වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක් වුණාට පොලිස් චරිතයට කොටුවෙන්න කැමැති නෑ මංජුල කෝනාර

gossiplanka image 1
 

චරිතයක් ඒකාකාරීවීම රංගන ශිල්පියා මෙන්ම ප්‍රේක්ෂකයාද අලස කරවන්නකි. ප්‍රේක්ෂකයා අලස නොකර 62 වරක් පොලිස් නිලධාරී භූමිකාව නිරූපණය කළ ඔහු ප්‍රේක්ෂක ආදරයද නොමඳව දිනාගත්තේය. වෘත්තියෙන්ද පොලිස් නිලධාරියකු වන ඔහු නමින් මංජුල කෝනාරය. ශ්‍රී ලංකා පොලිස් තූර්ය වාදන කොට්ඨාසයේ ප්‍රධාන ශබ්ද පරිපාලන නිලධාරියා ලෙස කටයුතු කරන ඔහු රංගනයට මෙන්ම සංගීත විෂයෙහිද දස්කම් දක්වන්නේය. එකම භූමිකාවට පණ පොවමින් දශකයක් පුරා නොවෙනස් ප්‍රේක්ෂක ආදරයක් ලැබූ මංජුල බොහෝ සේ කතාබහට ලක්වූවේ ‘නීල පබළු’ ටෙලි නිර්මාණයේ පොලිස් ඕ. අයි. සීගේ භුමිකාවෙනි.


මේ දිනවල ඔබ පුංචි තිරයේ නිර්මාණ කිහිපයකම දකින්න ලැබෙනවා. මුලින්ම ඒ ගැන සඳහන් කරමු?


සඳුන් රාජකරුණාගේ ‘මායාවී’, සමන් කුමාර ලියනගේගේ ‘චංචල රේඛා’, ඉන්දික ධර්මතිලකගේ ‘කළු අහස’ කියන ටෙලි නිර්මාණ තුනම මේ දිනවල විකාශය වෙනවා. නිර්මාණ තුනටම දායක වෙන්නේ පොලිස් නිලධාරී චරිතයෙන්.


පොලිස් නිලධාරී භූමිකාවටම ආරාධනා ලැබෙන්නේ ඔබත් ‍වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක් නිසාද?


ගොඩක් දෙනෙක් මගෙන් අහනවා ඇයි ඔයා පොලිස් චරිතයටම ඉන්නෙ කියලා. එතනදි මම කියන්නෙ මම ඒකට හරියටම ගැළපෙන නිසා වෙන්න ඇති මට ඒක ලැබෙන්නෙ කියලා. මං වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක් වීමත් ඒකට හේතුවක් වුණාද දන්නෙ නැහැ.


ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?


ප්‍රතිචාර ගොඩක්ම හොඳයි. නීල පබළු චරිතයට තමයි ගොඩක්ම ප්‍රතිචාර ලැබුණේ. රංගන ශිල්පියෙක් විදිහට ගොඩක් දෙනෙක් මාව හඳුනගත්තෙ නීල පබළු හරහා. නීල පබළු වගේම මේ දිනවල විකාශය වන මායාවීත් සඳුන් රාජකරුණාගේ නිර්මාණ. කොහොම වුණත් මං පොලිස් චරිතයට සාධාරණයක් ඉටුකරන නිසා වෙන්න ඇති මේ තරම්ම අවස්ථා ලැබෙන්නේ.


ඔබේ වෘත්තියත් කලාවටම සම්බන්ධයි නේද?


ඔව්. නමුත් මං පොලිස් සේවයට බැඳෙන්නේ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් විදිහට. ඒ අත්දැකීම පොලිස් නිලධාරී භූමිකාවට ලොකු පන්නරයක් වුණා. සංගීත පසුබිමත් තිබුණු නිසා පස්සේ මං තූර්ය වාදන කොට්ඨාසයට ඉල්ලුම් කළා. ඒත් එක්කම ශබ්ද පරිපාලන පාඨමාලාවක් හැදෑරුවා. මේ වෙද්දි පොලිස් තූර්ය වාදන කොට්ඨාසයේ ප්‍රධාන ශබ්ද පරිපාලක නිලධාරී විදිහට කටයුතු කරනවා. ඇතැම් අවස්ථාවල ගායකයෙක් විදිහටත් සම්බන්ධ වෙනවා. ඊට අමතරව මට ට්‍රම්පට් වාදනයත් පුළුවන්. තූර්ය වාදන කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමා සහ ස්ථානාධිපතිතුමා ඇතුළු සියල්ලන්ම මගේ මේ ගමනට ලොකු ශක්තියක් වෙලා තියෙනවා.


ඔබ රංගනයට පිවිසෙන්නේ කොහොමද?


පාසල් යන කාලෙ ඉඳන්ම මං ඩ්‍රාමාවලට සම්බන්ධ වෙලා හිටියා. සංගීතයත් හැදෑරුවා. රංජිත් වික්‍රමසූරිය ගුරුතුමා ඒ දෙපැත්තෙන්ම අපව සමස්ත ලංකා ජයග්‍රහණ දක්වා අරන් ගියා. ඊට අමතරව මං අවුරුදු 8ක් තිස්සේම ගමේ සොකරි නාඩගමේ සොකරිගේ චරිතයට පණ පෙවීමත් ආභාසයක් වෙන්න ඇති. මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගන අත්දැකීම වෙන්නේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ කප් සුවහස්කල් ටෙලි නිර්මාණය. මට ඒ අවස්ථාව ලබා දෙන්නේ තුර්ය වාදන කොට්ඨාසයේ හිටිය යාපා කියන අයියා. පළමු අත්දැකීමත් පොලිස් චරිතයක්. මේ වෙද්දි මං රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. පොලිස් චරිතය හැටදෙවරක් කරල තියෙනවා. ඒ ඇරුණම සිවිල් රංගන අවස්ථා දෙකයි කරල තියෙන්නේ. එකක් ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ මොනර කඩදාසි ටෙලි නිර්මාණයේ සරාගේ චරිතය. අනෙක් එක කූඹියෝහි පාතාල චරිතයක්. ඉදිරියේදී ලෝයර් කෙනෙක් විදිහටත් දකින්න අවස්ථාවක් තියෙනවා. මාත් හරිම ආසාවෙන් ඉන්නවා වෙනස් වෙනස් චරිතවලින් සම්බන්ධ වෙන්න.


පොලිස් නිලධාරියාටම කොටුවීම ඔබට අසාධාරණයක් නොවෙයිද?


ඒක එහෙමමයි කියල හිතන්නත් බැහැ. මොකද එකම කැරැක්ටර් එක වුණත් පිටපත අනුව වෙනස් වෙනවා. ඒ වගේම ඩිරෙක්ටර් අනුවත් චරිත ස්වභාවයන් වෙනස් වෙනවා. මම පොලිස් නිලධාරියෙක් වීම තුළ මං ලබපු අත්දැකීම් එකතු කරගන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අසාධාරණයකට ලක්වුණා කියලා නම් හිතෙන්නේ නැහැ. නමුත් මම කැමතියි වෙනස් චරිත නිරූපණය කරන්න.


සිනමාවේත් ඔබ දකින්න ලැබෙනවා. ඒ ගැනත් කියමු?


මේ වෙද්දි මං චිත්‍රපට හත අටක රඟපාලා තියෙනවා. නටන්නැතුව දින්නා, පරපුර, ප්‍රවේගය, සුහද කොකා, අපේ ප්‍රින්සිපල් වගේම මේ දිනවල තිරගත වන ධර්ම යුද්ධය -2 සිනමාපටයටත් මම රංගන දායකත්වය ලබා දී තියෙනවා.


මංජුල කෝනාර කියන ගායන ශිල්පියා දැන් යටපත් වෙලා වද්ද?


නැහැ. මේ වෙද්දි මගේ සින්දු හතරක් එළිදක්වලා තියෙනවා. ඒවා ලිව්වෙත් මං. ඒ අතරින් මගේ අම්මා සහ අප්පච්චි ගැන ලියපු ගීත දෙක මේ දවස්වල රිලීස් කරල තියෙන්නේ. ඒ ගීත දෙක මට සුවිශේෂී වෙන්නේ ඒ මගේම අත්දැකීම්. රූප රචනයට ඉන්නෙත් මගේම අම්මයි අප්පච්චියි. ඒක තමයි මේ ජීවිතේ මං ලබන ලොකුම සතුට.


ඔබ රචකයෙක් විදිහටත් ජනප්‍රිය චරිතයක් නේද?


මං ලියන්න ගොඩක් කැමැතියි. මගේ ගීත ගොඩක් දුරට ලියාගන්නේ මම. වෙන අයත් මගේ ගීත ගායනා කරල තියෙනවා. ගීත රචනයේදී ගොඩක් දුරට පාදක කරගන්නේ මගේම අත්දැකීම්. පන්හිඳට සවියක් කියලා මගේ පේජ් එකක් තියෙනවා. ඉස්සර ඉඳන්ම මං ඒ හරහා කවි, ගීත ලියනවා.


ඔබ මේ දිනවල වේදිකාවේත් කාර්යබහුල චරිතයක්?


මේ වෙද්දි මගේ තිරරචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් වේදිකා නිර්මාණ තුනක් වේදිකාගත වෙලා තියෙනවා. ‘සුන්දර මනාලී’, ‘ආරච්චි දීගේ’ සහ ‘දීගෙ කයි’ ලෙසින්. ‘දීගෙ කයි’ මේ දවස්වල වේදිකාගත වෙනවා. එය ජන ගී ආශ්‍රයෙන් කළ නිර්මාණයක්. මමත් රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව රාජ්‍ය නාට්‍ය උලෙළට නිර්මාණය කළ පිස්සුද මල්ලී. ඒ වගේම ටෙලි චිත්‍රපට කිහිපයකුත් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ලුවී වැන්ඩස්ටාටින් අධ්‍යක්ෂවරයා යටතේ සහය අධ්‍යක්ෂවරයකු විදිහට අවුරුදු හයක් විතර වැඩ කරලා ලබපු අත්දැකීම තමයි වේදිකාවේදී මට පහසුවක් වුණේ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post