නටත් අයෙක් සුරා මතින් චිත්‍රපටයක් වගෙයි - හිමාලි සයුරංගි

gossiplanka image 1
  

කොටු’ ටෙලි නාට්‍යයත් එක්ක ඇය මේ දවස්වල බොහොම ජනප්‍රියයි. ඒ වගේම කාලෙකින් ඇය හොයපු විදිහේ චරිතයක් එක්ක එන ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලි නාට්‍ය ඉතාමත් හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් එක්ක සාර්ථක ආරම්භයක් අරගෙන තියෙනව. ඉතිං හිමාලි සයුරංගි එක්ක අපිට කතාබහ කරන්න බොහෝ දේවල් තිබුණා.


‘කොටු’ ටෙලියේ නිරෝ ගැන මුලින්ම කියමු?


ගොඩක් වෙලාවට මට ලැබිල තියෙන්නෙ පෙම්වතිය සහ අහිංසක චරිත. නමුත් කොටු ටෙලි නාට්‍යයේ මම රඟපාන්නෙ කවදාවක් කරපු නැති චරිතයක්. ඒක ටිකක් නපුරුයි.


 

බැණුම් අහන්නත් වෙනව ඇති?


ඔව්, කවදාවත් මම කරපු චරිතයකට බැණුම් අහන්න සිදුවෙලා නැහැ. නමුත් මේ චරිතයට සමහර අය බැනල තියෙනව මේ වගේ ගෑනියෙක් නම් නොපතන් කියල. මමත් මුලදි දැනගෙන හිටියෙ නැහැ මේ වගේ චරිතයක් කියල, සායක්කාර කතාව ලියන විදිහත් එක්ක චරිතය ගෙනියන්න පුළුවන් විදිහට යම් මට්ටමකට හදාගත්තා.


නමුත් චරිතය කැමැත්තෙන් කරනව?


ඔව්, නිළියක් වුණාම හොඳ නරක, කළු සුදු ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන, ප්‍රේක්‍ෂකයන් බැන්නත් අධ්‍යක්‍ෂවරයෙක් මාව විශ්වාස කරල දෙන චරිතය උපරිමයෙන් කරන්නයි මම මහන්සි වෙන්නෙ.


‘නටත් අයෙක් සුරා මතින්’ නිර්මාණය ගැන අදහස මොන වගේද?

මේක ටෙලි නාට්‍යයක් නෙවෙයි, හරියට චිත්‍රපටයක් වගේ. අපි, රොෂාන් මේ නිර්මාණය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මමයි රොෂානුයි මීට කලින් කවදාවත් කපල් එකක් විදිහට රඟපාල නැහැ. මේ මුල්ම අවස්ථාව. නමුත් මම ආසාවෙන් හිටියා මේ වගේ චරිතයක් කරන්න. ඉතිං ඔහුගේම අධ්‍යක්‍ෂණයකින් එන ඔහුගේම නිර්මාණයක රඟපාන්න අවස්ථාව ලැබුණා.

රොෂාන්ද මේ ආරාධනය කරන්නෙ?

ඔව්, රොෂාන් මීට අවුරුදු කිහිපයකට කලින් මේ ආරාධනය කරන්නෙ. නමුත් නොයෙක් හේතු නිසා වැඩකටයුතු පටන්ගන්න එක කල් ගියා. කොහොම වුණත් එකපාරටම වගේ ෂූටිං පටන්ගත්තා.

කොහොමද සූදානම?

අපි වැඩ පටන්ගන්න මාස එකහමාරකට විතර කලින් සූදානම් වුණා. මේ පෙර සූදානම කියන දේ තිබුණාම චරිතයෙන් බාගයක් ඇඟට ඇවිත් ඉවරයි. අපිට සෙට් එකට යන්න තියෙන්නෙ දෙබස් ටික පාඩම් කරගෙන විතරයි. ප්‍රඩක්ෂන් එක පැත්තෙන් කිසිම අඩුපාඩුවක් නෑ.

මේ, ‘තනමල්විල කොල්ලෙක්’ ටෙලියෙන් පස්සෙ රොෂාන් කරන දෙවැනි නිර්මාණය?

රොෂාන්, අපි සමකාලීන අය. ඒ කාලෙ ආදරණීය වස්සානය චිත්‍රපටයටත් අපි දෙන්න රඟපාන්න නිර්දේශ වෙලා හිටියා. රංගනය පැත්තෙන් ගත්තත් රොෂාන් කියන්නෙ මම ප්‍රිය කරන චරිතයක්. ඒත් මට ගැටලුව වුණේ ඔහුත් රඟපාන ගමන් කොහොමද ඩිරෙක්ට් කරන්නෙ කියල. නමුත් රොෂාන් කියන්නෙ කවුද කියලත්, ඔහු ඒ කාර්යයන් දෙකම කළේ කොහොමද කියලත් නාට්‍යය බලන කාටත් දකින්න පුළුවන්.

මේක වැඩකරයි කියල හිතුනද?

අනිවාර්යයෙන්ම... මේක වැඩකරනව කියන එක ෂූටිං පටන්ගන්නකොටම මට දැණුනා. ඇත්තටම සම්මාන බලාගෙන නම් වැඩකරල වැඩක් නැහැ. හොඳ වැඩක් කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රතිචාරය. එහෙම ප්‍රතිචාර ලැබෙනකොට අපිට ලොකු ගැම්මක් එනව. ඒක සම්මාන කෝටියකින්වත් ගන්න බැහැ.

පසුගිය කාලෙ කතාබහට ලක්වන නිර්මාණවලට ආරාධනා නොලැබීම ගැන දුකක් තියෙනවද?

ඇත්තටම චිත්‍රපට නොලැබීම ගැනනම් ලොකු දුකක් තියෙනව. සිකුරු හතේ, ගොවි තාත්තා, සුනාමි වගේ චිත්‍රපටවලින් පස්සෙ මට එහෙම අවස්ථාවන් ලැබුණෙ හරිම අඩුවෙන්. බොහෝ තැන්වලදි වුණේ, පිටපත අතට දෙන්නත් කලින්ම කතාකරන්නෙ මුදල් ගැන. එහෙම කරපු ගොඩක් තැන්වලදි මම ඒක අතහැරපු අවස්ථා තිබුණා. නමුත් ටෙලි නාට්‍ය පැත්තෙන් මට ගොඩක් වෙලාවට හොඳ චරිත ලැබුණා වගේම ඒවායින් ඉස්සරහට යන්නත් අවස්ථාව ලැබුණා.

නිවේදිකාවගේ භූමිකාව මොන වගේද?

පොඩි කාලෙ ඉඳන්ම මම නිවේදන කටයුතුවලට සහභාගි වුණා. අදටත් අවස්ථාවන් ලැබෙන හැටියට සහභාගි වෙනව.

මොනවද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල ‘කොටු', චිත්‍රපටයකට ගොඩනැගෙනව. ඒ වගේම හසුන් සමීරගෙ ‘වැලි කඩදාසි’, ධනුෂ්ක රත්නායකගෙ ‘සංචාරිණී’ යන ටෙලි නාට්‍යවල රූගතකිරීම්වලට සම්බන්ධ වෙනව.

‘කොටු’ තුළින් නැවතත් සිනමාවට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබෙනව?

ඔව්, මේ නාට්‍යයම නෙමෙයි, වෙනම වැඩක්. මං හිතන්නෙ සමහරවිට මේක මගේ හොඳම කාලය වෙන්න ඇති. තවත් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනව. කතාබහ කරල හොඳ විදිහට කරගන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනව.

අද වෙනකොට හිමාලි ඉන්නෙ සතුටින්ද?

ඔව්, ඇත්තටම හරිම සතුටුයි. මගේ ජීවිත ගමන දිහා, මගේ ටෙලි නාට්‍ය දිහා වගේම සමස්ත කලා කටයුතු දිහා හැරිල බලද්දි, මම ගොඩක් මහන්සිවෙලා, කැපකිරීම් කරල හදාගත්ත නමක් තියෙන්නෙ. මගෙත් එක්ක මිනිස්සු හැමදාමත් හිටියා, මාව අගය කළා, මට ගෞරව කළා. මේක තමයි මගේ රස්සාව. හොඳ නිර්මාණත් එක්ක මේ ගමන තව ඉස්සරහට යන්න තියෙනව.

හිමාලි පැමිණී ගමන තුළ රහසක් තියෙනවද?

මේක මම පොඩි තැනකින් පටන් අරගෙන ආපු ගමනක්. ජීවිතයේ මොන ප්‍රශ්න ආවත් මේ කාර්යය නතර කළේ නැහැ. දැනට අවුරුදු විසි ගණනක් මම මේ ක්‍ෂේත්‍රයේ ඉන්නව. ඒ කාලය තුළ වපුරපු දේ තමයි අද මම නෙළාගන්නෙ. ලොකු රහසක් නැහැ. කරන දේ හරියට කරන එකයි ලොකුම දේ.

මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post