‘ධර්ම යුද්ධය’ නිසා නැවත වතාවක් සතුටු වෙන්න අවස්ථාව ලැබුණා -ඩග්ලස් රණසිංහ

gossiplanka image 1
 

බොහෝ කාලයක් තිස්සේ සිනමා ශාලාවලින් දුරස් වූ ප්‍රේක්ෂක ජනයා වැල නොකැඩී දුව ගොස් දිගු පෝලිම්වලට එකතු වන අයුරු පසුගිය දිනවල අපට දැකගත හැකි වූයේ ‘ධර්ම යුද්ධය- 2’ චිත්‍රපටය නැරඹීමටය. දින දෙක තුන දිගු පෝලිම්වල රැඳී සිටින්නන් ‘අදවත් චිත්‍රපටය බලන්න ලැබෙයි දෝ…’ සිතමින් සිටියේද දෙගිඩියාවෙනි. ‘ධර්ම යුද්ධය’ පළමු කොටස සිනමා ශාලාවලින් බැලූ පිරිසට වඩා වැඩි පිරිසක් නරඹා තිබුණේද රූපවාහිනිය ඔස්සේ ය. පළමු කොටස නැරඹූ සියල්ලෝම දෙවැනි කොටසක් ගැන බලාපොරොත්තු තබාගත්තේ චිත්‍රපටය නිම වූවත් එහි අන්තර්ගත කතාවේ නිමාවක් නොවූ බැවින් හා පළමු කොටසේ අපූර්වත්වය නිසා ය.


‘ධර්ම යුද්ධය’ චිත්‍රපට ද්විත්වය ම භාෂා රැසකින් නිර්මාණය වූ අතර එක් චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපානු ලැබුවේ ලෝ ප්‍රකට සිනමා රංගවේදී කමලා හසන් ය. ඔහු ජාත්‍යන්තර සම්මාන ද හිමි කරගෙන ඇති සම්භාවනීය රූපණවේදියෙකි. ඔහුගේ විශ්මිත රංග ප්‍රතිභාව ද එම චිත්‍රපටයේ ජනප්‍රියත්වය තීව්‍ර කිරීමට ඉවහල් විය. කුමන භාෂාවකින් කුමන රටක නිර්මාණයක් වුව ද ‘ධර්ම යුද්ධය’ ශ්‍රී ලාංකික බවකින් යුක්ත වීම මෙරට ප්‍රේක්ෂක‍යන්ගේ ආකර්ෂණයට හේතු විය. චරිත නිරූපණයන්හි තිබූ ප්‍රබලත්වය එකී අනන්‍යතාව ගොඩනැඟීමෙහිලා ඉවහල් වී තිබිණි. එසේ ම සිද්ධි සහ දර්ශන මඟින්ද ශ්‍රී ලාංකික අනන්‍යතාව මොනවට මතු කිරීමට නිර්මාණකරුවෝ සමත් වූහ. එහි ප්‍රධාන චරිතයක් රූපණය කරන ප්‍රතිභාපූර්ණ රංගධර ඩග්ලස් රණසිංහයන් ද ප්‍රබල භූමිකාවකට පණ පොවන්නේය. ඔහු සිය අත්දැකීම මෙලෙස විස්තර කළේ ය.


“ඝාතනයට ලක්වුණු තරුණ පුතාගේ පියාගේ භූමිකාව තමයි මම නිරූපණය කරන්නේ. දැඩි කම්පනයක් සාමාන්‍යයෙන් ස්ත්‍රියක් සහ පුරුෂයෙක් දරා ගන්නා ආකාරයේ වෙනස්කම් තියෙනවා. මේ චිත්‍රපටයේත් ඒ බව හොඳින් ඉස්මතු කර තිබෙනවා. අම්මා හිතේ වේදනාව සමඟ සටන් කරන ආකාරය කාටත් පේනවා. ඇය යුක්තිය සාධාරණත්වය සොයනවා. පළි ගන්න හදනවා. ඒ සඳහා උපක්‍රම යොදනවා. අඬනවා. දුක් වෙනවා. කේන්ති ගන්නවා. ඒ සමාජයේ පොදු කාන්තාවගේ සාමාන්‍ය ස්වභාවය. ඒත් පියවරු විවිධ යි. සමහරු කෑකෝ ගහගෙන අඩදබර කරගෙන පළිගැනීම් පවා ඇති කර ගන්නවා. එසේ නොකර ඒවා සිතෙහි දරාගන්නා පියවරුත් මේ සමාජයේ ඉන්නවා. මේ පියාත් රණ්ඩු වෙන්න යන්නේ නැති, කලබල නැති බොහෝ දුර කල්පනා කරන කෙනෙක් බව තිර පිටපතේ ම තියෙනවා. ඔහු දුක් වේදනා සියල්ල හද තුළ දරාගෙන සිටියා. මේ චරිතය නිරූපණය කිරීමේදී අධ්‍යක්ෂවරයා මට සම්පූර්ණ නිදහස ලබා දුන්නා. මම ඒ ගැන අධ්‍යක්ෂවරයාට ස්තුතිවන්ත වෙනවා. පියාගේ චරිතයට ප්‍රවිෂ්ට වීමට පෙර පිටපත හොඳින් කියවා අධ්‍යයනය කරද්දී පිටපතෙන් පරිබාහිර ව මගේ සිතට දැනුණු එක දෙයක් තිබුණා. ඒ තමයි මේ පුතා‍ට මැරෙන්න තරම් පහරක් ගහන්න නම් පුතාගේ අතිනුත් ඒ ගැහැනු ළමයාට බරපතළ වරදක් සිදු වෙන්න ඇති කියන හැඟීම මගේ රූපණ විලාසයේ අභ්‍යන්තරයට මා මුසු කර ගත්තා. පුතාට දරුණු පහරක් එල්ල වුණේ මොන හේතුවක් නිසා මොන අවස්ථාවක ද කියන එක චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයන් දන්නවා වුණාට ඒ තාත්තා දන්නේ නැහැ. පුතාගේ මරණයට පුතාත් යම්කිසි හේතුවක් සපයගන්න ඇතැයි කියන සැකය තාත්තගෙ හිතේ ඇතිවෙනවා. ඒ හැඟීම මම චරිතයට ආරෝපණය වීමේදී හිතට ගත් දෙයක් මිස පිටපතේ හෝ අධ්‍යක්ෂවරයා කියූ දෙයක් නෙවෙයි. චිත්‍රපටය නැරඹූ ඇතැම් අය කිව්වේ මගේ චරිත රංගනයේදී සඟවා ගත් හැඟිම් සමුදායන් මුහුණේ ඉරියව්වලින් ඔවුන්ට හොඳටම දැනුණා කියලා. ‘ධර්ම යුද්ධය’ නිසා නැවත වතාවක් සතුටු වෙන්න අවස්ථාව ලැබුණා කියල හිතෙනවා. මෙහි පළමු කොටස නරඹා නැති කෙනෙක් දෙවැනි කොටස නැරඹුවා නම් ඒ අයට ඇති වුණු හැඟීම මොන වගේ ද කියලා දැන ගන්න මට ලොකු කැමැත්තක් තියෙනවා. තව ම නම් මට එහෙම කෙනෙක් හමු වුණේ නැහැ. ඉදිරියේදී හමු වුණොත් මට එයාලාගේ අදහස් කියයි කියලා මම බලාගෙන ඉන්නවා.”


ඩග්ලස් රණසිංහයන් මේ දිනවල පුංචි තිරයේද මෙගා නාට්‍ය කිහිපයකින් ද අපට හමු වෙයි. ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ අසනිගේ සීයා ද ඔහුය. එමෙන්ම මේ දිනවල ඔහු වෙළෙඳ දැන්වීම් කලාවේද නිතර දක්නට ලැබෙන චරිතයකි.


“සංගීතේ නාට්‍ය රූගත කරද්දී එකවර කොටස් කිහිපයකට අවශ්‍ය දර්ශන හා සිද්ධි රූගත කරනවා. ඊට පස්සේ අපට ටික දවසක විරාමයක් ලැබෙනවා. නැවත තව තැනක වැඩි කොටස් ප්‍රමාණයකට අදාළ ව රූගත කරනවා. වෘත්තීය රංගන ශිල්පියෙක් වුණා ම අපේ ආදායම් පැත්ත ගැනත් අපට කල්පනා කරන්න සිදු වෙනවා. පසුගිය දවස්වල වෙළෙඳ දැන්වීම් කිහිපයකත් පෙනී සිටියා. ඒ අතරින් කැලණි වයර් දැන්වීම් බොහොම ජනප්‍රිය වුණා. වෙ‍ළෙඳ දැන්වීමකදි වෙළෙඳ ආයතනයට අපේ ජනප්‍රියත්වයේ වාසියත් ලැබෙනවා. ඒ වගේ ම අපටත් ආර්ථික වශයෙන් ප්‍රගතියක් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපගේ ජනප්‍රියත්වය තව තවත් වැඩි වීමට සහ නව රසික පිරිසක් අප වෙත සමීප වීමටත් වෙළෙඳ දැන්වීම් ඉවහල් වෙනවා. ඉඳ හිට මට පෝය නාට්‍යවලත් රඟපාන්න ලැබෙනවා. ඒවා මම බොහොම කැමැත්තෙන් කරනවා.”


හුණුවටයේ කතාවෙන් වේදිකා නාට්‍ය රංගනයට පිවිසි ඩග්ලස් රණසිංහ එහි කෝප්‍රල්ගේ චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූයේ ය.


“හෙන්රි ජයසේනයන්ට මාව හඳුන්වා දුන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්. එතනදි හෙන්රි ජයසේනයන් මගේ හැකියාව පරික්ෂා කරලා බලලා කෝප්‍රල් චරිතය මට ලබා දුන්නා. ඒ නාට්‍ය රටපුරා ම වේදිකා ගත වුණා. යාපනයේ වේදිකාගත කළ මුල්ම සිංහල වේදිකා නාට්‍ය වුණෙත් ‘හුණුවටයේ කතාව’. ජීවිතයට අමතක නොවනම පැණි වරකා කෑවේ යාපනයේදී. ඒ තරම් රස පැණි වරකා මෙම ඊට පෙර කවදාවත් කාලා තිබුණෙ නැහැ.


ඊට පස්සේ හෙන්රි ජයසේනයන්ගේම ‘අපට පුතේ මඟක් නැතේ’, ‘ජනේලය’, ‘කුවේණි’, සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ ‘හොටබරි යුද්ධය’ සහ තවත් නාට්‍ය රැසක චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. දුන්ඩු බෙරේ, අහස් මාලිගා, ටේමින් ඔෆ් ද සෝරෝ, කුස පබාවතී වගේ වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා. වේදිකාවෙදි අපට සජීවීව එවෙලෙම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. එයින් සිතට පුදුමාකාර උත්තේජනයක් ඇති වෙනවා.”


ඩග්ලස් රණසිංහයන් මුලින් ම චිත්‍රපට රංගනයට පිවිසෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “අක්කර පහ” චිත්‍රපටය ඔස්සේය. ඔහු එහි රඟපෑවේ ‘සමරේ’ නමැති චරිතය යි. ඩී. ජී. එල්. පෙරේරාගේ “රෝමියෝ ජුලියට්‌” චිත්‍රපටයේ රෝමියෝ ලෙසින් කළ විශිෂ්ට සිනමා රංගනය උදෙසා ඉතා ඉහළ ප්‍රතිචාර ලැබිණි. මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙදෙනා ම සිය චිත්‍රපට චරිත සඳහා ඩග්ලස්ට ඇරයුම් කළේ ඔහු රඟපෑ වේදිකා නාට්‍ය නැරඹීමට පැමිණි අවස්ථාවල ඔහුගේ රංග කෞෂල්‍යයන් හඳුනා ගැනීම නිසා ය. ඩග්ලස් රණසිංහගේ විශිෂ්ට රංගනයන් දැකගත හැකි වූ සෙසු නිර්මාණ අතර යුගාන්තය, විරාගය, සාරංග, තණ ගිරවි, කැළෑ මල්, සිව් රඟසේනා, ආදර ගීතය, නිවන් දක්නා ජාති දක්නා, වත්සලා අක්කා, දූ දරුවෝ, කුලගෙය, යුවතිපති, ඉන්ද්‍රඛීලය, ඉරස්මා, අස්වැසුම, අම්මාවරුනේ, ආලෝකෝ උදපාදි, සිද්ධාර්ථ ගෞතම ආදි චිත්‍රපට රැසක් ද අකුරු මැකී නෑ, දේදුණු සිහින, ගඟ අද්දර, ඉන්ද්‍රඛීලය, ඉතින් ඊළඟට, පුණරාගමනය, රඟ සොබා, රන් පෝරුව, සමනල සිහිනය, සමනල වසන්තය, සඳ සිත්තම්, සපිරිවර, අවසඳ, මාතා මහලු වයසේ, රන්මසු උයන සහ කලු හංසයෝ ආදි ටෙලි නාට්‍ය බොහෝමයක් ද ඇත. ‘රන්මසු උයන’, ‘සසර චක්‍ර’ සහ ‘දිය යට ගිනි’ යන නාට්‍ය ත්‍රිත්වය ඩග්ලස් විසින් පිටපත් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ඒවාය.


“රංගනය පැත්තෙන් මගේ ජීවිතයේ මම ලද විශේෂ ම වරප්‍රසාදය හැටියට මම සලකන්නේ ජර්මන් ජාතික පෝල් සිල්ස් ලංකාවට පැමිණ අධ්‍යක්ෂණය කළ “භාවනා” කෙටි චිත්‍රප‍ටයේ මට රඟපාන්න ලැබුණු අවස්ථාව. එයින් බර්ලින් චිත්‍රපට උලෙළට ඇතුළත් වීමට 1970/1971 වසරවලදී මට හැකි වුණා. ඊට පස්සේ ලන්ඩන් චිත්‍රපට නිර්මාණ පාසලට ඇතුළත් වෙලා වසර තුනක පාඨමාලාවක් හැදෑරුවා. ‘ලන්ඩන් තියටර්’ එකේ නාට්‍ය හදාරමින් නාට්‍යවල රඟන්නත් මට වරම් ලැබුණා. ඒ අතරේ ‘මෝලි කොලේජ්’ එකෙන් ටෙලි නිර්මාණකරණය ගැන හදාරන්නත් අවස්ථාව ලැබුණා. ඒ අතරතුරදී “ඩාන්සින් ඩෙවිල්ස්” චිත්‍රපටයේ තිර පිටපතත් ලිව්වා. පීටර් පොටර් අධ්‍යක්ෂණය කළ ෂේක්ස්පියර්ගේ ‘ටේමිං ඔෆ් ද ෂ්රෑ’ නාට්‍යයක මට රඟපාන්නත් අවස්ථාව ලැබුණා. නාට්‍ය පාඨමාලාව අවසානයේ ඇන්ටන් චෙකෝව්ගේ ‘ද වෙඩින්’ නමින් කළ නාට්‍යයේ මමත් රඟපෑවා. මට ඒ රටේ ඉන්න සියලු වරප්‍රසාද හිමි වුණා. ඒත් ලංකාවේ නාට්‍ය පාසල හදන්න පෝල් සිල්ස්ට සහාය වීමේ යුතුකම ඉටු කරන්න මම ලංකාවට ආවා. මගේ අවාසනාවට මම ඉගෙනීම් අවසන් කරලා ලංකාවට එද්දි පෝල් සිල්ස් අසනීප වෙලා ජර්මනියට ගිහින් තිබුණා. ටික දිනකින් ඔහු මිය ගියා. ඔහු ලංකාවේ සිනමාවට අතිවිශාල සේවාවක් කළ කෙනෙක් බව අපට අමතක කරන්න බැහැ. අද වගේ සන්නිවේදනය දියුණු වෙලා තිබුණා නම් මං එදා ලංකාවට එන්නේ නැහැ. ඔහු ගැන මතකය අදටත් මට මහා දුකක් ගෙන දෙනවා.”


ඩග්ලස් රණසිංහගේ පුත් ශ්‍රී බෝධී ඉන්ද්‍රඛීල රණසිංහ ද තම පියා මෙන්ම රංගනයෙහි දස්කම් ඇත්තෙකි. ඔහු මේ දිනවල තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවේදය පිළිබඳ උපාධිය අවසන් කරමින් සිටියි. කුඩා කාලයේදීත්, තරුණ අවධියේදීත් නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක වූ ශ්‍රීබෝධීට රංගන තහනම වැටුණේ ද තම පියාගෙනි.


“මට ඕනේ වුණේ පුතා හොඳට ඉගෙන ගන්නවා දකින්න. එයා දැන් උපාධිය ලැබීමට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුවීම් කටයුතු නිම කරමින් ඉන්නවා. ඒක අවසන් වුණාට පස්සේ පුතා රඟපාන්න ගියාට මම විරුද්ධ නැහැ. එයාටත් පසුගිය කාලේ රඟපෑම සඳහා ආරාධනා ලැබුණා. උසස් අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ රංගනය ගැන හිතන්න පුළුවන් වෙයි කියලා මං ඔවුන්ට කිව්වා. පුතා පුංචි කාලේ දවසක් මගේ රූගත කිරීම් අවස්ථාවකට ගිහින් පැත්තකින් වාඩි වෙලා හිටියා. මගේ දර්ශනයක් රූගත කිරීම ආරම්භ වුණා. තවත් පොඩි පුතෙක් එක්කයි මට රංගනයේ යෙදෙන්න තිබුණේ. කැමරා, ඇක්ෂන් කිව්වා ම ‘හරි පුතේ, යමං පුතේ එහෙනං…’ කියලා රඟපාන්න හිටපු ළමයාට මම කිව්වා. මම මගේ දෙබස කියමින් රඟපාමින් ඇවිදගෙන ගියා. මගේ පිටුපසින් අර රඟපාන ළමයා ආවා. බැලින්නම් ඒ ළමයාත් එක්ක ම කොහෙදෝ පැත්තක වාඩිවෙලා හිටපු මගේ පුතත් ඇවිදගෙන එනවා. ඒ ඔක්කොම කැමරාවේ පටිගත වුණා. මට හොඳට ම හිනා යන්න ආවා. ඒත් මම පොඩ්ඩක්වත් හිනා වුණේ නැහැ. එතන හිටපු කවුරුත් ම හිනාවුණෙත් නැහැ. අන්තිමට ඒක රඟපෑමක් හැටියට ම පටිගත කරලා හැමෝම නිහඬ වුණා. පස්සේ කාලෙක ඔය සිද්ධිය මම පුතාට කිව්වා ම අපට වඩා හයියෙන් පුතා හිනා වුණා. ඉදිරියේදී පුතාත් නිර්මාණවලට සම්බන්ධ වේවි.”

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post