කවුරු මගේ ජීවිතේට ආවත් මගේ ලෝකය අම්මා - සජිනි රෝයි

gossiplanka image 1
 


සජිනි රෝයි කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් අතරට ආ දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි තිරයේ එකිනෙකට වෙනස් චරිත මැවූ සජිනි රෝයි දැන් රිදී තිරයෙන් ද ප්‍රේක්ෂකයන් අතරට එන්න සූදානම්. මේ වෙද්දී සජිනි ටෙලි නිර්මාණ 6ක් සහ සිනමා නිර්මාණ 3ක් කර අවසන්. ඒ එකිනෙක ගැන රසඳුන සමඟ කළ කතා බහයි මේ.


සජිනි ගැන විස්තර කියමු?


මගේ නම සජිනි රෝයි. උපන් ගම කොළඹ. පාසල් ගියේ කොළඹ කොටහේන රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයට. පවුලේ විස්තර කිව්වොත් අම්මා, තාත්තා සහ නංගිලා දෙන්නෙක් ඉන්නවා.


කොහොමද කලාවට එන්නේ?


මම කලාවට එන්නේ අහම්බෙන්. ඒක මම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක්. මගේ හීනය වෙලා තිබුණේ එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න. මම සාමාන්‍ය පෙළ ඉවර වුණු ගමන්ම ඒ සම්බන්ධව පාඨමාලා හැදෑරුවා. මම මාස 3ක් විතර එතන වැඩ කරද්දී මට හඳුනා ගන්න ලැබුණා රනිල් කුලසිංහ අධ්‍යක්ෂවරයාගේ හිතවතියක්. ඒ හරහා තමයි මගේ මුල්ම ටෙලි නිර්මාණය වන භූමි කියන නාට්‍යයට මම සම්බන්ධ වෙන්නේ.


මුල්ම නිර්මාණය තුළදී ලැබුණු අත්දැකීම?


භූමි කියන නාට්‍ය තුළදී මට අත්දැකීම් ගොඩක් තියෙනවා. රංගනය ගැන කිසිම දැනුමක් නැතුව දායක වුණු නිර්මාණය. රනිල් කුලසිංහ කියන්නේ හරිම ස්මාර්ට් අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඔහුට අවශ්‍ය දේ එනකම්ම ඒ දේ ලබා ගන්න උත්සහ කරන දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. පළමු නිර්මාණය නිසා සමහර තැන්වලදී හිත රිදුණා, ඇඬුවා. ඒත් අද මතක් වෙද්දී ඒ නිර්මාණය විකාශය නොවුණු එක ගැන දුකක් තියෙනවා. ලොකු කැපකිරීමක් කරා ඒ නිර්මාණයට හැමෝම. පිට්ටනියක් මැද්දේ ගිනි අව්වේ රූපගත කිරීම් තිබුණේ. මගේ කකුල් අත් මුහුණ හම යනකම්ම අව්වේ හිටියා. මට නැවත මගේ තිබුණු ස්කින් එක ගන්නත් ලොකු කාලයක් ගියා. ඒ නිසා භූමි කියන්නේ මට අමතක නොවනම නිර්මාණයක්.


ඉදිරියට එන්න තියෙන ටෙලි නිර්මාණ මොනවද?


මේ වෙද්දී ටෙලි නාට්‍ය 6ක් කරලා තියෙනවා. මුල්ම එක විකාශය වුණේ නැහැ. අනිත් නාට්‍ය 5න් 4ක්ම විකාශය වෙලා අවසන්. දෙරණ නාලිකාවේ යන සිත නිදි නැහැ නාට්‍ය තවම විකාශය වෙනවා. අලුතින් වෙන ටෙලි නිර්මාණ භාර ගත්තේ නැහැ.


මුල්ම සිනමා නිර්මාණය මොකක් ද?


ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ලද සූරිය සුළඟ චිත්‍රපටය. මැයි මාසයේ එන්න නියමිතයි. ඒකත් මට හරි අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. සිදාදියේ සමනලියෝ රඟපාන කාලේ මම කළේ දෙමළ චරිතයක්. ඒ නාට්‍ය මුලින්ම අධ්‍යක්ෂණය කළේ ධනංජය සිරිවර්ධන අයියා. ඊට පස්සේ චාමර ජනරාජ් පීරිස් අයියා. සූරිය සුළඟට දෙමළ චරිතයක් රඟපාන්න කෙනෙක් හොයද්දි චාමර අයියා තමයි මාව නිර්දේශ කරලා තිබුණේ. මේ වෙලාවේ බොහොම ආදරේ මතක් කරනවා චාමර ජනරාජ් පීරිස් අයියාව. බොහොම ස්තූතියි මාව මේ චරිතෙට යෝජනා කළාට. ඒ එක්කම ප්‍රියන්ත කොළඹගේ අයියාටත් ස්තූතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා මාව ගත්තට.


සූරිය සුළඟ හි ඔබේ භූමිකාව ගැනත් කිව්වොත්?


මගේ භූමිකාව වුණේ රාධා. රාධා කියන්නේ චිත්‍රපටය තුළ කුතුහලය ඇති කරන්න පුළුවන් චරිතයක්. චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වාම ඒ කුතුහලය රාධා නිසා ඇති වෙනවා. වැඩි විස්තර චිත්‍රපටය ආවම බලමු.


සූරිය සුළඟ හි අමතක නොවන මතකයන් ඇති?


හැම දවසක්ම අමතක නොවන මතකයන් කිව්වොත් තමයි වඩාත් නිවැරදි. මට ගොඩක්ම තිබ්බේ රාත්‍රී දර්ශන. හැමදාම වගේ මට තිබුණේ හවස 5ට ‘ෂූටින්‘ ගිහින් පාන්දර 6ට ගෙදර එන්න. එකම එක දවසයි උදේ වරුවේ තිබ්බේ. එදා නම් උදේ 6ට මාව අරගෙන එකම ලොකේෂන් එකේ රූපගත කිරීම් දෙකක් කළා. දවල් 1 වෙද්දී ආයේ ගෙදර. එදා තමයි ගොඩක්ම සතුටු දවස වුණේ. අපි රූගත කරපු කාලේ වැස්ස. ඒ නිසා සමහර දවස්වලට ෂූටින් කැන්සල් වුණා.


මේ වෙද්දී සිනමා නිර්මාණ කොපමණ සංඛ්‍යාවකට සම්බන්ධ වෙලා තියෙනවද?


මුලින්ම සූරිය සුළඟ. තංගමලේ ඩයරිස් සහ අනිත් එක යාපනේවලදී කරපු ඉන්දියානු ශිල්පීන් එක්ක කරපු චිත්‍රපටයක්. සියල්ල 3යි.


ලැබෙන ප්‍රේක්ෂක ආදරේටත් කියන්න දෙයක් ඇති


ඒ ආදරේට මමත් ගොඩක් ආදරෙයි. මම එයාලට හැමදාම ගරු කරනවා. මේ වෙද්දී පොඩි අයගේ ඉඳන් හැමෝම ආදරේ කරනවා. මට වැඩියෙන්ම ඉන්නේ අවුරුදු 10 සහ ඊට අඩු ප්‍රේක්ෂකයන්. ඒ අය හමු වුණාම මමත් මට පුළුවන් විදියට ටොෆි හෝ චොකලට් එකක් අරන් දීලා එයාලව සතුටු කරනවා. ඒ මට දෙන ආදරේ නිසා මම සතුටු වෙනවා වගේම, එයාලවත් සතුටු කරන්න ඕනෙ නිසා.


මේ ගමන එන්න උදව් කරන අය මතක් කළොත්?


මගේ පවුලේ අය තමයි මට ශක්තිය. මගේ අම්මා මගෙත් එක්ක එනවා. මගේ පුංචිම නංගිට දැන් අවුරුදු 7යි. මම මුල් කාලේ ක්ෂේත්‍රයට එද්දි එයාට අවුරුදු 3ක් වගේ. ඒ කාලේ මා එක්ක ආවේ මගේ ආච්චි. මේ ලෝකේ මම වැඩියෙන්ම ආදරේ කරන්නේ මගේ අම්මට. ඉස්සරහටත් කවුරු මගේ ජීවිතේට ආවත් අම්මා තමයි මගේ ලෝකය. මම වැටෙන තැන්වලදී මගේ පිටට තට්ටු කරලා නැහැ ඔයාට පුළුවන් කියන ශක්තිය දෙන්නේ මගේ අම්මා. අම්මා තාත්තා ආච්චි නංගිලා දෙන්නා දෙන සහයෝගය නිසයි අද මම මෙතන ඉන්නේ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post