කලාව මට මානසික සහනයක් - පූර්ණිමා රණවක

gossiplanka image 1
 

පහේ ළමයි ටෙලි නාට්‍යයේ අනුත්තරා ඇයයි. රදීෂ්ගේ ආදරය ලබාගන්න ඔහුට උදව් කරමින් හොඳම යාළුවෙක් විදිහට ඔහු ඇසුරු කරන අනුත්තරාගේ චරිතයට ජීවය දෙන රංගන ශිල්පිනියක, නිෂ්පාදකවරියක , නීතිඥවරියක මෙන්ම සමාගම් අධ්‍යක්ෂවරියක ද වන පූර්ණිමා රණවක සිය කලා දිවිය ගැන කතා කරන්න රසඳුන හා මෙසේ එක්වූවාය .


පළමුවෙන්ම ‘අනුත්තරා’ ගැන කීවොත් ?


ඔව්, අනුත්තරා කියන්නේ රදීෂ්ගේ හොඳම යාළුවා. රදීෂ්ට රඟපාන්නේ රොෂාන් රණවන. මේ කතාවේ හැටියට අනුත්තරාට රදීෂ් ගැන යම්කිසි කැමැත්තක් තිබෙනවා . ඒ වගේම ඒ කැමැත්ත සිතේ තියාගෙන එයාගේ ආදරය ලබාගන්න එයාට උදව් කරන හොඳම යාළුවෙක් විදිහටයි මම එහි රඟපාන්නේ. හරිම ආදරණීය චරිතයක්. ප්‍රේක්ෂකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ ගැන අවංකවම සතුටුයි.



කොහොමද අනුත්තරාට ජීවය දෙන්න ආරාධනා ලැබෙන්නේ ?


ආරාධනා ලැබෙන්නේ අධ්‍යක්ෂ ශාන් ජයරත්න හරහායි. ඔහුව මීට පෙර අසංධිමිත ටෙලියේදී මට හමුවුණා. මම එහි නිෂ්පාදනයටත් දායක වුණා. එහිදී ක්ෂේත්‍රයේ පිරිස හඳුනාගන්න ලැබුණා රූගතකිරීම්වලදී. මමත් එහි සුළු චරිතයක් රඟපෑවා.


එහිදී ශාන් මට කිව්වා ‘අක්කාගේ දෙබස් රඟපෑම් හොඳයි, අක්කා කැමැතිද අනුත්තරා චරිතය රඟපාන්න‘ කියලා. ඒ අනුව තමයි චරිතය භාරගත්තේ. ‘අසංධිමිත’ නිෂ්පාදනයට එක්වුණේ ශලනි තාරකා මාර්ගයෙන්. ඇය විශ්වාස කරලයි එයට අත ගැසුවේ.



ශාන් ගැන මොකද හිතෙන්නේ ?


ශාන් සමඟ මම මුලින්ම කතා කරද්දි ඔහුට කලාව පිළිබඳ වගේම අධ්‍යක්ෂණ කාර්යය පිළිබඳ හොඳ හැකියාවක්, දක්ෂතාවක් තිබෙන බව මට වැටහුණා. අසංධිමිත නිර්මාණය කරද්දිත් ඔහු තුළ වූ අධ්‍යක්ෂණ හැකියාව මා හොඳින්ම වටහා ගත්තා. ශාන් කියන්නේ හොඳ අනාගතයක් තිබෙන තරුණ, දක්ෂ, හිත හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහු මට මගේම මල්ලි කෙනෙක් වගේ.


කුඩා කල සිටම ඔබට වේදිකාව හුරුයි නේද?


ඔව්, කුඩා අවධියේ සිටම මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. මම ගියේ කොළඹ ගෝතමී බාලිකාවට හා කොළඹ මියුසියස් විද්‍යාලයට. ඒ කාලෙත් වේදිකා නාට්‍යවලට, නූර්තිවලට දායක වුණා. පාසල් සමයේ සිට වේදිකාවේ හිටියා. එකල රංගනය හැදෑරුවේ නිහාරි වික්‍රමාරච්චි මිස් යටතේ. ප්‍රසන්නජිත් අබේසූරිය මහතාගේ නිර්මාණවලටත් දායක වුණා. රාජ්‍ය නාට්‍ය උලෙළට තේරුණු ‘දෝර් දණ්ඩා’ හිත් මම රඟපෑවා . ඒවගේම සෝමලතා සුබසිංහ මිස්ගේ නාට්‍ය වැඩමුළුවලටත් දායක වුණා . පාසල් කාලයේ හොඳම නිළිය සම්මානයත් දිගටම මට ලබාගන්න හැකි වුණා. නීති විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේත් වේදිකා නාට්‍යවල රඟපෑවා. අධ්‍යයන කටයුතුත් එක්ක එකල වේදිකාව මඟහැරුණත් දැන් මට කාලය තියෙනවා. වේදිකා නිර්මාණයක් පිළිබඳ මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු සමඟ සැලසුම් සකස් කරමින් ඉන්නේ. ඉතා හොඳ වේදිකා නිර්මාණයක් කරන්න අදහසක් තිබෙනවා .


ගායනයටත් ඔබ නැඹුරු වුණා නේද ?


ඔව්, මගේ ලොකුම හැකියාව තිබුණේ වේදිකාවේ ගායනයට. නූර්ති ගායනයටත් එක්වුණා. මට අවුරුදු 12, 13 දී වගේ එක්වරක් සෝමලතා සුබසිංහ මිස් කිව්වා රඟපාන්න පුළුවන් අයනම් ගොඩක් ඉන්නවා. රංගනයයි ගායනයයි දෙකම පුළුවන් අය හරිම අඩුයි කියලා.


වෘත්තියෙන් ඔබ නීතිඥවරියක් ?


නීතිඥවරියක් වූ පසු බැංකු ක්ෂේත්‍රයට අදාළව තමයි මම මූලිකව කටයුතු කළේ . දැනටත් නීතිඥවරියක් ලෙස සේවය කරනවා වගේම කාලයක් මම නීති විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුත් කළා. අදටත් කථිකාචාර්යවරියක් වශයෙන් නීතිය උගන්වමින් ඉන්නවා. සමාගම් අධ්‍යක්ෂවරියක් ලෙසත් කටයුතු කරන මම ආචාර්ය උපාධිය තෙක් අධ්‍යාපනය ලබා තිබෙනවා .


කලා ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට කියන්න දේකුත් ඇති ?


මම භූමිකා රැසකම නිරත වෙමින් කාලයත් කළමනාකරණය කරගෙන කලා කටයුතුවල යෙදෙනවා. ක්ෂේත්‍රයට එන්න කැමැත්තක් තිබෙන ඕනෑම වෘත්තියක සිටින කෙනෙකුට තමන්ට අවශ්‍ය නම් කාලය කළමනාකරණය කරගන්න පුළුවන් . ඒවගේම මම කරන හැමදේම 100%ක්ම නිවැරදිව කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ඕනෑම වෘත්තියක යෙදෙන, මේ ක්ෂේත්‍රයට එන්න කැමැති අයෙක්ට බාධාවක් නැහැ. කලා කටයුතුවල යෙදීම මටනම් විශාල මානසික සහනයක්.


මෙරට සිනමාව ගැන ඔබේ මතය දැනගන්න කැමැතියි ?


ලංකාවේ සිනමාවේ දක්ෂ රංගන ශිල්පීන්, අධ්‍යක්ෂවරුන් , කැමරා ශිල්පීන් , කාර්මික ශිල්පීන් හිටියට අද නව තාක්ෂණය යොදා සිනමා නිර්මාණ කිරීමට මුදල් නොමැති වීමේ ප්‍රශ්නයක් තිබෙනවා. එනිසා තාක්ෂණික වශයෙන් දියුණු ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට බිහිවීමේ අඩුවක් තිබෙනවා . අපේ වෙළෙඳපොළත් කුඩායිනේ. එහෙත් අද වෙද්දි සිනමාව පැමිණ තිබෙන දුර ගැන සතුටුයි .මීට වඩා දෙයක් කළ හැකි පිරිසක් අපට ඉන්නවා . The X Files වගේ තාක්ෂණිකව දියුණු ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් සඳහා මගේ දායකත්වය ලබාදීමේ අදහසක් තිබෙනවා.


පවුලේ විස්තර කීවොත් ?


මම විවාහකයි. සැමියා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු හසන්ත රණවක. මට දුවක් ඉන්නවා. ඇය තවම පාසල් අධ්‍යාපනය ලබනවා .


මතක් කරන්නත් පිරිසක් ඇති ?


ශාන් ජයරත්නට හා ශලනි තාරකාට විශේෂයෙන් ස්තුති කරනවා මාව නිර්මාණ සඳහා දායක කරගැනීම වෙනුවෙන්. ‘පහේ ළමයි’ ටෙලි නාට්‍ය යේ තිර රචක ලක්ෂාන් වත්තුහේවාවත් මතක් කරනවා. ඔහු තමයි මා රඟපාන අනුත්තරා චරිතය ලස්සනට ලිව්වේ. ඉදිරියේදීත් අපි කට්ටිය එකතුවී වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටයක් නිර්මාණය කරන්නත් මගේ ආසාවක් තිබෙනවා. ඒ ගැන මේ දිනවල සිතමින් ඉන්නේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post