන් කරන්නේ. ඔබ ඒ ගැන දැනුවත්ද? නැතිනම් අවධියෙන්ද ඉන්නේ?
මෝඩ තරිඳු නිර්මාණය කළ තිසර ඉඹුලාන දක්‍ෂ තරුණ අධ්‍යක්‍ෂවරයෙක්. ඒ වගේමයි නෙළුම් කුලුන අධ්‍යක්‍ෂණය කළ ඉලංගෝ රාම් ඔහුගේ චිත්‍රපටය බැලුවට පස්සේ මටත් හිතුණා ඒ ආකාරයේ වැඩක් මමත් කරන්න ඕනෑ කියලා. මොකද පාර්ලිමන්ට් ජෝක්ස්, වන්පොට් වන්, ලීඩර්, ඩොක්ටර් නවරියන් වගේ ඒවා කරලා තියෙනවා. ඊළඟට මම මායා වගේ හොරර් ෆිල්ම් එකකට යන්න හිතෙනවා. පුංචි දරුවන්ගේ චිත්‍රපටයක් කරන්න හිතාගෙන ඉන්නවා. අපේ ෆාදර් චිත්‍රපටයේ චමින්ද ජයසූරිය වෙනස්ම දෙයක් කළා. තව වාලම්පුරි ලක්මාල්වත් මතක් කරන්න ඕනෑ. ආයු නිර්මාණය කරපු චතුත් දක්‍ෂයෙක්. ඉතිං මම හිතන්නේ මේක විය යුතුයි කියලයි. අපේ සිනමාව යුනික් වෙන්න ඕනෑ. දැන් බලන්නකෝ මෝඩ තරිඳු, නෙළුම් කුලුන. ඒවා වෙනස්ම කතා. නෙළුම් කුලුන ලෝකයේ රටවල් හයකට වික්කා. ලොකු ෆෙස්ටිවල්වලටත් ගියා. මේ සිනමාව ගොඩගන්න පුළුවන්. චමින්දගේ ෆාදර් කතාවත් ස්වතන්ත්‍ර නිර්මාණයක්. මගේ ඕ.අයි.සී. ගඩාෆි කතාවත් ඔරිජිනල් කතාවක්. ඉතිං මේ සිනමාව ක්‍රිකට් වගේ ගොඩදාලා ජාත්‍යන්තර අවධානයක් දිනාගන්න පුළුවන්.
එතකොට හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් ෆිම්වල නිෂ්පාදකවරු සියයට විස්සක් විතර ලංකාවට එනවා දර්ශන තල හොයාගෙන. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ.
රන්ජන් කොහොමද මේ තරුණකම පරිස්සම් කරගන්නේ. කියන්න පුළුවන්ද?
මගේ ප්‍රධානම රහස තමයි හිතේ නිදහස. මිනිහෙක් නිදහස් වෙන්න ඕනෑ නම් ඉස්සෙල්ලාම තනිවෙන්න ඕනෑ. බැන්දහම ප්‍රශ්න වැඩියි. නොබැන්දහම ප්‍රශ්නවලින් භාගයක්ම අඩුයි. මම හොඳ විවේකයක් ගන්නවා. ගුණාත්මක එළවලු පලතුරු ආහාරයට ගන්නවා. ඒ වගේම ව්‍යායාම කරනවා. අනික මානසික නිදහස, ආතතිය නැතිකම වගේම වෛරයක් හිතේ තියාගන්නෙත් නැහැ. අපිට ඉතිං මහ කාලයක් ජීවත් වෙන්න බැහැ. නමුත් ඉන්න ටිකේ සුන්දරව ඉන්න පුළුවන්. විවේචන උහුලගෙන කේන්ති ගන්නේ නැතිව හිටියා නම් හරි.
විවාහයක් ගැන හිතන්නේ නැත්තේ සතුටින් ජීවත් වෙලා සතුටින් මියයන්න ඕනෑ කියන කැමැත්තටද?
ඒ කාලේ විවාහ වෙන්න කියලා අදහසක් තිබ්බා. ආදර සම්බන්ධතාත් තිබිලා තියෙනවා. ඊට පස්සේ ටික ටික පරිණත වේගෙන යද්දී අත්දැකීම් ලබද්දී පෙම්වතුන් ගහගන්න හැටි දකිනවා. තරහ වෙන හැටි දකිනවා. පොඩි දේවල්වලට දිවිනසා ගන්න හැටි දකිනවා. බයොලොජිකල් ශරීර දෙකකට කවදාවත් ගැටුම් නැතිව ඉන්නට බැහැ. මම හිතන විදිහත්, ඔබ හිතන විදිහත් හාත්පසින්ම වෙනස්නේ. ඒවා දැක්කට පස්සේ 30, 35 පැන්නට පස්සේ තනිකමට ඇබ්බැහි වෙනවා. ඒකේ සුන්දරත්වය දකින්න ගන්නවා. බැඳලා දුක්විඳින අය දකිනවා. ඒ කාලේ සිතින් ප්‍රේම කරන කාලයක් තියෙන වානේ. ඒ සිදුවීම් සියල්ලටම හිනාවෙන කාලයක් එනවා. හැමෝටම විවාහ නොවී ඉන්න කියලා නෙමෙයි මම කියන්නේ. මට වුණ දේ තමයි මම කියන්නේ.
අනෙක් එක තමයි සිනමාව කියන්නේ මහ පුදුම තැනක්නෙ. මම දන්න විදිහට මේ රස්සාව තමයි ලෝකයේ තියෙන සුන්දරම රස්සාව. රසික ජනතාවටයි මේ රස්සාවටයි ආදරේ ඒකයි. කලාව කියන්නේ පුදුම දෙයක්. අද මම ඒක විඳිනවා. සම්මාන, ආදරය, ප්‍රේමය උතුරා යන්න ලැබෙන තැනක්. අනෙක් එක තමයි කලාවට එන්න ඉන්න අයටත් මම කියන්නේ මේක ගෞරවනීය වෘත්තියක්.
දිනේෂ් විතාන
ඡායාරූප - උපුල් නිශාන්ත