සුදු වැඩියි කියලා මට ගැමි චරිත ලැබෙන්නෙ නෑ -මිනුෂි හිමංසා

gossiplanka image 1
 

ලාංකේය ටෙලි නාට්‍ය කලාවට එක්වන ළමා ශිල්පීන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩිවෙමින් පවතියි. ළමා නාට්‍යවලට ඇත්තේ ද ඉහළ ඉල්ලුමකි. මේ දිනවල ඉතාම ජනප්‍රිය අකුරට යන වෙලාවේ ටෙලි නිර්මාණයේ රුවනිගේ චරිතය බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ චරිතයකි. රුවිනි ලෙස ඔබ අතරට එන ළමා රංගන ශිල්පිනිය මිනුෂි හිමංසාය. ඇය ඉදිරියේදී විකාශය වන “බැද්දේගම” ටෙලි නාට්‍යයේ “හින්නිහාමි” නමැති ප්‍රධාන චරිතයෙන් ද ඔබ හමුවන්නීය. ඔබට ආගන්තුක නොවන ඇය අද අපේ කතාබහට එක්වූවාය.


මිනුෂි මේ දවස්වල මොකද කරන්නේ ?


“අකුරට යන වෙලාවේ” සහ “බැද්දේගම” ටෙලි නාට්‍යවල රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා.


පෞද්ගලික විස්තර ටිකකුත් දැන ගන්න අපි කැමැතියි?


මගෙ නම මිනුෂි හිමංසා. මං පදිංචි වෙලා ඉන්නේ කොරතොට. අතුරුගිරිය මහාමාත්‍ය ජාතික පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. අපේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි මමයි. අම්මා තමයි මාව ෂූටිං එක්ක යන්නේ. මගේ මල්ලිත් රඟපාන නිසා අපි දෙන්නටම සමහර දවස්වලට ෂූටිං වැටෙනවා. එහෙම වෙලාවට අම්මා මල්ලිව එක්කගෙන යනවා. මාව එක්ක යන්නේ ආච්චි අම්මා හරි අම්මගේ යාළුවෙක් හරි තමයි.


කොහොමද මිනුෂි කලාවට සම්බන්ධ වෙන්නේ ?


මම මුලින්ම සම්බන්ධ වුණේ සහන් රංවල සර්ගේ රංවල බළකායට. ඒ හරහා මට රංගනයට දොරටු විවර වුණා.


මුලින්ම සම්බන්ධ වුණු ටෙලි නිර්මාණය මතකද ?


ඔව්. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු “සත් වර්ෂා” ටෙලි නාට්‍යයේ තමයි මුලින්ම රඟපෑවේ.


කලා කටයුතුවලට පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?


පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරුවරුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ගුරුවරු මට නිතරම කියන්නේ කලා කටයුතු කරන ගමන් අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙන්න කියලා.


කැමැතිම විෂයය මොකක්ද ?


හැම විෂයටම වගේ කැමැතියි. ඒත් වැඩිපුරම කැමැති ගණිතය විෂයයට.


විනෝදාංශ විදිහට මොනවද කරන්නේ ?


විනෝදාංශ විදිහට නර්තනය හදාරනවා. ඒ වගේම විනෝද චාරිකා යන්නත් ගොඩක්


කැමැතියි.


මේ වෙද්දි රංගනයෙන් දායකවෙලා තියෙන නාට්‍ය නිර්මාණ ගැන කතා කරනවා නම්?


“සත් වර්ෂා, සිහිනයකි මේ ආදරේ, See you, සැලෙනා නුවන්, අකුරට යන වෙලාවේ බැද්දේගම” ටෙලි නාට්‍ය වගේම තවත් ටෙලි නාට්‍ය කීපයක පොඩි පොඩි චරිත කීපයක් කළා. හොළු තාත්‍තා, පිට කවර, නොලද පෙමක්, ගුරු තරුව, තරණි වගේ ටෙලි සිනමා සිත්තම් 15ක විතරත් රඟපාලා තියෙනවා.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැනත් කියමු?


ලක්ෂ්මන් පුෂ්පකුමාර සර් අධ්‍යක්ෂණය කරන “මීදුම් තරණය” සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයකට සම්බන්ධ වෙනවා. වෙළෙඳ දැන්වීම් කීපයකුත් එන්න නියමිතයි. තවත් වැඩක් ළඟදීම පටන් ගන්නවා.


ප්‍රේක්ෂකයා අතර ඔයා ජනප්‍රිය වුණේ මොන චරිතයෙන්ද?


“අකුරට යන වෙලාවේ” නාට්‍යයේ රුවනිගේ චරිතයෙන් තමයි ගොඩක්ම ජනප්‍රිය වුණේ. කටුස්සි කියලා තමයි දැන් මට හැමෝම කියන්නේ.


වෙළෙඳ දැන්වීම් ගැන කතා කළොත?


දැනට වෙළෙඳ දැන්වීම් 30ක් විතර කරලා තියෙනවා.


රූගත කිරීම්වලදී මුහුණ දුන්න අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති?


“මීදුම් තරණය” චිත්‍රපටයේ හොල්මනක් වෙන සීන් එක මට හරි අමුතු අත්දැකීමක් වුණා. “අකුරට යන වෙලාවේ” ටෙලි නාට්‍යයේ පිරිමි ළමයි එක්ක ගහගත්ත එකත් අමතක වෙන්නෙ නෑ. ඇත්තටම අපිට රිදෙන්න ගහන්න වුණා.


කරන්න ආස විදිහේ චරිත තියෙනවදෙ?


මම ගොඩක් ආසයි හොල්මන් චරිත කරන්න. ඒ වගේම ගැමි චරිතවලට. මම සුදු වැඩියි කියලා මට ගැමි චරිත ලැබෙන්නෙ නෑ.


අනාගත බලාපොරොත්තු මොනවද?


හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරන ගමන් විනෝදාංශයක් විදිහට කලා කටයුතුවල යෙදෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අධ්‍යාපනයයි කලාවයි සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post