සරත් කරුණාරත්න නාට්‍ය පිටපත ලියා අධ්‍යක්ෂණය කරන නවතම වේදිකා නාට්‍යයක රංගනයට එක් වෙමින් මේ දිනවල එහි පුහුණුවීම්වල නිරත ව සිටියදී මෙරට වේදිකාවේ විවිධාංග චරිත නිරූපණයෙහිලා ප්‍රතිභාව විදහා දක්වන සම්මානනීය රූපණවේදිනී චමිලා පීරිස් අපට හමු විය. ඇය හා මෙම නාට්‍යයේ සෙසු චරිත සඳහා ජෙනට් ඇන්තනි, ගිහාන් ප්‍රනාන්දු, පබෝදා සන්දීපනී ඇතුළු පිරිසක් එක ව සිටී. මිනිස් හැඟීම්, ආකල්ප ආදිය කැටිකොට ගනිමින් අපි අපව ම ප්‍රශ්න කර ගන්නා ආකාරය විග්‍රහ කෙරෙන මෙම නාට්‍යය අගෝස්තු මාසයේ දිනකදී වේදිකාගත කිරීමට නියමිතය. මේ දිනවල වේදිකාව නිසා බොහෝ සෙයින් කාර්යබහුල වී සිටින ඇය අප හා මෙසේ එක්වූවාය.
“මම රූපණයෙන් සම්බන්ධ වුණු ගිහාන් ප්‍රනාන්දුගේ නාට්‍ය අධ්‍යක්ෂණයක් වන ‘ලොක්කා ලෙඩ වෙලා‘ නාට්‍යය මේ දිනවල රට පුරා වේදිකාගත වෙනවා. පසුගිය කාලේ ඔස්ට්‍රේලියාවේත් වේදිකාගත වුණා. එහේදීත් හොඳ ප්‍රතිචාර ලැබුණා. රවින්ද්‍ර ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘බල්ලොත් එක්ක බෑ ‘සහ ‘චරිතෙ හොරු අරන්‘ නාට්‍ය දෙකත් මේ දවස්වල බොහෝ විට සති අන්තයේ ලංකාවේ කොහේ හෝ තැනක වේදිකාගත වෙනවා. මේ නාට්‍ය තුනෙන්ම දේශපාලනය හාස්‍යයට ලක් කිරීමක් සිදු වෙනවා. එක්තරා දේශයක රට පාලනය කරන අය තමන්ගේ බලය අවභාවිත කරමින් තම තමන්ගේ සුඛ විහරණය උදෙසා බලය පාවිච්චි කරන ආකාරය සහ රට ගැන නොසිතා කටයුතු කිරීම විවේචනයට සහ විරෝධයට ලක් කිරීම මේ නාට්‍ය හරහා සමාජගත කර තිබෙනවා. දේශපාලනඥයා වෙනස් නොවන නිසා මහජනතාව වෙනස් විය යුතුයි කියන පණිවුඩය මෙම නාට්‍ය හරහා ගෙන හැර දක්වනවා. ඒ ගලා යෑම ඇතුළේ අපි අපට ම හිනා වෙනවා. දොස් කියනවා. හැබැයි ඒ සිනහව සහ ද්වේෂය අතරින් බුද්ධිමය අවදි වීමක් සිදු වෙනවා. ඒක තමයි නාට්‍යයකින් විය යුතු වන්නේ කියාත් මම සිතනවා. අනිත් එක තමයි ගොඩාක් ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත තියෙන්නේ ඔළුව බර වුණු නාට්‍යවලට නෙවෙයි. පොඩ්ඩක් හිනා වෙලා හිත සැහැල්ලුවෙන් යම් පණිවුඩයක් ලබා දෙනවා නම් එයාලා ඒවා ග්‍රහණය කර ගන්න කැමැතියි. නාට්‍යයක් බලලා අහස පොළොව ගැටලන්න කල්පනා කරන්න ඕනේ නම් එහෙම නාට්‍යයක් බලන්න එච්චර කැමැත්තක් නැහැ. මේ නිසා වෙන්න ඇති හාස්‍යය, උපහාසය සහිත කතාවක් තියෙන නාට්‍යවලට විශාල ප්‍රේක්ෂක පිරිසක් හැමදාම ඉන්නේ. විශේෂයෙන් ම ඈත පළාත්වලට ගියහම දිරාපත් වෙලා ගරා වැටෙන්න ඔන්න මෙන්න වගේ තියෙන ශාලාවලටත් අතුරු සිදුරු නැතුව අපේ නාට්‍ය බලන්න සෙනඟ පිරෙනවා. ඒ අයගේ ප්‍රතිචාරත් ඒ වගේ ම අව්‍යාජ යි. සෘජුයි.
චමිලා පීරිස් නවතම ටෙලි තුනකට ද සම්බන්ධ වී සිටින්නී ය. ඒවායේ නිෂ්පාදන කටයුතු මේ දිනවල ආරම්භ කරමින් ඇති බවත් ඇතැම් ඒවා රූගත කිරීමට පටන් ගෙන ඇති බවත් ඇය පැවසුවාය. එහි එක් චරිතයක ඇය වලව්වක වෙසෙන ගුරුවරියකි. තවත් නිර්මාණයක ඇය දුම්රිය මාර්ගය අද්දර කුඩා නිවෙසක වෙසෙන ගැහැනියකි. අනෙක් චරිතය සාම්ප්‍රදායික ගෘහයක වෙසෙන සාම්ප්‍රදායික කාන්තාවකි. එම චරිත නුදුරේදී රූපවාහිනී ප්‍රේක්ෂකයන් වෙත සමීප වනු ඇත. මේ දිනවල විකාශය වන ‘අම්මා‘ ටෙලි නාට්‍යයේ ඇයගේ නිරූපණය සඳහා බොහෝ ප්‍රතිචාර මෙන්ම සමාජයේ විවිධ තරාතිරම්වල ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඇයට හිමි වී තිබේ.
“බොහොම සංවේදී වගේ ම දරුවන්, මවුපියන් ගැන කියන කතාවක් නිසා වැඩි දෙනෙක් ‘අම්මා‘ ටෙලි නාට්‍යය නරඹන බව ලැබෙන ප්‍රතිචාරවලින් දැනෙනවා. බොහෝ තැන්වලදී හමු වන රසික රසිකාවන් මට ඔවුන්ගේ අදහස්, ආදරය එම චරිතය වෙනුවෙන් ලබා දෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් දැනෙනවා. සජීවී ලෙස පුද්ගලයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නිසා මානසික ව ලොකු උත්තේජනයක් ලැබෙනවා අපේ ඉදිරි ගමන සාර්ථක කර ගන්න ඒ ප්‍රතිචාර විශාල ශක්තියක් වෙනවා.“
චමිලා පීරිස් මුලින් ම කලා කටයුතු සඳහා සම්බන්ධ වන්නේ නාට්‍ය හා රංග කලාව හැදෑරීමට යොමු වීමත් සමඟිනි. රඟපෑමටත් වඩා ඇය තුළ තිබුණේ ඒ පිළිබඳ හැදෑරීමේ ආශාව යි. ප්‍රවීණ නාට්‍යවේදී සෝමලතා සුබසිංහගේ නිෙවසේ පවත්වාගෙන ගිය ‘ළමා හා යොවුන් රංග පීඨය‘ වෙත ඇය සම්බන්ධ වන්නේ අහම්බෙනි. ඒ ඇයගේ රූපණ ප්‍රවේශය ඇති කළ ස්ථානයයි. සෝමලතා සුබසිංහගෙන් මෙන් ම කෞශල්‍යා ප්‍රනාන්දු ප්‍රවීණ රූපණවේදිනියගෙන් ඇයගේ රංගන ජීවිතයට ලැබුණු ආලෝකය සම්බන්ධයෙන් ඇය විශේෂයෙන්ම සඳහන් කරන්නේ කෘතවේදීවය.
“ඔවුන්ගෙන් ගුරුහරුකම් ලබන්න ඇත්ත වශයෙන් ම මට ලොකු වාසනාවක් තිබුණා. මම මුලින් ම ‘ළමා හා යොවුන් රංග පීඨය‘ වෙත ගියේ නැටුම් ඉගෙන ගන්න. එහිදී විජේසූරිය කියලා ගුරුතුමෙක් හරි ම ලස්සනට සාම්ප්‍රදායික උඩරට නර්තන කලාව ඉගැන්වූවා. එතුමාගෙන් මම නැටුම් ඉගෙන ගත්තා. ඒ අතරේ නාට්‍ය පුහුණුවීම් කරනවා මම දකිනවා. නාට්‍ය වැඩමුළුවලට සම්බන්ධ වුණා. එම ආයතනයේ ගුරුවරියක ලෙස කටයුතු කළ සෝමලතා සුබසිංහ මහත්මියගේ දියණිය අපි කවුරුත් දන්න ප්‍රතිභාපූර්ණ රංගවේදිනිය කෞශල්්‍යා ප්‍රනාන්දුගෙන් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණා. එකදවසක් ඇය මගෙන් ඇහුවා ‘නාට්‍යයක් රඟපාන්න තියෙනවා කරමු ද‘ කියලා. මමත් ගත් කටට ම ‘හා‘ කිව්වා. ඒ වුණාට රඟපෑමක් ගැන කිසි හැකියාවක්, හැඟීමක්, හීනයක් තියා බලාපොරොත්තුවක්වත් මගේ හිතේ තිබුණේ නැහැ. ඒත් එතැනදී රඟපාන්න තියෙන ආසාව ඉස්සර වුණා. ඒ වනවිටත් සෝමලතා සුබසිංහ ගුරුතුමිය කළ නාට්‍ය වැඩමුළුවලට සම්බන්ධ වෙලා යම් අත්දැකීමක් ලබාගෙන තිබුණු නිසා බයත් හිතුණේ නැහැ. ඒ කාලේ වැඩමුළු කළෙත් නොමිලේම නිසා පුළුවන් ද බැරි ද බලන්නෙත් නැහැ හැම එකකටම සම්බන්ධ වෙනවා. ඒ වැඩමුළුවලට සම්පත්දායකයන් ලෙස සම්බන්ධ වුණු ප්‍රවීණයන්ගෙනුත් මේ කලාව ගැන බොහෝ ගුරුහරුකම් ලබා ගත්තා. ඊට අමතර ව ප්‍රවීණ රංගන ශිල්පීන් විශාල පිරිසක් වරින් වර නාට්‍ය පුහුණුවීම්වලට සෝමලතා මිස්ගේ ගෙදරට ආවා. අපි ඔවුන් පුහුණු වන හැටි බලාගෙන හිටියා. බලා ඉඳලාත් අපි බොහෝ දේ ඉගෙන ගත්තා.“
අනූ ගණන්වල ඒ අයුරින් ආරම්භ වූ චමිලාගේ රංගන කලා ජීවිතය මේ දක්වා බොහෝ හැදෑරීම්, සම්මාන ගෞරව ආදිය ද සහිතව සාර්ථක ගමනක් පැමිණ තිබේ. තවත් බොහෝ දුරක් යෑමට ඇයට හැකිය.
“මගේ මේ ගමනේදී දේශීය වශයෙන් ලැබූ අත්දැකීම්, වැඩමුළුවලින් ලද හැදෑරීම්වලට අමතර ව විදේශ රටවලින් පැමිණි ප්‍රවීණ ශිල්පීන් සම්බන්ධ වුණු විවිධ වැඩමුළුවලිනුත් බොහෝ දේ ඉගෙන ගත්තා. රඟපෑම විතරක් නෙවෙයි පසුතල නිර්මාණය, වේශ නිරූපණය ආදි තිරය පිටුපස සිදුවන දේවල් පවා ඒ වගේ අවස්ථාවලදි මං ඉගෙන ගෙන තියෙනවා. සමහර වැඩමුළු එක දිගට මාසයක් විතර පැවැත්වුණා. ඒවා ජීවිතයට වෙන ම අත්දැකීම් බවට පත්වුණා. ඊට පස්සේ ටික ටික නිර්මාණවලට සම්බන්ධ වෙන්න පටන් ගත්තාට පස්සේ ඒ ඒ නිර්මාණකරුවන්ගෙන් ලැබුණු දැනුමත් මගේ රංගන ජීවිතයට ප්‍රයෝජනවත් වුණා. ඒකාකාරී නොවන බොහෝ චරිතත් මට රඟපාන්න ලැබුණා. රඟපෑම කියන්නේ කවදාවත් ඉගෙන ගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මිනිස්සුන්ගේ හැසිරීම්, හැඟීම් වෙනස් වන තුරාවට රඟපෑමට අලුත් දේවල් එකතු වෙනවා. ඒ නිසා මේ නාට්‍ය කලාව කියන දේ මට දැනෙන විදිහට නම් සදාකාලික යි. ඒ නිසා මට පුළුවන් තරම් කාලයක් මේ ක්ෂේත්‍රයේ මගෙන් විය යුතු යුතුකම මගේ ආදරණීය රසික ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉටු කරනවා.“
කලා කටයුතුවලින් කාර්යබහුල කාල වකවානු කොතෙක් උදා වුවත් චමිලා පීරිස් මවක් හැටියට තම එක ම දියණිය වෙනුවෙන් කාලය ඉතිරි කර ගත්තා ය.
“දුව ඉන්නෙ තාමත් ඉගෙන ගන්න වයසේ. දැන් ඇය උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. නාමල් එයාගේ නිර්මාණ කටයුතු කරගෙන යන අතර නිදහසක් ලැබෙන හැම වෙලාවකදී ම ගෙදර ඉන්නවා. කාර්යබහුල නොවන සෑම අවස්ථාවක ම මමත් ගෙදර නිදහසේ ඉන්න කැමැතියි. මල් වවනවා. සුරතල් සතුන් ඉන්නවා. විවේකයක් ලැබුණ ගමන් අපි ලස්සන තැන්වල ඇවිදින්න යනවා. සමාජ සේවා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. කුඩා කණ්ඩායමක් තෝරාගෙන නාට්‍ය වැඩමුළුවක් කරන්න හිතේ පුංචි බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒ ගැන තව ටිකක් කල්පනා කරන්න ඕනේ. මොකද වැඩමුළුවක් විතරක් කළාට මදිනේ. ඉන් පස්සේ වැඩමුළුවට සම්බන්ධ වන අයට එයින් එහාට ගමනක් තියෙන්නත් ඕනනේ. දැන් සෑම කලා අංශයක ම විශාල පිබිදීමක් ඇති වෙලා තියෙන නිසා මට හිතෙනවා මඟපෙන්වීමක් කළාට පස්සේ අලුත් පිරිසකට ඉදිරි ගමනක් යන්න තරම් හොඳ වාතාවරණයක් දැන් සමාජයේ තියෙනවා කියලා. ඒ ගැන ඉදිරියේදී සලකා බලනවා. මම ජීවිතය බරක් කර ගන්න කැමති නැහැ. ජීවිතය බරක් කරගෙනත් නැහැ. කොහොමටත් මම නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න කැමැතියි. වැඩි දේවල් ඔළුවේ තියා ගන්න කැමැති නැහැ. මේ දවස්වල නාට්‍ය කිහිපයක් ම තියෙන නිසා ඒවාට මුල් තැන දෙනවා.“