‘හේමලතා’ යනු පහේ ශිෂ්‍යත්වය ලියන්න සිටින දරුවකුගේ මවක්..අසාධාරණයට එරෙහි වන හේමලතා, ශිෂ්‍යත්වයට පෙනීසිටින දරුවාටත් උගන්වමින්, පවුලේ ගේම ගහන කාන්තාවක්.. මේ දිනවල පුංචි තිරයෙන් ඔබ හමුවන ඇය රංගන ශිල්පිනී හෂිනිකා කරලියැද්දයි. ‘හේමලතා’ ගැනත් සිය කලාදිවිය ගැනත් කතා කිරීමට ඇය මෙසේ සරසවිය හා එක් එන්
‘පහේ ළමයි’ හි හේමලතා ගැන කීවොත්?
ඔව්, මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලබන මම රඟපාන චරිතයක් තමයි හේමලතා කියන්නේ . ‘හේමෝ’ ලෙසත් ඇයව හඳුන්වනවා. ඇයට පහේ ළමයෙකුත් ඉන්නවා . දුවලා දෙන්නෙක් ඇයට ඉන්නේ. එක් දුවක් විශ්වවිද්‍යාලයේ. අනිත් දුව පහේ ශිෂ්‍යත්වය ලියන්න සූදානම් වෙනවා. හේමාගේ සැමියාට ස්ථිර රැකියාවක් නෑ. ඇය ඒවා ලෝකයාට පෙන්වන්නේ නැහැ. හේමලතා තමයි පවුලේ ගේම ගහන්නේ. දරුවන්ට ආදරණීය මවක්. ඇය අසාධාරණයට අකැමැතියි. කෑගැහුවට ඇගේ සිත ඉක්මනින් උණු වෙනවා. සැමියාටත් හරිම ආදරෙයි. සැමියා සල්ලි ගෙනත් දුන්නත් ඒවා කොහෙන්ද කියා විමසනවා. ඇය සාම්ප්‍රදායික මවකුත් නෙවෙයි. තරගකාරී ලොවත් එක්ක යා යුතුයි කියා සිතන මවක්. සමාජය සමඟ නිතර ගැටෙන්නෙත් ඇයයි .
කොහොමද හේමලතාට ආරාධනා ලැබුණේ?
අධ්‍යක්ෂ ශාන් ජයරත්න මාර්ගයෙන් තමයි මේ ආරාධනාව ලැබුණේ .
රඟපෑ අනෙක් මවු චරිතවලට වඩා මෙහි විශේෂයක් තියේද?
ඔව්, මේ චරිතය විශේෂයි. කලින් රඟපෑ මවු චරිතවලට වඩා වෙනස් . ‘හේමලතා’ වෙනස්ම මවක්..ඇයට ප්‍රධාන පවුලයි .
අධ්‍යක්ෂවරයා සමඟ කොහොමද ඔබේ ගනුදෙනුව?
ශාන් මල්ලි එක්ක වැඩ කරන්න ලේසියි. ‘මෙහෙම කරමු, මෙහෙම වුණොත් හොඳයි ‘ කියා අපි එක්ක සුහදශීලීව වැඩ කරනවා. ඔහු අධ්‍යක්ෂ වුණත් හරිම සරලයි. ඔළුව උදුම්වා ගත් චරිතයක් නෙවෙයි. ශාන්ව මට හමුවුණේ එයා සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස ඉද්දි. රංගන ශිල්පියාට උපරිම නිදහස දෙනවා. ශාන් මල්ලි මානසික නිදහස ගැන හොඳටම සිතනවා. ශාන්ගේ ඇස නිර්මාණාත්මකයි. ඒක හැමෝටම පිහිටන්නේ නැහැ. ඔහු සොඳුරු ආඥාදායකයෙක් කිව්වත් හරි. ඔහුගේ නිර්මාණ ඉතා සාර්ථකයි. ඔහුට හොඳ උන ච්චබඥ එකක් තියෙනවා. එවැනි නිර්මාණකරුවන් හරිම දුර්ලභයි. මේවා මම ශාන්ටත් මුහුණටම කියලා තියෙනවා. ඔහු ඕනෑම දෙයක් නිහතමානීව භාර ගන්නවා. හරිම සුන්දර මනුස්සයෙක්.
‘පහේ ළමයි’ හි අනෙක් රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහය මොනවගේද?
ගැටලුවක් නැහැ. හොඳ සහයක් ලැබෙනවා. අපි අපේ වැඩේ කළා. සමහරු තනිවම රඟපාන්න දැඟලුවාට ඒක වැඩක් නැහැ. ඒක ඕඩියන්ස් එකට දැනෙනවා.
රඟපෑ චරිතවලින් ප්‍රේක්ෂකයා අතර කතාබහට ලක් වූ චරිත සිහිකළොත්?
‘නාඩගම්කාරයෝ’හි කුකුළා මුදලාලිගේ හාමිනේ ගොඩාක් ජනප්‍රිය වුණා . ඒ වගේම පසුගියදා විකාශය අවසන් වූ ‘රට පවුල’ ටෙලි නාට්‍යයේ මිසිස් පෙරේරා චරිතයත්, ‘සත්පුරවැසියෝ’ හි පද්මිණීත් ප්‍රේක්ෂකයා අතර බොහෝ කතාබහට ලක්වුණා . කවිත්‍රා පනංගල පෙරේරාගේ ‘කළුවර අඳුන’ ටෙලිනාට්‍යයේ මුලින්ම රඟපෑවත් ‘සත්පුර වැසියෝ’ තමයි මුලින් විකාශය වුණේ . නාලන් මෙන්ඩිස් මහතා නිසයි ඒ චරිතය ලැබුණේ . දෙපත් නයි’ හි චරිතය හොඳම සහය නිළියට නිර්දේශ වුණා.. ‘සත්පුර වැසියෝ’ සහ ‘දෙපත් නයි’ ටෙලිනාට්‍ය දෙකේම මගේ සැමියා වුණේ ශශ්‍රීනාත් මද්දුමගේ අයියා. එකල සමහරු හිතුවා මගේ සැබෑ දිවියේත් සැමියාත් ඔහු කියලා.
රංගනයට දශක තුනක් නේද?
අවුරුදු 32ක් විතර වෙනවා රංගනයට ඇවිත්. මුලින්ම වීදි නාට්‍ය කළා ගාමිණී හත්තෙට්ටුවේගමයන් එක්ක. කුරුණෑගල ජනතා වේදිකා වීදි නාට්‍ය කණ්ඩායම නමින් වීදි නාට්‍ය කළා. එයින් වේදිකාවට ගොඩ වුණා. එහෙමයි රඟපෑම පටන් ගත්තේ.
වේදිකාවේ ඔබේ භූමිකාව කොහොමද?
1995 – 96 කාලයේ විජය කුමාරතුංග අනුස්මරණ නාට්‍ය උලෙළක් පැවැත්වුණා. මම ඒකට සම්බන්ධ වුණා. එහිදී ‘මායා’ වේදිකා නාට්‍යයේ රඟපෑමෙන් මට කුසලතා සම්මානයක් ලැබුණා. එහි ප්‍රියන්ත ලලිත් හොඳම නළුවා වුණා. ඊට පසු 1998දී ‘බුබුළ’ නාට්‍යයේ රඟපෑවා. ඒකෙන් බොහෝ අය මාව හඳුනගත්තා. ඒක රාජ්‍ය නාට්‍ය උලෙළටත් යොමුකළා. එහි මාධ්‍යවේදනියකගේ චරිතයක් මම කළේ. එයටත් කුසලතා සම්මානයක් හිමිවුණා. එහිදී සෞම්‍ය ලියනගේ මගේ ළඟටම ඇවිත් මට සුබ පැතුවා. 1999දී ‘අරුන්දතී’ නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නිළිය සම්මානය මට ලැබුණා. එහි රංගනයට යෞවන නාට්‍ය උලෙළේදී ජූරියේ විශේෂ සම්මානයකුත් හිමිවුණා. 2000දී ‘කබල් ජෝඩුවක් ‘ රංගනය උදෙසා හොඳම නිළිය සම්මානය ලබා ගන්න පුළුවන් වුණා. 2003 දී කුසලතා සම්මාන හිමිවුණා. 2005දී අනුර ඒකනායකගේ ‘ බාල්දිය ඔබ එනතුරු බලා සිටී’ නාට්‍යයේ රංගනය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නිළිය වුණා. හේමන්ත ප්‍රසාද්ගේ ‘මල්සර බිසව්’ දිගු නාට්‍යයේ රංගනයට හොඳම සහාය නිළිය වුණා. දිගු නාට්‍ය සඳහා හොඳම නිළිය සම්මානයට නිර්දේශ වුණා. ඒ ආර්. ආර්. සමරකෝන්ගේ ‘කපුටු බෝ’ නාට්‍යය වෙනුවෙන්. වේදිකාව තුළින් මං බොහෝ දේ ඉගෙන ගත්තා . කුසලතා සම්මානයේ සිට හොඳම නිළිය සම්මානය දක්වා සම්මාන ලබාගන්නත් මම වාසනාවන්ත වුණා.
සිනමාවේත් ඔබේ දක්ෂතා අපි දැක්කා?
‘ඇගේ ඇස අග, පටිභාන , පාස්පෝර්ට් ‘ ආදී චිත්‍රපටවල රඟපෑවා . එරංග සේනාරත්නගේ අලුත්ම චිත්‍රපටයේ රඟපෑවා . සෝමේ අයියලාගේ (සෝමරත්න දිසානායක ) අලුත්ම චිත්‍රපටයේත් , ‘හෙලේනා’ නමැති චිත්‍රපටයකටත් දායක වුණා .
නිර්මාණයක් බාරගනිද්දී සලකා බලන කරුණු තියේද?
නිර්මාණ කළ අධ්‍යක්ෂවරුන්මයි මට කතා කරන්නෙත් . අද කාලයේ පිටපත් හම්බවෙනවා අඩුයිනේ. දැනුවත් වීමට මගේ චරිතය ගැන අහලා බලනවා, මොකක්ද මම කළ යුත්තේ කියලා. ඉස්සර නම් කලින් පිටපත ලැබෙන නිසා මාස 02, 03ක් ඒ ගැන අධ්‍යයනය කරන්න පුළුවන් .
නවක පරපුර ගැන මොකද හිතෙන්නේ?
අද දක්ෂයෝ ඉන්නවා. ඒක අපි පිළිගන්න ඕනේ . අපටත් වඩා දක්ෂ පිරිසක් බිහිවෙලා තියෙනවා. ඒ ගැන අවංකවම සතුටුයි. සමහරුන් ඉන්නවා දෙබස් කටපාඩම් කරගෙන ගිරව් වගේ කියවනවා. අපි අලුත් අයට සපෝට් එක දෙනවා. එහිදී අලුත් ද පරණ ද බලන්නේ නැහැ. මේ ක්ෂේත්‍රය පිළිබඳ අලුත් අයගේ හැදෑරීමේ යම් අඩු බවක් තියෙනවා. සමහරුන් අධ්‍යක්ෂවරයා දෙයක් කීවත් ගණන් ගන්නේ නැහැ. ඒකෙන් නිර්මාණයට වගේම අලුත් පරපුරටත් හානියක් වෙන්නේ. ලස්සන කියන දේ ආභරණයක් වුණාට ඒකෙන්ම විතරක් මේ තරගය දුවන්න බැහැ. ජ්‍යේෂ්ඨයන්ට ගරු කළ යුතු විදිහක් තියෙනවානේ. ඒක මේ ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි, හැම ක්ෂේත්‍රයකටම පොදුයි. මම මුලින්ම කිව්වා වගේ අපිවත් හඹාගෙන යන අති දක්ෂ නිර්මාණශීලී තරුණ පිරිසකුත් අපට ඉන්නවා.
ඉදිරි නිර්මාණ මොනවාද?
නිර්මාණ 02, 03ක් එන්න තියෙනවා. චන්දන හේවාපතිරණගේ නිර්මාණයක් කළා.. ආනමඩුව පැත්තේ ෂූට් කරන නිර්මාණයකටත් ඉදිරියේදී සම්බන්ධ වෙන්න කතා කරලා තියෙනවා.
පවුලේ විස්තර කීවොත්?
මගේ සැමියා කුමාර දිසානායක. ඔහු යුද හමුදා නිලධාරියෙක්. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව තෙනුරි අමා දිසානායක. පොඩි දුව තෙනුදි ලක්ෂා දිසානායක. එයාලා තවම පාසල් යනවා.
මනෝජ් රුක්මල් කුමාරසිංහ