ඕනෑම ක්ෂේත්‍රයක් පවතින්න නම් ඒ ක්ෂේත්‍රයට අදාළ දැනුමැති නව පරපුරක් සිටිය යුතුමයි. මේ දිනවල කා අතරත් කතා බහට ලක්වෙන ‘පිරිමි ළමයි‘ ටෙලිනාට්‍යයේ ඇඟලුම් ආයතනයේ සේවකයන්ට ආදරෙන් සලකන මිනෝලි මිස් කියන්නෙත් එවැනි චරිතයක්. රසඳුන නවක රංගන ශිල්පිනී අංජලී ගුණවර්ධන සමඟ අද කතා බහ සිදු කරනු ලබනවා.
පෞද්ගලික විස්තරවලින්ම සාකච්ඡාව ආරම්භ කරමු
මගෙ නම, අංජලී ගුණවර්ධන. මුලින්ම පාසල් ගියේ දංකොටුව බාලිකා මහා විද්‍යාලයට, ඊට පස්සෙ මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට.
තාත්තා පොලිස් නිලධාරියෙක්, අම්මා ගෙදර ඉඳලා අපි හැමෝගෙම වැඩවලට උදවු කරනවා. අක්කා සහ එයාගෙ පවුලේ අය එංගලන්තයේ ජීවත් වෙන්නේ. මල්ලී සහ එයාගෙ පවුලේ අය ලංකාවේ ඉන්නවා.
කොහොමද කලාවට යොමු වෙන්නේ
මම පුංචි කාලෙ ඉඳන්ම රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වෙලා තියනවා. පාසල් තරග වලින්, පාසල් වේදිකාවෙන් සහ පුංචි ළමයින්ගේ වැඩසටහන්වලට තේරීම් කරන ‘ස්ක්‍රීන් ටෙස්ට්‘ වලින් එහෙම මම තේරිලා තියනවා. ක්‍රමයෙන් ඒ විදියට තමයි මේ දක්වාම එකින් එක කරගෙන ඉදිරියට ආවේ.
මුල්ම නාට්‍යය මොකක් ද?
මම සම්බන්ධ වුණු මුල්ම නාට්‍යය වෙන්නේ facebook, ඒත් ප්‍රේක්ෂකයන්ට මතක හිටින චරියක් කරන්නේ ස්වර්ණවාහිනීයේ විකාශනය වුණු ලොක්කි ටෙලිනාට්‍යයෙන්.
මේ වෙද්දී රංගනයෙන් දායක වුණු නාට්‍යය සංඛ්‍යාව…
නාට්‍ය 5කට රංගනයෙන් දායක වෙලා තියනවා.
“පිරිමි ළමයි” ටෙලිනාට්‍යයේ හි මිනෝලි මිස් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
පහුගිය වසරේ විකාශනය වුණු ජුරාලියා නාට්‍යයත් අවසන් වීමත් සමඟම සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මා සහ චේතිනී විජේතුංග මහත්මිය තමයි යෝජනා කරන්නේ පිරිමි ළමයි නාට්‍යයේ ඒ වෙනකොට පැමිණීමට නියමිතව තිබුණ චරිතයකට සම්බන්ධ වෙන්න කියලා. මම රටවල් දෙකක ඉඳන් කටයුතු කරනකොට ජුරාලියා නාට්‍යයට වගේම පිරිමි ළමයි නාට්‍යයටත් පුදුමාකාර සහයක් මේ වෙනකන්ම ඒ දෙදෙනාගෙන් ලැබෙනවා.
මිනෝලි මිස් නිසා ඇන්ජි ගැන දැන් වැඩියෙන් කතා බහ වෙන්න අරන් නේද?
සෑහෙන්න ප්‍රේක්ෂකයන් කතාබහ කරන්න පටන් අරන් තියනවා. විශේෂයෙන්ම මිනෝලි මිස් කියන්නෙ අද කාලෙ හරිම අඩුවෙන් දකින්න ලැබෙන හරිම ආදරණීය චරිතයක්. විශේෂයෙන්ම ඇදුම් පැලඳුම්, කතා කරන විදිය වගේ දේවල් ප්‍රේක්ෂකයන් හරි ආදරෙන් වැළදගෙන තියනවා. මම දැකපු විශේෂම ප්‍රතිචාරය තමයි ගොඩක් දෙනෙක් අහල තිබුණා මම ඇත්තටම ඒ ‘factory‘ එකේ වැඩ කරන කෙනෙක්ද, නැත්නම් මම ඇත්තටම ‘HR manger‘ කෙනෙක්ද කියලා. ඒ කියන්නේ මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරලා කියලා මට නිහතමානී ආඩම්බරයක් තියනවා.
ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ
මම ගොඩාක් වෙලාවට මිනිස්සුන්ගේ comments කියවනවා, අපි මිනිස්සුන්ට දෙන දේ එයාල කොයි විදියටද වැලදගෙන තියෙන්නෙ කියලා මුලින්ම දකින්න පුළුවන් comments හරහා. ඒව කියවද්දි තේරෙනවා මිනිස්සු කොච්චර උනන්දුවෙන් ඉන්නවද මේ චරිත ගැන කියලා. ඒ වගේම පාරතොටේ මුණ ගැහෙනකොට, සමාජමාධ්‍ය හරහා ඒ ලැබෙන ප්‍රතිචාර දැක්කම හරිම සතුටුයි. මගේ මහන්සිය අපතේ ගිහින් නෑ කියලා සතුටක් දැනෙනවා.
ශරීරයේ හැඩය පවත්වාගෙන යන්න මොනවද කරන්නේ
ශරීරය ගැන පොඩ්ඩක් සැලකිලිමත්. කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා. ‘gym‘ යනවා සහ නර්තනය හදාරන්න වෙලාවක් වෙන්කර ගන්නවා. හැබැයි තවත් මීට වඩා අවධානය දෙන්න ඕනෙ කියලත් හිතෙනවා.
රංගනය ඔබේ වෘත්තිය ද?
රංගනය මම හරිම ආදරේ කරන සහ ආස කරන විෂයක්, උපරිම උත්සාහ කරන්නේ ජීවිතේ මැරෙන්න කලින් චරිතාංග නිළියක් විදියට මිනිස්සුන්ට මතක හිටින කෙනෙක් වෙන්න. නමුත් මගේ වෘත්තීය වෙන්නේ, දේපල වෙළෙඳ නියෝජිතවරියක්. පැහැදිලිව කිව්වොත් ‘property consultant‘ කෙනෙක් සහ ව්‍යවසායිකාවක් කියලා කියන්නත් පුළුවන්. රැකියා කරන්නේ ඩුබායි හි.
ඩුබායිහි රැකියාව කරන අතරේ රඟපාන්න කාලය හොයා ගන්නේ කොහොමද?
මගේ වෘත්තියත් සමඟ නිවාඩු ගැන ලොකු ගැටලුවක් මට නැහැ. කාලය කළමනාකරණය කරගැනීම තමා මගේ ලොකුම අභියෝගය මේ දවස්වල. හැබැයි උපරිමයෙන් මම වෘත්තීන් දෙකම සමබර කරගෙන යනවා. මොකද මේ වෘත්තීන් දෙකටම මම හරිම ආදරෙයි.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුල ඉඳන්ම මාත් එක්ක හිටියා. නමුත් පවුලේ අනිත් අය මුලින්ම නම් ඇත්තටම ලොකු කැමැත්තක් තිබුණේ නෑ මම රංගනයට සම්බන්ධ වෙනවට. නමුත් කාලෙත් එක්ක ඒ අයගේ විශ්වාසය සහ ආශීර්වාදය මේ වෙනකොට මම දිනාගෙන තියනවා කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම තාත්තාගේ.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
ඉදිරියේදී නිර්මාණ කිහිපයකටම කතාබහ කරගෙන යනවා. මම විශේෂයෙන්ම අවධානය දෙන්නේ එක අවස්ථාවක එක නාට්‍යයකට විතරයි. ඒ නාට්‍යයේ වැඩ ඉවර උනාම තමා අනිත් එක භාර ගන්නේ. මොකද මගේ අනෙක් රාජකාරීත් එක්ක සහ මේ රටවල් දෙකක ඉඳන් කරගෙන යන ජීවන රටාවත් එක්ක මම කැමති නෑ කවුරුත් අපහසුතාවට පත්කරන්න. ඒ නිසා මට ගැළපෙන ලස්සන නිර්මාණ කිහිපයක් ඉදිරියේදී එන්න නියමිතයි.
අනාගත බලාපොරොත්තු මොනවද?
නොබෝ දිනකින් මගේ ව්‍යාපාර ශාකාවක් ලංකාවේ විවෘත කිරීමට කටයුතු සූදානම් කරගෙන යනවා. ඊට අමතරව චිත්‍රපට නිෂ්පාදනය සඳහා යොමු වීමත් මේ වෙනකොට මගේ හීනයක්.