මම රංගනය හැදෑරීමෙන් නිර්මාණය වූ ශිල්පිනියක් -රෙබෙකා දිල්රුක්ෂි

gossiplanka image 1


වේදිකාවෙන් රංගනය හදාරා, රිදී තිරයත් පුංචි තිරයත් එකසේ ජයගත් ඇය රෙබෙකා දිල්රුක්ෂිය. ‘There is a body’ හරහා ප්‍රේක්ෂක අවධානය දිනාගත් ඇය මේ දිනවල ”පට්ටි ගෙදර” නන්දනී ලෙස කාගේත් ආදරය දිනා සිටින්නීය. රංගනය යනු හුදෙක් වාසනාව නොව හැදෑරීමක් බව ඔප්පු කළ ඇය සමඟයි අද අපේ කතාබහ.


මේ දිනවල බොහෝ දෙනා කතාකරන්නේ පට්ටිගෙදර නන්දනී ගැන. කොහොමද ඒ අත්දැකීම?


ඔව්, පට්ටිගෙදර නාට්‍යයේ චරිතය මට විශේෂයි. මිනිස්සුත් ඒකට ගොඩක් කැමතියි කියල හිතෙනවා. මොකද පට්ටිගෙදර නන්දනීට කවුරුත් හිතුවෙ නැති තරම් ප්‍රතිචාර ලැබෙනවා.


එය එතරම්ම සුවිශේෂී වෙන්න ඒ සම්බන්ධයෙන් ඔබ විශේෂ හැදෑරීමක් කළාද?


මේ චරිතයට ගොඩක් මෙවලම් එකතුකර ගන්න මට උපකාරී වුණේ මගේ විශ්වවිද්‍යාලය. අපි උපතින්ම රඟපෑම අරන් ආපු අය නෙවෙයි. හැදෑරීම්, පුහුණුවීම් එක්ක රංගනයට පිවිසි අය. ඒ නිසා මේ චරිතයේ පෞර්ෂය ගොඩනඟා ගන්නේ කොහොමද? මනෝභාවය ගොඩනඟා ගන්නෙ කොහොමද? කියන එක සම්බන්ධයෙන් මම පොඩි හැදෑරීමක් කළා. ඒ වගේම අධ්‍යක්ෂවරයා මට සියලුම උපදෙස් ලබා දුන්නා.


කලාවට පිවිසීම ගැනත් මතක් කරමු?


මම ක්ෂේත්‍රයට එන්නෙ වේදිකාවෙන්. වේදිකාවේ වැඩකරමින් ඉන්න අතරතුරේම පුංචි තිරයට පිවිසෙන්නත් අවස්ථාව ලැබෙනවා. පළමුවැනි රංගන අත්දැකීම Film එකක්. ඊට පස්සෙ තමයි ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. ජත්‍යන්තර සම්මාන උළෙල නියෝජනය කරන කෙටි චිත්‍රපටවලට සම්බන්ධ වෙනවා. ඒ අතරේ යූටියුබ් එකටත් නිර්මාණ කළා. ගොඩක්ම මම ප්‍රේක්ෂකයන් අතරට ගියේ ‘There is a body’ කියන web Serious එක හරහා.


රංගන ශිල්පිනියයි සැබෑ ජීවිතයේ රෙබෙකායි අතර සමානකමක් තියෙනවද?


එහෙම නම් විශේෂ සමානකමක් නැහැ. මොකද ඇත්තටම අපි තිරය ඉදිරියේ කරන්නෙ චරිතයක්. ඒක Action – Cut අතර විතරයි. නමුත් තිරයෙන් පිටුපස ඉන්න රෙබෙකාව මරාගන්නෙ නැතුව චරිතයේ ඉන්න රෙබෙකාව ගෙන එද්දි සමහර ලක්ෂණ මතුවෙනවා ඇති. ඒත් ඒක හිතාමතාම කරන දෙයක් නෙවෙයි. මම සෑහෙන්න උත්සාහ කරනවා එහෙම නොවෙන්න.


Take Care ටෙලි නාට්‍යයේ ‘අසේනි’ හරහා ලැබුණු ජනප්‍රියත්වය නිසා ගොඩක් ආරාධනා ලැබෙන්න ඇති නේද?


Take care කරද්දිම මම තවත් වැඩ කීපයක් කරමින් හිටියා. විශේෂයෙන්ම ” සසංකාර ” එක්කම ඒ ඩිරෙක්ටර්ගෙම තව නාට්‍ය කීපයකම මම වැඩ කරමින් හිටියා. Take Care නාට්‍ය නිසාම නම් මට එහෙම නාට්‍යවලට ආරාධනා ලැබුණෙ නැහැ. නමුත් ඒ වගේම චරිතවලට කතා කරපු අවස්ථා තිබුණා. Take care කරලා මම සසංකාර නාට්‍ය විතරක්ම කරපු කාලයකුත් තිබුණා. සමහර ආරාධනා ලැබෙනකොට මම ප්‍රතික්ෂේප කරපු කාලයකුත් තිබුණා.


ඔබ වැඩිපුරම දකින්නේ පුංචි තිරයේ. සිනමාවට හෝ වේදිකාවට ආරාධනා ලැබිල තියෙනවද?


කොහොමත් මම වේදිකාවත් එක්කමයි ඉන්නේ. මේ දිනවලත් මම වේදිකා නාට්‍ය 2ක වැඩකරනවා. සග අපේ වේදිකා නාට්‍යයක් රට වටා සහ ලෝකය වටා යමින් තියෙනවා. චිත්‍රපට 2ක් 3ක්ම කරලා තියෙනවා. තව චිත්‍රපට 2ක් විතර එන්නත් තියෙනවා. වේදිකාව තමයි මගේ මුල. ඒක කොහොමත් අත්හරින්නෙ නැහැ.


ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නේ?


ප්‍රේක්ෂකයා තමයි ඉතින් අංක 01. මොනදේ කරන්නෙත් ඒ ගොල්ලො අංක එකේ තියාගෙන තමයි. අපි මේ ක්ෂේත්‍රයේ රැඳිල ඉන්නේ ඔවුන් නිසා. ඇත්තටම මං මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් බලාපොරොත්තු වුණේ නැහැ. මම හිතුවෙ කොළඹ අය විතරයි මාව දන්නෙ කියලා. ඒත් කොළඹින් එළියට ගියහම ලැබෙන සජීවී ප්‍රතිචාර ගැන හරිම සතුටුයි. ප්‍රේක්ෂකයො අපට කතා කරද්දි මං කරන වැඩවල වටිනාකමක් තියෙනවානේ කියල හිතෙනවා.


ඔබට ආදරය කරන රසික රසිකාවියන්ට කියන්න යමක් ඇති?


රංගන ශිල්පිනියක් විදිහට දිගටම ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙනවා. කලාව භාවිත කරමින් ප්‍රේක්ෂකයාට මොනවහරි අලුත් දෙයක්, නැවත පරිකල්පනය කරගන්න පුළුවන් දෙයක්, මිනිස්සුන්ගේ මනස, ඔළුව හදන්න පුළුවන් නිර්මාණ ටිකක් කිරීමේ අවශ්‍යතාව තියෙනවා. ගොඩක් කලාකරුවන්ට ඒ අවශ්‍යතාව තියෙනවා.


මට ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ හොඳ නිර්මාණ බලන්න. තෝරාබේරාගෙන නිර්මාණ රස විඳින්න. මොකද අපි තෝරාබේරාගෙන හොඳ නිර්මාණ රස වින්දොත් විතරයි ඉදිරි පරම්පරාවටත් ඒ පණිවිඩය යන්නේ. අද මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක දේවල් හොයන්න බලන්න අපිට හරිම ලේසියි. ඒ විදිහට බැලුවත් හොඳම නිර්මාණ බලන්න කියන එක තමයි මට කියන්න තියෙන්නෙ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post