වෙනස් වූ චරිත ගණනාවක් තුළින් ප්‍රේක්ෂක රසික හිත් තුළ ලැගුම් ගත් සම්මානිත රංගන ශිල්පියෙක් සමඟයි අද කතාබහ. ඔහු නමින් රන්දික ගුණතිලක යි.
පුංචි තිරයේ ආදරේ ලබන රන්දික යළිත් රිදී තිරයෙන් ප්‍රේක්ෂක ඔබට දැකගන්නට ලැබෙනවා. ඒ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ රිවස්ටන් තුළින්.
රිවස්ටන් චිත්‍රපටයට ආරාධනාව එන්නේ කොයි කාලෙද?
මට මතක විදියට 2017දී වගේ. ඒ කියන්නේ මම විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව කාලයක් හිටියා. ඒ මොහොතේ වේදිකාවේ කරපු චරිත එක්ක මට පෙර පරම්පරාවේ ජ්‍යෙෂ්ඨයින් කිව්වේ හොඳ වැඩක් එනකම් ඉන්න කියලා. හැබැයි උපාධියක් අරන් ආව කොල්ලෙක් ගෙදර ඉන්නකොට අහනවානේ, දැන් මොකද කරන්නේ කියලා. මගේ වටා නැන්දලා සෙට් එකකුත් හිටියානේ, එයාල වුණත් අහන්න ගත්තා දැන් විශ්ව විද්‍යාලයටත් ගියා උපාධියකුත් ගත්තා ඊළඟට මොකද කරන්නේ කියලා. ඒ නිසාම මට ගෙදරට වෙලා ඉන්න බැරි තැන වැඩකට ගිහින් පෝලිමේ ඉන්නකොට ලලිත් අයියා මගෙන් ඇහුවා, මොකද මෙතන කරන්නේ කියලා. එතකොට මම කිව්වා සල්ලි වගයක් ඕනේ නිසා පොඩ්ඩක් ආවා වැඩ කරන්න කියලා.
එදා ලලිත් අයියා කිව්වා ‘වරෙන් ඇතුළට ගිහින් තේ එකක් බොමු‘ කියලා. මම ඒ වෙද්දීත් පාංශු, යූ ටර්න්, වෙඩි නොවදින ළමයි, සිහින සමීකරණ වගේ චිත්‍රපටවල රඟපාලා තිබුණා. මගේ වේදිකා රංගනය සම්බන්ධයෙනුත් ලලිත් අයියාට අවබෝධයක් තිබුණා. මම උඹේ ෆිල්ම් ටිකත් බැලුවා. පොඩි චරිත වුණත් උඹ ඒ කරපු ටික ප්‍රමාණවත්. උඹ මේ වගේ තැන්වල ඉන්න ඕනේ නැහැ. මම යෝජනාවක් කරන්නම්, මම ෆිල්ම් එකක් කරන්න ඉන්නවා.
කවදා කරයිද කියන්න බැහැ කොල්ලෝ. හැබැයි කරනවා මේක. මම කැමතියි ඒකේ ප්‍රධාන චරිතයක් විදියට තෝරා ගන්න. උඹව මම එහෙම දකින්න කැමති. ඒ චිත්‍රපටයේ ඉන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද කුමාරඋන්නැහේ වගේ අය. ඒක එනකම් පොඩ්ඩක් ඉවසන් ඉඳහන්. දැන් මම කීයක් හරි දෙන්නම්. උඹ ගෙදර පලයන්, ආයේ එන්න එපා මේ පැත්ත පළාතේ කියලා ලලිත් අයියා වගේ කෙනෙක් එහෙම කිව්වම, ඒ දුන්නු බලාපොරොත්තුව එක්ක මම ජීවත් වුණා. 2023දී තමයි ඒ කිව්ව චිත්‍රපටය නිර්මාණය වුණේ. ඒ අතර කාලය තුළ මම මගේ දේවල් කරගෙන ජිවත් වුණා.
ඉවසන එක නළුවෙක්ට කොයි තරම් වැදගත්ද?
මගේ අදහස ඕනෙම ක්ෂේත්‍රයක හරිම වෙලාව එනකම් ඉවසන එක තමයි වැඩේ. හැබැයි නිකම් නෙවෙයි ලෑස්ති වෙලා ඉවසන් ඉන්න ඕනේ.
ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද කුමාරඋන්නැහේ වගේ අය එක්ක ගත වුණු කාලය කොහොමද?
මම හිතන්නේ මේ මොහොතේ වාසනාවන්තම නළුවා මම කියලා. ලලිත් රත්නායක කියන අධ්‍යක්ෂවරයා එක්ක ඔය කියන දක්ෂයින් එක්ක, ඒ වැඩ කරපු කට්ටිය එක්ක මට වැඩ කරන්න ලැබෙනවා කියන එකම මට ලැබුණු වාසනාවක්. දක්ෂකම තියෙනවා නමුත් ඒ අවස්ථාව ලැබීම මම දකින්නේ වාසනාව විදියට.
ලලිත් රත්නායක කියන අධ්‍යක්ෂවරයා සතු ඔහුටම ආවේනික ලක්ෂණ මොනවද?
ලලිත් අයියා ලියන විදිහක් තියෙනවා. ඔහු බොහෝ වෙලාවට අදාල ලොකේෂන් එකට ගිහින් එහි තියෙන සුන්දරත්වය විඳලා ලොකේෂන් එක අනුව පිටපත ලියන කෙනෙක්. අධ්‍යක්ෂවරයා කියන භූමිකාව ගත්තත් හරිම වෙනස්. හිමින් කතා කරන්නේ. හිතන්න ඕනේ දේවල් පවා කියනවා. ඒ නිසා ලලිත් අයියා එක්ක වැඩ කිරීම වෙනස්ම අත්දැකීමක්.
ජිවිතේ වෙනස් වෙන්න කලාව බලපෑවද?
අනිවාර්යෙන්ම රංගනය මම විෂයක් විදියට හදාරන්න ගත්තට පස්සේ, ඒක ගැන හොයන්න ගත්තට පස්සේ, රංගනය කියන දේ මගේ ජීවිතේම කොටසක් වුණාට පස්සේ මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා.
රන්දික කියන කෙනා නළුවෙක් කියලා ගෙදර අය භාර ගත්තේ කොයි කාලෙද?
මගේ නම් අදහස තාමත් මාව ගෙදර අය නළුවෙක් කියලා භාර ගෙන නැහැ කියන එක. මගේ අම්මාට තාමත් මාව චූටි පුතාම තමයි. මම හිතන්නේ එයාලා මම යන ගමන දිහා බලාගෙන ඉන්නවා මිසක් මම දැන් නළුවෙක් කියලා හිතන තැන නැහැ කියලා. මම කරන කියන දේ ගැන සතුටු වෙනවා ඇති. මම වැටෙන තැන්වලදී මට උදවු කරනවා. එයාලට මම උදවු කරනවා. අපි ෆැමිලි එකක් විදියට ජීවත් වෙනවා.
රන්දික ගුණතිලක කියන නළුවාට ඉන්න ‘ෆෑන් බේස්‘ එක හදාගන්න උත්සාහ කරනවද?
මම ෆෑන් බේස් එක හදාගන්න උත්සාහ කරන්නේ නැහැ. මට ආදරේ කරන අයට මම ආදරේ කරනවා. මට කතා කරන අයට මම කතා කරනවා. හැබැයි සමාජ මාධ්‍ය ඇතුළේ රංගන ශිල්පියකුට ඉඩක් තියෙන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා. මොකද ඒක උපකාර වෙනවා අපි කරන වැඩේ එළියට ගෙනියන්න. ඒ නිසා ඒ සම්බන්ධව අපි දැනගෙන ඉන්න එක සහ ඒවා එක්ක යන එක වැදගත් වෙනවා මේ මොහොතේ.
රන්දික වැඩියෙන්ම විශ්වාස කරන්නේ කාවද?
මම විශ්වාස කරන්නේ මාවම. මොකද වෙලාවකට,දෙවියොත් අපි, යක්කුත් අපිම තමයි. අපිම තමයි දැනගන්න ඕනේ තැනේ හැටියට අපි කාවද එළියට දාන්නේ කියන එක.
පිටපතක් ලැබුණාම ඒක කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කොහොමද?
අපිට ස්ක්‍රිප්ට් එකක් හරි මොකක් හරි ලැබුණට පස්සේ අපේ හදවතට දැනෙනවානේ. හදවතට දැනෙන එකෙන් මොළයට සිග්නල් එක යනවා මේක කරොත් මෙහෙම වෙයි කියන එකට. හදවතට හරියට දැනුණේ නැත්නම් බැහැ කියන්න. ඒ බැහැ කියන්න ශක්තියක් තියෙන්න ඕනේ. නැත්නම් අපිට පසුතැවීමක් තමයි හම්බ වෙන්නේ.
එහෙම බැහැ කියපු වැඩ තියෙනවද?
සෑහෙන්න තියෙනවා. ඒ කියන්නේ මම දැන් මාස හයක් මගේ ගෙදරට වෙලා හිටියා. මගේ ගෙදර ටෙලි නාට්‍ය ස්ක්‍රිප්ට් තියෙනවා 23ක්. චිත්‍රපට ස්ක්‍රිප්ට් තියෙනවා 4ක්. බැහැ කියලා තියෙන්නේ බය නැතුව.
මේ කතා බහ අවසානයට රිවස්ටන් ගැන ප්‍රේක්ෂකයන්ට කියන්න දෙයක් ඇති ?
අවුරුදු 30 -40ක විතර ඉඳන් ලංකාවේ දේශපාලනය විසින් ඒ අයගේ වැඩ පහසු කර ගන්න රට ඇතුළෙ පාතාලයක් හදනවා. ඊට පස්සේ එක ඇතුළෙම හදනවා රාජ්‍ය යන්ත්‍රණය යටතේ වැඩ කරන ආරක්ෂක කොට්ඨාසයක්. අර අය තමයි වැඩේ කරන්නේ. හැබැයි ගැටුම තියෙන්නේ මේ දෙගොල්ලෝ අතර. ඒ සම්බන්ධව වෙනම කතාවක් තමයි රිවස්ටන් සිනමා නිර්මාණය හරහා කතා වෙන්නේ. මේ වෙද්දී ජාත්‍යන්තර වශයෙන් සම්මාන රැසක් දිනපු නිර්මාණයක්. ඒ නිසා සිනමා ප්‍රේක්ෂකයන්ට ආදරෙන් ආරාධනා කරනවා අප්‍රේල් 22 ඉඳල රිවස්ටන් බලන්න කියලා.