පට්ටි ගෙදර’ පවුලේම වැඩිමහල් නැන්දා ඇයයි. තම පුතා සහ ලේලිය සමඟ සමගියෙන් දිවිගෙවන එමලින් නැන්දාගේ චරිතය ඇයට ආගන්තුක චරිතයක් නොවූයේ ඇයද එදා සිටම ගමක ජීවත් වූ කලාකාරිනියක නිසාය. ගැමි රසය මුසු කරමින් රංගන කාර්යයේ යෙදෙන ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී රූපා පතිරණයි.
‘පට්ටි ගෙදර’ එමලින් නැන්දා මේ දිනවල ජනප්‍රියයි වගේ?
පට්ටි ගෙදර මුළු පවුලේම වැඩිමහල් නැන්දා මමයි. එමලින් කියන්නෙ දුකක් , කරදරයක් වුණාම පිහිට වෙන කාන්තාවක් .ඇයට පුතෙක් ඉන්නවා . ලේලියට දරුවෝ නෑ කියලා මුලදී බැණ වැදුණත් දරුවෙක් ලැබෙන්න කියා දැනගත්තාම ලේලිට ආදරය කරනවා. ඇගෙන් සමාව ගන්නවා . එමලින් නැන්දම්මා හරිම කැමැතියි පුතාත් ලේලිත් සමගියෙන් ඉන්නවා දකින්න . මමත් ගමේ කෙනෙක් නිසා ගම්වල නැන්දලා වැඩ කරන විදිහ දන්නවා .
පට්ටි ගෙදර රූගත කිරීම් මතකය කොහොමද?
අධ්‍යක්ෂ, තිර රචක අනුෂ්ක රසාංජන තමයි මට මේකට ආරාධනා කළේ . මෙහි අත්දැකීම් අඩු නවක නළු නිළි පිරිසකුත් ඉන්නවා. ඔවුන් මට දරුවෝ වගේ සැලකුවා. අපි හරිම එකමුතුවෙන් එකම පවුලක් වගේ වැඩ කළේ. රූගත කරන කාලයේ මට අසනීප වූ නිසා ලොජ්වලට යැව්වෙත් නැහැ. අනුෂ්කගේ නෑදෑ ගෙදරක මට නවාතැත් දුන්නේ . ඒ ගෙදර මොනිකා අක්කාත් මට එහිදී හඳුනාගන්න ලැබුණා . හොඳ පවුල් තුන හතරක්ම ඒ දවස්වල අඳුන ගත්තා. මෙහි මගේ පුතාට රඟපෑවේ සමන්ත පරණ ලියනගේ . ලේලි වුණේ නිලන්ති ගුණවර්ධන. තේ හදන කෙනාගේ සිට හැමෝම ආදරණීයව වැඩ කළේ . රූගත කිරීම් අවසන් දිනයේ අපි අඬලා තමයි ලොකේෂන් එකෙන් ආවේ .
‘පාට කුරුල්ලෝ , නාඩගම්කාරයෝ’හි චරිතත් ජනප්‍රිය වුණා නේද?
ඔව්, සරාගේ අම්මා කිව්වම නොදන්න කෙනෙක් නැහැ . සමාජ මාධ්‍යයෙනුත් නාඩගම්කාරයෝහි මගේ චරිතය ඉතා ජනප්‍රිය වුණා. පාට කුරුල්ලෝහි දයාවතී මමයි . බොහෝ අය අතර මන්ජිතගේ අම්මා කියලයි ජනප්‍රිය . හිතුවක්කාර පුතාලා දෙන්නෙක් ඉන්න , ඒ වගේම සීට්ටු දාන, ආර්ථික දුෂ්කරතා තිබෙන මවක් .ඒ පුතාලා දෙන්නා අම්මාට හරිම ආදරෙයි.
සිනමාවෙත් ඔබේ රඟපෑම් අපි දැක්කා?
මගේ අලුත්ම චිත්‍රපටය මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘මැයි මාර ප්‍රසංගය’. මම එහි රඟපාන්නේ රෝද පුටුවක ඉන්න ගොඩක් වයස ආච්චි කෙනෙක් ලෙස. ඊට අමතරව සරත් ධර්මසිරිගේ ‘ගිනි කිරිල්ලි, කාලි’ චිත්‍රපටවලත් සිරි කුලරත්නගේ ‘වීදියේ වීරයා’, ගිරිරාජ් කෞශල්‍යගේ ‘කතුරු මිතුරු’, සිවගුරුනාදන්ගේ ‘කාසිවාසි’හිත් රඟපෑවා.
80 දශකයේ සිටම වේදිකාවේ රඟපෑවා නේද?
ඔව්. 1984 ඉඳන් වේදිකාවේ ඉන්නවා . රත්නසිරි පරණවිතානගේ ‘පරදාර නගරය’හි රඟපෑවේ 1984දී. වයඹ රාජ්‍ය නාට්‍ය උලෙළේ හැමදාම මට සම්මාන ලැබුණා. ජයසේකර අපොන්සුගේ ‘තටු’හි මම ඇග්නස්. අවන්ති අපොන්සු රඟපෑ චරිතය පසුව කළේ මම. ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් රැසකගේ වේදිකා නාට්‍යවලට මට කතා කළත් විවිධ හේතු නිසා ඒවා මඟහැරුණා. හලාවත පදවි සංස්කෘතික කමිටුව නමැති කතෝලික කමිටුවක් මඟින් මා රඟපෑ ‘කෝන්තරය’ නාට්‍යය තරගයකට දැම්මා. එහිදී මම හොඳම නිළිය වුණා . පරාක්‍රම නිරිඇල්ල, සුගතපාල ද සිල්වා, ලූෂන් බුලත්සිංහල වැනි අය එහි විනිශ්චයට හිටියේ .’භවතු සබ්බ මංගලම්’ (1986) නාට්‍යයේ මම හා ජැක්සන් ඇන්තනි ප්‍රධාන චරිත කළේ. මම එහි ජැක්සන්ගේ පෙම්වතියයි . ඉන් පසු දිගටම මට ලැබුණේ වයසට වඩා වැඩි චරිතයි .
පාසල් කාලයේත් කලා කටයුතු කළාද?
විල්ගමුව රජයේ කනිෂ්ඨයට මම පහ වසර දක්වා ගියේ . නාරම්මල මයුරපාද කනිෂ්ඨයට’ සා.පෙළ දක්වාත් මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට උසස් පෙළ හැදෑරීමටත් ගියා. පාසල් සමයේ මම නැටුම් කළා . නාට්‍ය හා රංග කලාව පාසලේ තිබුණේ නැහැ. මට ගීත ගයන්නත් පුළුවන් මම B ශ්‍රේණියේ ගායිකාවක්. ලිවීමේ හැකියාවත් තිබුණා . එකල මම නවකතා දෙකකුත් ලිව්වා. ඒ දවස්වල සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ලංකාවේ ස්ථාන 20ක සතිස්චන්ද්‍ර සංස්කෘතික සංවිධාන පිහිටෙව්වා. පොල්ගහවෙලත් එකක් පිහිටෙව්වා. ඒකට එතුමාත් ආවා.ඒ ස්ථාන 20න් දක්ෂතමයන් 20ක් තෝරා ගනිද්දී මාව පොල්ගහවෙලින් තේරුණා.
රඟපෑ චරිත අතරින් වඩාත් කතාබහට ලක්වූ චරිත මොනවාද?
නාඩගම්කාරයෝහි සරාගේ අම්මා, ඉරගිනි මද්දහනේ බේබි නෝනා, වියළිහි වයසක ආච්චි වගේම මේ දිනවල පට්ටි ගෙදර එමලින් .
‘සකල කලා’ තිර රචනයට මොකද වුණේ?
මම ලියපු ‘සකල කලා’ නමැති තිර රචනය මගේ අත්දැකීම් එකතු කර ලිව්වේ. කොමඩි ශානරයට අයත් ලස්සන කතාවක් . පිටපත කිහිපදෙනෙක්ම කියෙව්වා . ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අයියත් කිව්වා හොඳ පිටපතක් කියලා.
ඔබ රංගනය උගන්වන ගුරුවරියක්?
වසර 15ක සිට මම සත්කෝරළ Drama & Media Academy නමින් නාට්‍ය පාඨමාලාවක් කරනවා . කුලියාපිටියෙත් රත්නපුරයෙත් කළා. එයින් බිහිවන ගෝලයන්ව මගේ නිර්මාණවලටත් හඳුන්වලා දෙනවා . රංගනය පිළිබඳ තියරි සහ පැට්‍රිකල් දෙකම උගන්වනවා. පන්තියේ ළමයි එකතු කර ටෙලි චිත්‍රපටයක් කරන්න අදහසක් තිබෙනවා.
සමාජ සේවයටත් යොමුවී ඉන්නවා නේද?
විෂන් ආර්ට්ස් පදනම නමින් පදනමක් අපි පිහිටුවාගෙන ඉන්නවා..මම එහි සභාපති. එයින් වයඹ පළාතේ ඔත්පලව ඉන්න කලාකරුවන්ට සම්මාන දීමේ අදහසක් තිබෙනවා. එවැනි අය 20 දෙනකුට බඩු මල්ලක් දෙන්න, බේත් ගන්න ආධාර කරන්න වැඩපිළිවෙළක් තිබෙනවා.
පවුලේ විස්තර කීවොත්?
මගේ සැමියා තිස්ස ජයන්ත. ඔහු මගේ නාට්‍ය ගුරුවරයෙක්. එයා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, සහය අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක්. මට දුවලා තිදෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් නීතිවේදිනියක්. අනිත් දුව ගුරුවරියක්. අනිත් දුව නර්තනාචාර්යවරියක්. එයාලා කලාවට ආවේ නැත්තේ අපි කන කට්ට දැක්ක නිසයි.