ඉන්දුකා ජයසිංහ, උපුලිකා ජයසිංහ කියන්නේ මේ දිනවල ජහුටා ටෙලි නාට්‍ය බලන අයට ගොඩක් සමීප මුහුණු දෙකක්. ඒ තමයි ජහුටා ටෙලි නාට්‍යයේ එන මයිකල් අයියාගේ දුවලා දෙන්නා. පුංචි තිරය හැඩ කරන මේ දෙන්නා සැබැවින්ම නිවුන් සොහොයුරියන්. අද අපේ මේ කතාබහ ඔවුන් දෙදෙනා සමඟිනි.
මුලින්ම කටහඬ අවදි කළේ ඉන්දුකා ජයසිංහයි.
ඔබ දෙදෙනා ගැනම විස්තර ටිකක් කියනවානම්?
අපි දෙන්නගෙන් මම තමයි අක්කා. ඉන්දුකා සමනලී ජයසිංහ. නංගි උපුලිකා සඳුමිණි ජයසිංහ. ගම පන්නල. අපේ පවුලේ පස් දෙනයි. අම්මා, තාත්තා, අක්කා සහ අපි දෙන්නා. අපේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. තාත්තා නැති වෙලා අප්‍රේල් 10ට මාසයක් වෙනවා. අක්කා මේ වෙද්දී විවාහකයි. අපි සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ සුරදුත බාලිකා මහා විද්‍යාලයේ. උසස් පෙළ කළේ කුලියාපිටිය .LTC Higher Education Academy එකේ.
කොහොමද දෙන්නව වෙන් වෙන්ව හදුනා ගන්නෙ?
සාමාන්‍ය කෙනෙකුට අපි දෙන්නව හඳුනා ගන්න ගොඩක් අමාරුයි. කොතරම් ළඟින් ආශ්‍රය කළ කෙනෙකුට වුණත් ඊළඟ තත්පරේ අපි දෙන්නවා හඳුනා ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ තරමටම අපි දෙන්නා සමානයි.
දෙන්නව පැටලුණු තැන් නැද්ද?
අපේ ජිවිතේ වැඩි හරියක්ම තියෙන්නේ අපි දෙන්නව පැටලුණු තැන් තමයි. ක්ලාස් යන කාලේ නංගිගේ යාළුවො මට හායි කියනවා. මගේ යාළුවෝ නංගිට හායි කියනවා. ඒ වගේම මගේ පස්සෙන් එන පිරිමි ළමයි නංගිට කතා කරනවා. නංගිට එන ළමයි මට කතා කරනවා. ඒ වගේ මරු වැඩ වෙනවා. රූපගත කිරීම්වලදි වුණත් මට තියෙන දෙබස් නංගිට දෙනවා, නංගිට තියෙන දෙබස් මට දෙන අවස්ථා තියෙනවා. එයාලටත් හොයා ගන්න බැහැ. කවුද අක්කා, කවුද නංගි කියලා අහනවා.
පාසලේ අමතක නොවන අත්දැකීම් මතක් කළොත්?
දවසක් මම යාළුවො එක්ක ටිකක් සද්දෙන් කතා කර කර ඉද්දි අපේ පාසලේ ප්‍රින්සිපල් සිස්ටර් එතැනට ආවා. ඒත් එක්කම අපි දිව්වා. පන්තියට යද්දී පන්තියේ හිටියේ නංගි. එදා මම කියලා හිතලා නංගිට දඬුවම් කරලා තිබුණා. මං හින්ද එදා නංගි ගුටි කෑවා.
දෙන්නගෙන් වැඩියෙන්ම කතා කරන්නේ කවුද?
වැඩියෙන්ම කියවන්නේ නංගි. මම ටිකක් අඩුවෙන් කතා කරන්නේ. ඒ නිසා නාට්‍යයේ දී දෙබස් වැඩියෙන් ලැබෙන්නේත් නංගිට.
කුලුඳුල් රංගන අත්දැකීම ද මේ?
ඔව්. ජහුටා තමයි දෙන්නගෙම පළමු රංගන අත්දැකීම. නමුත් අපි කලාවට ඇවිත් දැන් අවුරුදු දෙකහමාරක් වෙනවා. ඒ Miss and Mr. Twin Sri Lanka 2023 පැජන්ට් එකෙන්. එතැනදී අපි Mirror Imagery Miss Twin Sri Lanka 2023 ජයග්‍රහණය කළා. ඒ හරහා තමයි කලාවට එන්නේ. එතනින් පස්සේ මොඩ්ලින් හා වෙළෙඳ දැන්වීම් කළා. ඊටත් පස්සේ අපි ඉම්පාස් ආයතනයට සම්බන්ධ වෙලා රංගනය හැදෑරුවා.
මුලින්ම කැමරාවට මුහුණ දුන්න අත්දැකිම මතකද?
පළමු දවසේ අපි දෙන්නම බය වුණා. එදා එතැන හිටිය ගොඩක් ප්‍රවීණ අය අපිට උදවු කළා. කැමරාවට මුහුණ දුන් අත්දැකීම් බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ තාත්තා නැති වෙලා සතියකින් අපි දෙන්නටම ආයේ ෂූටින් තිබුණා. එදා අපේ දුක හිතේ දුක හිර කරන් කැමරාවට මුහුණ දුන්නා. තාත්තා අන්තිම මොහොත වෙනකම් අපේ වැඩ කටයුතු එක්කම හිටියා. ඒ නිසා කැමරාවට දුක පෙන්නුම් කරන්නේ නැතුව අපිට තිබුණු චරිතවලට සාධාරණය කරන්න සිද්ධ වුණා. ඒක තමයි අපි දෙන්නා ලබපු ලොකුම සහ කවදාවත් අමතක නොවන අත්දැකීම.
ජහුටා ටෙලි නාට්‍යට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මුලින්ම නම් එතරම් ප්‍රතිචාර ලැබුණේ නැහැ. ටික දවසක් ගියාට පස්සේ අපිව හඳුනාගෙන අපිට හොඳ ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ජහුටා හරහා අපි දෙන්නටම හොඳ ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. ලොකු පොඩි භේදයක් නැතුව හැමෝම කතා කරනවා. ඒක අපට ලොකු සතුටක්.
රංගනයට එන්න කලින් කලා කටයුතු ගැන කතා කළොත්?
අපි දෙන්නා මේ ගමන පටන් ගත්තේ නිරූපණ ක්ෂේත්‍රයෙන්. තාමත් නිරූපණ ක්ෂේත්‍රයේත් වගේම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ වැඩ කරනවා. අපි අපේම බ්‍රෑන්ඩ් එකක් කරනවා. කෙටි චිත්‍රපටවලටත් දායක වෙලා තියෙනවා.
ගෙදරින් ලැබුණ සහයෝගය කොහොමද?
ගෙදරින් තමයි ලොකුම සහයෝගයක් ලැබෙන්නේ. තාත්තා ඉද්දී රූගත කිරීම්වලට අපිත් එක්ක එනවා. දැන් අම්මා ඒ අඩුව පුරවන්න උත්සාහ කරනවා.
රංගනයේදී පනවා ගත් සීමාවන් තියේද?
එහෙම සීමාවන් පනවා ගෙන නැහැ. තාත්තා හැම වෙලාවෙම කිව්වේ අපිට ගැළපෙන සහ අපිට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන චරිත භාර ගන්න කියලා.
දෙන්නම එකම නිර්මාණ පමණ ද භාර ගන්නේ?
මුලදි අපි හිතුවේ අපි නිවුන්නු නිසා ප්‍රේක්ෂකයන්ට දැනෙන විදියේ නිර්මාණ කරන්න ඕන කියලා. ඒත් දැන් එහෙම එකක් නැහැ. ලැබෙන ආරාධනා අනුව ඉදිරියට නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ ගමනට ශක්තියක් වුණු අයත් ඇති?
අනිවාර්යයෙන්ම, විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සද්ධා මංගල සර් සහ චේතනි විජේතුංග මිස්. ඒ වගේම ජහුටා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර්, කැමරා අධ්‍යක්ෂ තුසිත අනුරාධ අයියා. සහය අධ්‍යක්ෂ ධනංජය මංචනායක අයියා සහ අපි එක්ක ඉන්න ජහුටා ටෙලි නාට්‍යයේ සියලුම දෙනා අපේ මේ ගමනට ශක්තියක් වෙලා තියෙනවා.