ගොඩක්ම ජනප්‍රිය වුණේ කිරි බර්ටිගේ චරිතයෙන් -සහසැස් පෙරේරා

gossiplanka image 1
 

අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයෙන් සහ “නෙළුනි” ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයා හමුවට යන තවත් ළමා රංගන ශිල්පියකු ගැනයි අද මේ කතාබහ. අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ කිරි බර්ටි ඔබට මතකද ? කිරි බර්ටිට පණ පොවන ඔහු අද අප හා කතාබහට එක්වුණේ මෙලෙසිනි.


ඔයා කවුද? ඉන්නෙ කොහේද? කියලා දැනගන්න ඔයාට ආදරය කරන ප්‍රේක්ෂකයන් ගොඩක් කැමති ඇති?


මගේ නම සහසැස් පෙරේරා. වයස අවුරුදු 14යි. මම ඉගෙන ගන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ නවය ශ්‍රේණීයේ. මම ඉන්නේ පොල්ගස්ඕවිට. පවුලේ ඉන්නේ මමයි, මල්ලියි, අම්මයි, මාමායි, ආච්චියි, සීයයි.


සහසැස් මේ දවස්වල මොකද කරන්නේ ?


පාසල් අධ්‍යාපන කටයුතු කරන ගමන් “අකුරට යන වෙලාවේ” ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒකත් එක්ක තමයි මේ දවස්වල කාර්යබහුල.


මුලින්ම සම්බන්ධ වුණු නිර්මාණය මතකද ?


ඔව්, මම මුලින්ම සම්බන්ධ වුණේ අකුරට යන වෙලාවේ ටෙලි නිර්මාණයට. හිරු ටීවී එකේ ඔඩිෂන් එකකට මම සම්බන්ධ වුණා. එතනදී තමයි අධ්‍යක්ෂක කසුන් තරින්ද මාමා “අකුරට යන වෙලාවේ” ටෙලි නාට්‍යයට මාව තෝරගත්තේ. ඊට පස්සෙ මම ස්වර්ණවාහිනියේ විකාශය වන “නෙළුනි” ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. මගේ මුල්ම රංගන අත්දැකීම් ලබන්නේ මේ ටෙලි නාට්‍ය දෙකත් එක්ක.


කලා කටයුතුවලට පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?


පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය වගේම පාසලේ ශිෂ්‍ය නායක අයියලා, යාළුවෝ හැමෝම මට මේ වැඩවලට සහයෝගය දෙනවා වගේම ආශිර්වාද කරනවා.


එතකොට ඔයාව රූගත කිරීම්වලට එක්ක යන්නේ කවුද ?


සීයා හරි ආච්චි එක්ක හරි තමයි ගොඩක් වෙලාවට යන්නේ. අම්මත් එක්ක යන වෙලාවලුත් තියෙනවා.


මේ වෙද්දි කරලා තියෙන නිර්මාණ මොනවද ?


හිරු ටීවි එකේ ටෙලි සිනමා සිත්තම්වල “ජීවිතේ කවිය” කතාවේ ප්‍රධාන චරිතයක්, “අකුරට යන වෙලාවේ” නාට්‍යයේ කිරි බර්ටිගේ චරිතයත්, “නෙළුනි” ටෙලි නාට්‍යයේ සුපුන්ගේ චරිතයත් සියත ටීවී, චරණ ටීවී නාළිකාවල පෝය ටෙලි නාට්‍යය වලටත් දායක වෙලා තියෙනවා.


ටෙලි නාට්‍යවලට අමතරව තව මොනවද සහසැස් ඔයා කරලා තියෙන්නේ ?


ජනප්‍රිය වෙළෙඳ සන්නාම ඇතුළත් වෙළෙඳ දැන්වීම් රැසකට‍ සම්බන්ධ වෙලා තියෙනවා.


ප්‍රේක්ෂකයා ඔයාව හොඳින්ම හඳුනාගත්තේ කුමන චරිතයෙන්ද ?


“අකුරට යන වෙලාවේ” ටෙලි නාට්‍යයේ “කිරි බර්ටි” ගේ චරිතය නිසා තමයි ගොඩක් මාව ජනප්‍රිය වුණේ.


ඉස්සරහට එන්න තියෙන නිර්මාණ තියෙනවද ?


අලුත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. පාසල් වැඩවලට බාධාවක් නොවී රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න පහසුවක් තියෙනවා නම් මම ඒ ටෙලි නාට්‍යය රඟපාන්න භාර ගන්නවා.


ඔයා රඟපාන්න කැමති විදියේ විශේෂ චරිත එහෙම තියෙනවද ?


ඔව්. මම ආසයි මිනිස්සු හිනස්සන්න පුළුවන් විදිහේ විකට චරිතයක් කරන්න.


රූගත කිරීම්වලදී මුහුණ දෙන්න වුණු අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?


නෙළුනි ටෙලි නාට්‍යයේ සීන් එකක් තිබුණා පාසල් යුනිෆෝම් එක ඇඳගෙන මඩ වගුරකට පනින්න තියෙන. එදා මම හොඳටම මඩ නෑවා. ඒ නාට්‍යයේම තව එකක් තිබුණා වැල්වල එල්ලිලා ගිහින් ඇළකට පනින්න. ඒකට මම ගොඩක් බය වුණා. ඔය සිද්ධි දෙක නම් මට අමතක වෙන්නේ නෑ.


සහසැස්ගේ අනාගත බලාපොරොත්තු මොනවද ?


ලංකාවේ ජනප්‍රියම නළුවෙක් වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වෙන්නත් ආසයි. මම වැඩිපුරම කැමති සංගීතයට. විනෝදාශයක් විදිහට මම කරන්නේ ගිටාර් වාදනය කරමින් සින්දු කියන එක. සංගීතය වැඩිදුරට හදාරන එකත් මගේ බලාපොරොත්තුවක්.


ඔබට උදවු කරපු වි‍ශේෂිත අය ඇති ?


ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක කසුන් තරින්ද මාමා, කැමරා අධ්‍යක්ෂක සුනෙත් ධම්මික, සහය අධ්‍යක්ෂක ඉත්තෑපාන මාමලා වගේම අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍ය කණ්ඩායමත්, අධ්‍යක්ෂක චාගී වගීෂ මාමා, මහේෂ් කරුණාරත්න, සුගත් දේවප්‍රිය මාමලා සහ ෂර්මිලා දිල්හානි නැන්දාත් ආදරෙන් මතක් කරන්න ඕන.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post