ඉදිරියේදී මට දමිළ සිනමාවට දායක වෙන්න හැකිවේවි - කවිඳු ශ්‍රීමාල්

gossiplanka image 1
  ‘මාව මතකද, රීකන්ඩිෂන් කෙල්ල, සිකුරු ඇවිත් ‘ ආදී ටෙලිනාට්‍ය රැසක විවිධ භූමිකා රංගනයේ යෙදුණු යොවුන් රංගන ශිල්පි කවිඳු ශශ්‍රීමාල් රූපවාහිනී ප්‍රේක්ෂකයාට නුහුරු චරිතයක් නොවේ. දෙමළ භාෂාව ද හුරුපුරුදු කවිඳුට දෙමළ චිත්‍රපටයකට ද ආරාධනා ලැබී ඇති බව පැවසුවේ ඉමහත් සතුටිනි. තාරුණ්‍යයේ සිටින කවිඳු, සිය කලාදිවිය ගැන කතා කිරිමට මෙසේ සරසවිය හා එක්විය.


මේ දිනවල නවතම කලා කටයුතු මොනවද?


සිනමා නිර්මාණ 02කට ආරාධනා ලැබුණා. වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් දායක වුණා වගේම අවුරුදු කුමරා , කුමරිය තරගවල විනිසුරුවරයකු ලෙසත් එක්වුණා. ‘රාජ කුමරා – රාජ කුමරි 2026’ පළමු අදියර විනිශ්චයටත් එක්වුණ


ඔබ පසුගිය දිනවල නැවත නිලඇඳුමින් පාසල් ගියා නේද?


ඔව්, පසුගිය දිනවල එසේ පාසල් ගියා. අවසන් වරට මම පාසල් ගියේ දැනට වසර 05කට පෙර. ඒ ඒ/ඹ් කරද්දි. නැවතත් මට පසුගියදා පාසල් යන්න අවස්ථාව ලැබුණා. ඒ විශිෂ්ට සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ 09 වැනි සිනමා නිර්මාණය වන ‘සමහරු සහ සමාගම’ චිත්‍රපටයේ ‘සඳරු’ නමැති චරිතය රඟපාන්න ලැබීම නිසා. ඒක සුවිශේෂී චරිතයක්.


‘සඳරු’ වෙනුවෙන් ඔබේ බාහිර පෙනුමේ වෙනස්කම් රැසක් වුණා නේද?


ඔව්, ‘සඳරු’ චරිතය මට බොහෝ සේ දැනුණු චරිතයක්. මීට පෙර මම මෙවැනි වෙනස්කම් රැසකටම ලක්ව තිබුණේ නැහැ. චරිතය වෙනුවෙන් මගේ ශාරීරික පෙනුම ඇතුළු යම් වෙනස්කම් සිදුකරන්න වූ නිර්මාණයක් තමයි ‘සමහරු සහ සමාගම’ කියන්නේ. මේ චරිතයට උපරිම සාධාරණත්වය ඉටු කළයුතු නිසා මම බොහෝ වෙනස්කම් කරගත්තා. මගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. රැවුළත් සම්පූර්ණයෙන්ම කැපුවා. ශරීර ප්‍රමාණයේත් වෙනස්කම් රැසක් කරගත්තා. සඳරු කියන්නේ විශේෂ චරිතයක්. මීට පෙර මම මේ වගේ වෙනස්කම් කරගෙන නිර්මාණයකට දායක වී නැහැ. පළමු වතාවටයි මෙසේ සියලු වෙනස්කම් එකවර සිදුකරමින් ‘සඳරු’ට ජීවය දෙන්නේ.


මීට පෙරත් ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සැඟවුණු නගරය’ටත් ඔබ දායක වුණා?


‘සැඟවුණු නගරය’ කියන්නේ මගේ රංගනයේ සුවිශේෂී කඩඉමක්. චිත්‍රපටය මේ වසරේ අනිවාර්යයෙන් තිරගත වේවි. මෙය ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ 08 වැනි සිනමා නිර්මාණය. මෙහි හොඳීන් රඟපෑ නිසා වෙන්නැති ඔහුගේ ඊළඟ චිත්‍රපටයටත් ආරාධනා ලැබුණේ. ඒ ගැන ඉදිරියේදී කතා කරමු.


ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට අධ්‍යක්ෂවරයකු යටතේ රංගනයේ අත්දැකීම් රැසක්ම ලබන්න ඇති?


ඔව්, අනිවාර්යයෙන්ම. ඔහු සමඟ වැඩකරන්න ලැබීම භාග්‍යයක්, සතුටක්. මා ඉපදෙන්නත් පෙර සිටම ඔහු සිනමාවේ, ටෙලිනාට්‍ය කලාවේ දැවැන්තයෙක්. මා උපන් වසරේම තමයි ඔහුගේ ‘අග්නි දාහය’ චිත්‍රපටය තිරගත වෙන්නේත්. ජයන්‍ත චන්ද්‍රසිරි මහතාගෙන් ඉගෙනගන්න සැම දෙයක්ම අපේ අනාගතයට, අපේ රංගනයේ දියුණුවට, කලාවේ දියුණුවට අතිශයින්ම වැදගත්. ඔහුගේ අදහස් නවකයන් වන අපට හරිම වටිනවා. එතුමා අපට බොහෝ දේ නොපැකිළිව කියාදෙනවා. ඒ උපදෙස් තුළින් ඉතා පහසුවෙන් අපට අපේ චරිතයට පණපෙවිය හැකියි. එතුමාගෙන් බොහෝ දේ අපි ඉගෙනගත්තා. තවදුරටත් ඉගෙනගනිමින් සහ ඉගෙනගන්නත් තියෙනවා.


රංගන දිවියේ අමතක නොවන මතකත් ඇති?


අමතක නොවන මතක නම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මම කලාවට එද්දි තිබූ පරිසර පසුබිම හා ඉන්පසු මට හමු වූ දේවල් , දෙරණ කලා ගමේ අවුරුදු උලෙළේදී මා වින්ද අත්දැකීම් . ඒවගේම සුවිශේෂී මතක තියෙනවා ‘සමහරු සහ සමාගම’ චිත්‍රපටයේ රූගත කිරීම් කාලයේ. එහිදී ජැක්සන් ඇන්තනි මහතාගේ සොයුරු සුදත් ඇන්‍තනි මහතා සමඟ ගත කළ කාලයත් අමතක නොවන සොඳුරු මතකයන්. ඔහු එක්ක සිටිනවිටත් ජැක්සන් මහතා සමඟ සිටින බවයි දැනෙන්නේ. රූගත කිරීම්වලදී ප්‍රවීණයන්ගේ ඇසුර ලැබීමත් අමතක නොවන සුන්දර මතකයන්.


විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා නේද?


‘මාව මතකද, රීකන්ඩිෂන් කෙල්ල, සිකුරු ඇවිත්’ වැනි ටෙලිනාට්‍යවල රඟපෑවා. එහිදී ‘මාව මතකද’ අධ්‍යක්ෂ දිනේෂ් හග්ගල්ල මහතාව මතක් කරනවා.. ඔහු සුවිශේෂියි. දිනේෂ් කියන්නේ තාරුණ්‍යය සමඟ වැඩ කළ හැකි අධ්‍යක්ෂවරයෙක්. එයත් තරුණ නිසා තාරුණ්‍යයට තැනක් දෙන, තාරුණ්‍යය දකින අධ්‍යක්ෂවරයෙක්. සිරස නාළිකාවේ විකාශය වූ ‘මාව මතකද’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකින් මට ප්‍රේක්ෂකයා අතරට ඒමට අවස්ථාව දුන්නේත් දිනේෂ් හග්ගල්ලයි. එහි මගේ පෙම්වතිය රශිපබා සංදීපනී . 2024 වසරේ දක්ෂතම නිළිය වුණේත් ඇයයි. එසේ දක්ෂතම නිළියගේ පෙම්වතා ලෙස මට රඟපාන්න අවස්ථාව ලැබීමම ලොකු දෙයක්. ‘රීකන්ඩිෂන් කෙල්ල’ ටෙලිනාට්‍යයේ ‘භාෂණ’ චරිතයට මාව තෝරාගත්තට එහි අධ්‍යක්ෂ අනුර ඒකනායක මහතාට ස්තුතිවන්ත වෙනවා. දෙරණ නාළිකාවේ විකාශය වූ ‘සිකුරු ඇවිත්’ හි අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස , ප්‍රදීප් මානවඩු ඇතුළු පිරිසවත් ‘මායාවී’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක ලලිත් අයියවත් මතක් කරනවා. ඉදිරියේදීත් අවස්ථාවක් ලදොත් මොවුන් සමඟ වැඩ කරන්න කැමැතියි. මගේ ටෙලිනාට්‍ය දිවිය අති සුන්දරයි. නිෂ්පාදක ලලිත් අයියගේ ඉදිරි නිර්මාණයකට මට කතා කළා.


මියුසික් වීඩියෝ කලාවේදී ඔබට ලැබුණේ පෙම්වතාමයි?


මියුසික් වීඩියෝවල නම් මම ආදරවන්තයාගේ චරිතයටමයි පණපෙව්වේ. අවසන් වරට රඟපෑ මියුසික් වීඩියෝවේ චතූ රාජපක්ෂ අක්කාත් එක්ක රඟපෑවේ. ඇය එක්ක සිනමාවේ රංගනයටත් කැමැත්තක් තිබෙනවා.


වෙළෙඳ දැන්වීම් රැසකත් පෙනී සිටියා නේද?


වෙළෙඳ දැන්වීම්වල නම් මම නොයෙක් භූමිකා රඟපෑවා. කුඩා ළමයගේ තාත්තාගේ චරිතයටත්, ආදරවන්තයෙක්, කාර්යාල නිලධාරියෙක්, පන්දු යවන්නෙක් වැනි චරිත රැසකට පෙනී සිටියා


ඉදිරි නිර්මාණ මොනවද?


අලුතිත් සිනමා නිර්මාණ 02කට ආරාධනා ලැබුණා. සහය අධ්‍යක්ෂ දිනේෂ් කුමාර් දමිළ සිනමා නිර්මාණයකට කතා කළා. එයට සූදානමින් ඉන්නේ. ‘අභීත’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ශුති ප්‍රභාගේ නවතම චිත්‍රපටයටත් දායක වෙන්න ඉන්නේ. ලබන මාසයේ එහි රූගත කිරීම් පටන් ගනීවි. ශුති ප්‍රභා අධ්‍යක්ෂතුමා ඉදිරිය දකින අධ්‍යක්ෂවරයෙක්. ඔහුත් සමඟ වැඩකරන්නත් පහසුයි. මමත් දෙමළ භාෂාව දන්න නිසා දමිළ සිනමාවට දායක වෙන්න මට හැකිවේවි කියා මා සිතනවා.


පවුලේ විස්තර කොහොමද?


මගේ කලා දිවියට වගේම පෞද්ගලික දිවියට උදවු කරන්නේත් මගේ පවුලේ අයයි. අම්මා, තාත්තා, අක්කා, ආච්චි තමයි පවුලේ ඉන්නේ. තාත්තා ආර්මි එකේ හිටියේ. දැන් විශ්‍රාමිකයි . අක්කා ගුරුවරියක්. අම්මා තමයි මගේ ලොකුම ශක්තිය. මාව වැටුණු අවස්ථාවලදී මගේ මනස හදන්නේත් අම්මා . තිරයේ පිටුපස සිටින මගේ වීරවරිය අම්මායි. ඇය නැත්නම් අද මම මෙතැන නැහැ. පවුලේ අනෙක් පිරිසවත් ආදරයෙන්, ගෞරවයෙන් මතක් කරනවා


මතක් කරන්නත් පිරිසක් ඇති?


ඔව්, මට සිනමාවට එන්න උදවු කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතාවත්, ඊට පෙර ටෙලිනාට්‍ය කලාවට මාව ගෙනා තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂවරයාත්, සුදර්ශන්, ප්‍රදීප් මානවඩු අයියාත් ඇතුළු පිරිස මතක් කරන්න කැමැතියි. ඒ වගේම පාසල් කාලයේ මට ගුරුහරුකම් දුන් ගුරුවරුන්ටත් ස්තුතිය, ගෞරවය පුදකරනවා. මගේ කුඩා අවධියේ ගුරුවරිය වූ මධුමනී හපුආරච්චි ගුරුවරියටත් ස්තුති කරනවා. වචනයකින් හෝ උදවු කළ හැමෝටමත් ස්තුතියි.


ඇන්ඩෘපුල්ලේ , ඩිලාන් සිල්වා වැනි විශිෂ්ට වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂවරුන්වත් මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post