මේ දිනවල ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන දොරකඩ දෙවොල ටෙලි නිර්මාණයේ ජීවනීගේ භූමිකාවට පණ පොවනු ලබන්නේ පමුදි අපෝන්සුය. නිවේදිකාවක්, ගායිකාවක් ලෙස මෙතෙක් ප්‍රේක්ෂකයන් හඳුනාගෙන සිටි ඇය රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂකයන් අතරට යන්නේ දොරකඩ දෙවොල ඔස්සේය. අධ්‍යක්ෂිකාවක්, තිර පිටපත් රචිකාවියක් මෙන්ම ව්‍යාපාරිකාවක්ද වන ඇය විවේකයක් ලද නිමේෂයේ අප හා කතාබහට එක්වූවාය.
ඔබ රංගන ශිල්පිනියක් විදිහට කතාබහට ලක්වන්නේ ජීවනීගේ චරිතයෙන්. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?
ඒක අහඹු සිදුවීමක්. 2025 ජාතික යෞවන නාට්‍ය උලෙළේ සම්මාන නවයක් දිනූ The Guest කියන මගේ නාට්‍ය ගැන කතා කරන්න ජාතික රූපවාහිනියෙන් මට ආරාධනාවක් ලැබෙනවා. ඒ සිදුවීමත් එක්ක තමයි අධ්‍යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහගෙන් ජීවනීගේ චරිතයට මට ආරාධනා ලැබෙන්නේ.
ඉතාම ජනප්‍රිය වුණු ඉරගිනි මද්දහන අධ්‍යක්ෂගෙන් ලැබුණු ආරාධනය මං හරිම කැමැත්තෙන් භාරගත්තා. පළමුවැනි සීන් එක දැක්ක ගමන් ඉතාම ඉහළ ප්‍රතිචාරයක් දක්වමින් ඔහු මට කිව්වේ දන්නව නම් මං ඔයාට සෙකන්ඩ් රෝල් එකක් දෙන්නෙ නෑ කියලා. මුලින්ම මං රංගනය ගැන හදාරන්නේ සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් ආයතනයෙන්. ඒකත් ජීවිතය වෙනස් කරපු තැනක්. ඒ ලබපු පන්නරයත් එක්ක තමයි මේ තරම් දුර ගමනක් එන්න පුළුවන් වුණේ. දැනටත් මං රංගනය හදාරනවා. දොරකඩ දෙවොල හරහා එය අත්හදා බලන්න අවස්ථාව ලැබුණා. සීමිත දර්ශන ගණනකට විතරක් පෙනී හිටිය වුණත් ඒ තුළ මට ලොකු දෙයක් කරන්න තිබුණා. මුළු කණ්ඩායමේම සහයෝගය ලැබුණා. මේක මට දැනුණෙම චිකිස්සාවක් එහෙම නැත්නම් තෙරපි එකක් වගේ. මාව වෙනමම තැනකට ඔසවා තබපු අවස්ථාවක්. දොරකඩ දෙවොල කියන්නෙ මට තවත් එක් නාට්‍යයක් විතරක් නෙවෙයි. ඒක වෙනමම වැඩක්. ඒ නිසාම වෙන්න ඇති මිනිස්සුත් ඒක හරිම ආදරෙන් වැලඳ ගත්තේ.
ඒ කියන්නේ දොරකඩ දෙවොල ඔබේ ජීවිතේ කණපිට පෙරළපු නිර්මාණයක්?
ඇත්තටම ඔව්. මීට කලින් මං දීර්ඝව දිවෙන නාට්‍යවලට සම්බන්ධවෙලා තිබුණත් දොරකඩ දෙවොල තමයි ගොඩක්ම ජනතාව අතරට ගියේ. ජීවනී ජීවිතය නැතිකර ගන්න යන අවස්ථා මට පුදුම විදිහට දැනුණා. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. එක අවස්ථාවක ලොකු ගලක් උඩ ඉඳන් වැවකට පනින්න තියෙනවා. ඇත්තටම මං පීනන්න දන්නෑ. ජීවිත අවදානම ගැනවත් නොහිතා නිර්මාණයට තිබුණු ආදරය, කැමැත්ත වැඩි වුණා. දොරකඩ දෙවොල කියන්නෙ මගෙ රංගන ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක්. රංගනයට අමතරව මං නිවේදිකාවක්, ගායිකාවක්, අධ්‍යක්ෂිකාවක්, තිරපිටපත් රචිකාවියක් වගේම ව්‍යාපාරිකාවක් විදිහටත් කටයුතු කරනවා. මේ සියල්ල අතරේ තමයි මං රංගනයේ යෙදෙන්නේ. මං යන්න ඕන පාර මෙන්න මේක කියල හරියටම වටහල දීලා මාව රංගනය කෙරෙහි ෆෝකස් කළේ දොරකඩ දෙවොල. මේක මගේ පළමු වැනි රංගන අත්දැකීම නොවුණත් මට රංගනය ගැන හැඟීමක් ඇති කළේ මට මාව හොයල දුන්නේ දොරකඩ දෙවොල.
මීට කලින් ඔබ වේදිකාවේත් මහා පෙරළියක් කළා නේද?
ඒකම තමයි දොරකඩ දෙවොල දක්වා මාව අරන් එන්න හේතුව වුණෙත්. 2025 පැවැති 44 වැනි ජාතික යෞවන නාට්‍ය උලෙළේ හොඳම කෙටි නාට්‍ය බවට පත්වෙන The Guest මගේ නිර්මාණයක්. The Guest කියන්නේ ප්‍රේමය ගැන වෙනමම අර්ථ දැක්වීමක්. අපි එදිනෙදා මුහුණ දෙන ප්‍රස්තුතයක් තේමා කරගනිමින් එය ගැඹුරටම කතා කළා. චරිත හතරක් යොදා ගනිමින් විනාඩි තිහක කාලයක් විකාශය වුණු The Guest සම්මාන 9ක් දිනාගත්තා. ටීම් වර්ක් එකක් වුණත් සම්මාන 9න් 6ක්ම ලැබුණෙ මට. උපාධිය හදාරන්නෙත් සිනමාව පැත්තෙන් නිසා එය සිනමාරූපී හැඩයකට කළ අත්හදාබැලීමක් කිව්වත් හරි. ඒකට මට ගොඩක් ලකුණු ලැබුණා. අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිරපිටපත වගේම ප්‍රධාන නිළියත් මම. යෞවන නාට්‍ය සම්මාන උලෙළක කෙටි නාට්‍යක් සඳහා මෙතෙක් ඉතිහාසයේ ලැබූ වැඩිම සම්මාන ප්‍රමාණය දිනාගනිමින් එය වාර්තා අතරටත් එකතුවුණා. හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිරරචනය, හොඳම නිළිය, හොඳම ඇඳුම් නිර්මාණය සහ හොඳම රංග වින්‍යාසය කියන සම්මාන හයම ලැබුණෙ මට. ඊට අමතරව නිවේදනය පැත්තෙන් ගත්තොත් රයිගම් ටෙලීස් 2023 සහ 2024 වසර දෙක සඳහාම වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල) සම්මානය සඳහා නිර්දේශ වුණා.
බැද්ද අද්දර නදීකා කියන්නෙත් ඔබේ වෙනස් පැතිකඩක්?
ඔව්. අලි මහත්තයාට ආදරේ කරන මුදලාලිගෙ දුව. බුද්ධික ලොකුකැටියගේ අධ්‍යක්ෂණයක්. සමන්ත කුමාර ගමගේගේ තිර රචනයක්. ඒකත් මට වෙනස්ම අත්දැකීමක් වුණා. මායාවීත් විකාශය වෙනවා. හොඳම ටෙලි නිර්මාණ කිහිපයකින් එකවර ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීමත් ලොකු සතුටක්.
පමුදි කියන්නේ ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා තියෙන කෙනෙක්. ඒ බොහෝ දේවල් ඔබට ලැබෙන්නෙ පවුල් පරිසරයෙන් නේද?
ඔව්. ඒක ඇත්ත. මගේ තාත්තා දීපාල් අපෝන්සු. ඔහු ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්. කලාවේ මූලික උත්තේජනය ලැබෙන්නේ ඔහුගෙන්. අම්මා අනූෂා රණතුංග. අපේ ව්‍යාපාර කටයුතුවල මූලිකත්වය ගනිමින් මූල්‍යමය වශයෙන් අපිව සන්නද්ධ කරන්නේ ඇය. අපේ සියලු කටයුතු නිදහසේ කරගන්න හැකියාව ලැබෙන්නේ ඇය නිසා. මගේ නංගී ජීවත් වෙන්නේ අමෙරිකාවේ. ඒ වගේම සැමියා එෂාන් ජයවර්ධනගෙන් ලැබෙන සහයෝගයත් මිල කරන්න බැහැ. ඇක්ටින් කියන්නේ ඔහුගෙත් සිහිනයක්. දැඩි වගකීම් හමුවේ ඔහුගේ සිහිනය සැබෑ කරගන්න බැරි වුණත් මං හරහා ඔහු එය ඉටු කරගන්න උත්සාහ කරනවා.