‘මට සිහිනයක් නැත’ කියලා තැබූ සටහන සම්මානය ලැබුණාටත් වඩා තැනකට මාව අරන් ගියා මහේන්ද්‍ර වීරරත්න

gossiplanka image 1

මේ දිනවල පුංචි තිරයේ සෑම නාළිකාවකම නිතර දකින්න ලැබෙන ඔහු රුව නොහඳුනන කෙනෙක් නැති තරම්ය. ඔහු දක්ෂ චරිතාංග නළුවෙකු ලෙස හඳුන්වාදීමේ කිසිදු වරදක් නැත. සිහිනෙක තනිවෙලා, බැද්ද අද්දර, කෝඩුකාරී, මං ආදරෙයි, තප්පරකට්ටා, ටැක්සිකාරයා ඇතුළු ටෙලි නිර්මාණ රැසකට රංගන දායකත්වය ලබා දෙන ඔහු නමින් මහේන්ද්‍ර වීරරත්නය. වේදිකාවට මෙන්ම මේ වනවිට පුංචි තිරයටද නැතුවම බැරි චරිතයක් ලෙස ජනප්‍රිය ඔහු දැඩි කාර්යබහුලත්වය හමුවේ වුවද අප හා කතාබහට එක්වූවේය.


මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ ඔබ එහි හොඳම නළුවා ලෙස නිර්දේශ වුවත් සම්මානය අහිමිවීම ආන්දෝලනාත්මක කරුණක් බවට පත්වුණා. ඒ ගැන මොකද හිතෙන්නෙ?


ඔව්. මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ මගේ වසර 35ක රංගන ජීවිතේ සුවිශේෂී අවස්ථාවක්. එක් නාට්‍යක් පරාක්‍රම නිරිඇල්ලගේ ‘හැඩ වෙන බලු නද’ නාට්‍යය. එය ගුත්තිල මූසිල විසංවාදය ඇසුරෙන් නිර්මාණය වූවක්. මං මූසිලගෙ චරිතය නිරූපණය කළා. අනෙක් නිර්මාණය බුද්දික දමයන්තගේ ‘මට සිහිනයක් ඇත’ නාට්‍යය. ඒක මාටින් ලූතර් කිංගෙ ජීවිත කතාව ඇසුරෙන් කරන ලද නිර්මාණයක්. මාටින් ලූතර් කිංගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් මං එහි හොඳම නළුවා ලෙස නිර්දේශ වුණා. ප්‍රේක්ෂකාගාරයේ බහුතරයකගේ සම්මානය මට හිමිවුණත් විනිශ්චය මණ්ඩලයේ තීරණය වෙනතකට යොමු වුණා. ‘මට සිහිනයක් නැත’ කියලා කළු අකුරෙන් මං පහුවදා සමාජ මාධ්‍යයේ පළකළ පෝස්ටුවක් දැඩි ආන්දෝලනයකට ලක් වුණා. මොකක්ද ඒක කියලා හැමෝම අහන්න පටන්ගත්තා. ඒත් මං නිහඬව හිටියා. මම එහෙම සටහන් කළේ ඇයි කියන හේතුව අද මං පළමුවරට රසඳුනට කියනවා. ඇත්තටම මම එහෙම ලිව්වේ මට සම්මානය නොලැබුණ නිසා නොවෙයි. වසර 35ක් මං වේදිකාවේ නිරූපණය කරල තියෙන චරිත නිසා. ඒ අතරින් කීපයක් ගත්තොත් ඔතෙලෝ නාට්‍යයේ ‘ඔතෙලෝ’, හැම්ලට් නාට්‍යයේ ‘හැම්ලට්’,ලියර් රජ නාට්‍යයේ ‘ලියර් රජ’, ජුලියස් සීසර් නාට්‍යයේ ‘බෲටස්’, සුබ සහ යස නාට්‍යයේ ‘සුබ’, චේගුවේරා නාට්‍යයේ ‘චේ ගුවාර’ ලෙස වගේම ‘ඊඩිපස්’, ‘මූසිල’, ‘මාටින් ලූතර් කිං’ ආදී ලෙස නාට්‍ය 60ක විතර මං නිරූපණය කර ඇති චරිතත්, ඒවාට ලබා ඇති ජනප්‍රසාදයත්, වේදිකාවේ පරිචයත්, මේ වනවිටත් වේදිකාවේ මගේ සක්‍රිය දායකත්වයත් නිසා තමයි තවදුරටත් “මට සිහිනයක් නැත” වශයෙන් මං සඳහන් කළේ. ඒ සටහන මේ දක්වාම කතාබහට ලක්වීම සම්මානය ලැබුණාටත් වඩා හොඳයි කියල දැන් මට හිතෙනවා. දැඩි ඝනත්වයක් සහිතව මා නිරූපණය කළ චරිත ඇතුළත් නාට්‍ය ප්‍රේක්ෂකයන් අතරට නොගිහින් වේදිකාවේ පිටුපසම වැළලී යෑම තමයි කනගාටුවට කරුණක් වෙන්නේ. මට සිහිනයක් නැතුවමත් නෙමෙයි. මගේ නාට්‍ය 7ක් ඇතුළත් වේදිකා නාට්‍ය උලෙළක් පවත්වන්න ඕනෙ කියන සිහිනය මට තියෙනවා. මේක ඒ සඳහා අනුග්‍රාහකයන් සොයමින් ඉන්න කාලයක් බවත් කියන්න කැමතියි.


මේ දිනවල ඔබ ටෙලි නිර්මාණ රැසක දකින්න ලැබෙනවා. ඒ ගැන කතා කළොත්?


ඇත්තෙන්ම කියන්න සතුටුයි මේ දිනවල රූපවාහිනී නාළිකා හැම එකකම වගේ මගේ නාට්‍යක් විකාශය වෙනවා. ඒ නිසා ටිකක් කාර්යබහුලයි. සිහිනෙක තනිවෙලා, බැද්ද අද්දර, ටැක්සිකාරයා, ඔෆිස්ලන්තේ, කෝඩුකාරී, මං ආදරෙයි, තප්පරකට්ටා වගේ එකිනෙකට වෙනස් චරිත ලක්ෂණ සහිත නාට්‍ය කීපයක්. මේ හැම චරිතයකටම සාධාරණයක් කරන්න මම උපරිම උත්සාහ දරනවා.


සිහිනෙක තනිවෙලා ටෙලි නිර්මාණයේ වීරෙ කියන්නෙ මේ දිනවල කතාබහට ලක්වන චරිතයක්. වීරෙ ගැන මොකද හිතෙන්නේ?


වීරෙ කියන්නෙ සමාජ අසාධාරණය නිසා රැකියාව අහිමි වුණත් තම පවුල රැකගන්න වෙර දරන, ජීවත්වෙන්න අවශ්‍ය මුදල් උපයන්න ගන්නා උත්සාහයේදී ජාවාරම්වලට හසුවෙලා මානසික පීඩා විඳින, ඒ මොන ප්‍රශ්න ආවත් තමන්ගේ බිරියට දරුවන්ට ආදරණීය ගෘහපතියෙක්. වීරෙ කියන්නෙ හරිම ආදරණීය හිත හොඳ චරිතයක් කිව්වොත් හරි.


ආදරණීය කුටුම්බය රැකගන්න වෙහෙසෙන වීරෙ වගේ චරිත අද සමාජයේ විරලයි. ඒ චරිතය ඔබට කොතරම් දුරට සමීපද කියල කිව්වොත්?


ඇත්තම කිවුවොත් වීරෙ කියන චරිතය මට කිසිසේත්ම සමීප නැති හාත්පසින්ම වෙනස් චරිතයක්. මම තාම සැමියෙක් විදිහටවත් පියෙක් විදිහටවත් අත්දැකීම් ලබල නැති වීම තමයි ලොකුම හේතුව. ඕනෙම චරිතයක් ලැබුණම ඒ ඒ චරිතයට අදාළව කම්පන තරංග හඬවන්න මම උත්සාහ කරනව. ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා වෙන්න ඇති වීරෙව මේ තරම්ම සමීප විදිහට ප්‍රේක්ෂකයන්ට දැනෙනවා ඇත්තේ.


නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියන් දෙදෙනකුට පියා වෙන්න ලැබීම මොන වගේ අත්දැකීමක්ද?


ඒක නම් ටිකක් අභියෝගයක් තමයි. මගේ දුවල දෙන්නා විදිහට ඉන්න ගීත්මා සහ අභිලාෂි වගේම බිරියට ඉන්න හිමාලිත් ඉතාම දක්ෂ රංගන ශිල්පිනියන්. ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව අපි අපේ අත්දැකීම් හුවමාරු කරගෙන හරි ලස්සනට තවමත් වැඩේ කරගෙන යනවා.


ක්ලචර්ස්වලින් ඇවිදින්න වුණු අත්දැකීම කොහොමද?


මම කලිනුත් ක්ලචර්ස්වලින් ඇවිදින චරිත කරල තිබුණා. ඒ නිසා ඒක මට ලොකු අභියෝගයක් වුණේ නැහැ. කිසිම ගැටලුවක් නැතුව මේ වැඩෙත් කරගෙන යනව.


වීරෙ කියන්නෙ නොදැනුවත්කමින් පිරමීඩ ජාවාරමක ගොදුරක් වෙන කෙනෙක්. මේ හරහා යම්කිසි පණිවිඩයක් සමාජගත කරන්න උත්සාහ කරනවද?


නාට්‍යයට සාපේක්ෂව පිරමීඩ වැනි ජාවාරමක් ගැන පණිවිඩයක් සමාජගත කරනවා තමයි. ඒත් මේ සමාජයේ තියන ජාවාරම් කලා නිර්මාණවලින් දැනුවත්කරල නම් නතර කරන්න බැරි වෙයි.


අනෙක් පසින් ඔබ ඉතාම ජනප්‍රිය බැද්ද අද්දර ටෙලියේ සරතා. ඒක වීරෙට හාත්පසින්ම වෙනස් අත්දැකීමක්?


ඔව්. බැද්ද අද්දර සරතා, වීරෙට වඩා ගොඩක් වෙනස්. මම මුලිනුත් කිව්ව විදිහට මං රංගනයෙන් දායක වන එකිනෙකට වෙනස් ටෙලි නිර්මාණ 8ක් විතර මේ දිනවල විකාශනය වෙනවා. ඒවා එකිනෙකට වෙනස් මනෝභාවයන් සහිත චරිත. මම මෙතෙක් ඉගෙනගත්ත රංග වින්‍යාස මේ චරිත ඔස්සේ අභ්‍යාස විදිහට කරල බලනවා. ප්‍රේක්ෂකයන් ඒවා ග්‍රහණය කරගන්නේ ඒ ඒ චරිතවල මනෝභාවයන්ට අනුගත වෙමින් මං ඒ චරිතවලට සාධාරණයක් කරන නිසා වෙන්න ඇති කියල මං හිතනවා.


මේ දිනවල හැම චැනල් එකකම දකින්නේ ඔබ. මේ කාලයේ ඔබට පුංචි තිරයේ වසන්තය උදාවෙලා නේද?


ඇත්තටම ඔව්. මගේ ටෙලිනාට්‍ය රංගන ජීවිතේ ගත්තොත් පළමු වරට ලංකාවේ විකාශනය වන හැම ටීවී චැනල් එකකම වගේ මම රඟපාන ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. දිනපතා නාට්‍ය 10ක් පමණ විකාශනය වෙනවා. ‘ගේට්ටුවා’ නාට්‍ය ගත්තොත් ගමක ජිවත්වන දේශපාලන බලාධිකාරියේ හයියෙන් ඉන්න පුද්ගලයෙක්. ‘බැද්ද අද්දර’ නාට්‍යයේ කැලේකට වෙලා ගමට සහ දරුපවුල කරා යාගන්න විදිහක් නැතුව දුක්විඳින තාත්තා කෙනෙක්ගේ චරිතයක්. ‘ටැක්සිකාරයා’ එකේ පාතාලයේ අතරමැදි පුද්ගල චරිතයක්. අවශ්‍යතාව තිබුණත් එයින් ගැලවෙන්න බැරුව නිරන්තරයෙන්ම මරණය අබිමුව සිටින මිනිසෙකුගේ චරිතයක් . ඒවගේම ‘අහංකාර ආදරේ’ ගරාජ් අයිතිකාරයෙක්. තමන් ළඟ වැඩකරන තරුණ කොල්ලො තුන් දෙනෙක් නිසා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන පුද්ගලයෙක්. ‘කෝඩුකාරි’ කියන්නේ ගමක ජීවත් වන ගරාජ් බාස් කෙනෙක්. තමන්ගේ සුරූපී දියණිය නිසා විශාල ගැටලු රාශියකට මැදිවන පුද්ගලයෙක්. ‘මං ආදරෙයි’ නාට්‍යයේ මැණික් ව්‍යාපාරිකයකුගේ රියැදුරෙක්. ඔහුත් තමන්ගේ දුව නගරයේ ඉහළම පාසලට දාගන්න මැණික් මුදලාලි කෙනෙක් විදිහට පෙනී ඉන්නවා. එතනදි මම එක පුද්ගලයෙක් වුණත් ඇතුළෙන් චරිත කීපයක් කරමින් තම වුවමනා ඉටුකරගන්න සිදු වෙනවා. ‘චංචල රේඛා’ නාට්‍යයේ තියෙන්නේ බොහෝ දැන උගත් වෙද මහතෙක්ගේ චරිතයක්. වෙදකම වගේම සටන් ශිල්ප, නිල ශාස්ත්‍ර ගැන දන්න, කේන්දර බලන්න දන්න තාත්තා කෙනෙක්. තවත් නිර්මාණ කීපයක්ම තියෙනවා. ඒ හැම එකක්ම යම් යම් වෙනස්කම් සහිත චරිත. ඉදිරියටත් අපූරු නිර්මාණ කීපයක් විකාශනය වීමට නියමිතයි. මේ දිනවල අලුත් නිර්මාණ කීපයකත් රූගත කිරීම් සිදු වෙනවා. හොඳ නිර්මාණ තව තවත් බිහිවෙන හෙට දවසක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.


මේ කාලවකවානුවේ ඔබේ නිරූපණයන්ට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරනවානම්?


මේ දිනවල විකාශය වන චරිත දිහා බලද්දි අන්ත කීපයක් නියෝජනය වනවා. හැම චරිතයකටම වගේ ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය ගොඩක් සතුටුදායකයි.


ඒ අතර අමතක නොවන තැනුත් ඇති?


එහෙම අමතක නොවෙන ප්‍රතිචාර කියලනම් විශේෂයක් නෑ. හැම එකක්ම සාපේක්ෂව විඳ ගන්නවා.


විවිධ රංගන අත්දැකීම්වලට මුහුණදෙද්දි අභියෝගාත්මක අවස්ථාත් තියෙන්න ඇති?


සිහිනෙක තනිවෙලා නාට්‍යය ගත්තොත් මුලින්ම මට මහපාරෙ ලොකු බස් එකක් එළවගෙන යන්නයි තියෙන්නේ. වාහන පැදෙවුවට මේ වගේ බස් පදවලා නැහැනේ. ඒක නම් ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම බැද්ද අද්දර ටෙලි නිර්මාණයේ වැවක ගිලිලා හුස්ම නොගෙන ටික වෙලාවක් වතුර යට ඉන්න තිබුණා. ඒ වගේ යටගිය වෙලාවක වතුර ඇතුළෙ ගල් දෙබොක්කාවක අත හිරවෙලා උඩට එන්න බැරුව තව පොඩ්ඩෙන් බැද්ද අද්දර සරතා ඇත්තටම මැරෙනවා.


සිනමාවේ දායකත්වය ගැන කතා කළොත්?


‘එදා රෑ’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වුණා. ඒවගේම පරාක්‍රම නිරිඇල්ලගේ නවතම සිනමා නිර්මාණයටත් ආරාධනා ලැබිල තියෙනවා. ඊට අමතරව දේවින්ද කෝන්ගහගේ ගේ ” නීර පුත්ත නෙරුප්පු’ දෙමල චිත්‍රපටයෙත් වැඩ අවසන් කළා. මේ වසර අවසානයේ එයත් තිරගත වේවි. ‘ගිරිවැසිපුර’ තිරගතවීමට නියමිතයි.


ඔබ තවමත් වේදිකාවේත් නිතර දකින චරිතයක්?


වේදිකාව ගැන කතා කළොත් පරාක්‍රම නිරිඇල්ලගේ ‘හැඩවෙන බලු නද’ නාට්‍යය වගේම බුද්දික දමයන්තගේ ‘මාටින් ලූතර් කිං’ නාට්‍යත් රංගගත වෙනවා. මාටින් ලූතර් කිං චරිතය වෙනුවෙන් මේ වර හොඳම නළුවාටත් නිර්දේශ වුණා. ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘සුබ සහ යස’ වගේම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් නාට්‍යයක් වන “රාස්ස සහ පරාස්ස’, අසංග පෙරේරාගේ ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ නාට්‍යයත් වේදිකාගත වෙනවා.


පුංචි තිරයේ චරිතාංග නළුවෙක් විදිහට දස්කම්පාන ඔබේ පෞද්ගලික තොරතුරු දැනගන්නත් ප්‍රේක්ෂකයන් කැමැති වේවි?


සාමාන්‍ය ජීවිතේ නම් විශේෂ දෙයක් නැහැ. ගොඩක්දුරට ෂූටින්වල ඉන්නේ. නැති දවසට ගෙදරට වෙලා අම්මත් එක්ක කාලය ගත කරනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post