මේ දිනවල විකාශය වන මායාවී ටෙලි නිර්මාණයේ නයනාගේ භූමිකාව බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් ලක් වී ඇත. තරුණ දියණියගේ ආරක්ෂාව ගැන බියෙන් ගැහෙමින් මැරයකුගේ අනියම් බිරිය ලෙස ආරෝපිත බියමුසු අහිංසක පෙනුම ඇයගේ රංගනය උපරිම තලයකට ගෙන යන්නට සමත්වී ඇතැයි සිතේ. ‘මායාවි’ නයනා, ‘රොකී’ ඕ.අයි.සී. දුර්ගාගේ එඩිතර පෙනුමට හාත්පසින්ම වෙනස්ය. නයනා මෙන්ම දුර්ගා ලෙසින්ද ඔබ හමුවට ආ ඇය නමින් දුලක්ෂි රාජපක්ෂය. ඕනෑම චරිතයකට අනුගත විය හැකි අපූරු හැකියාවක් සතු ඇය දක්ෂ රංගන ශිල්පිනියකි.
මායාවීහි නයනා මේ දිනවල හැමෝගෙම අවධානයට ලක්වෙලා. කොහොමද මැර බිරියකගේ අත්දැකීම?
මට මේ අවස්ථාව ලැබෙන්නේ රොකී ඉවර වුණු ගමන්මයි. නිෂ්පාදකවරයාගෙන් ලැබුණු පළමු ඇරියුමත් එක්කම තිරපිටපත් රචක මහේෂ් අයියාගෙනුත් ආරාධනා ලැබුණා. මං මේ ඔහුත් එක්ක කරන දෙවැනි නිර්මාණය. අධ්‍යක්ෂ සඳුන් අයියාවත් මතක් කරන්න ඕන. නයනා කියන්නේ පාතාල පත්මේගේ අනියම් බිරිය. ඇත්තටම ඇය ඔහුත් එක්ක කැමැත්තෙන් ඉන්නවා නෙවෙයි. සැමියාගේ අහිමිවීමත් එක්ක ඇතිවන බය, අසරණකම වගේම තමන්ගේ තරුණ දියණිය ආරක්ෂා කරගැනීමේ වගකීමත් ඇය සතුයි. ඒ වගේම මම අම්මා කෙනෙකුගේ චරිතයක් කරන පළමු අවස්ථාවත් මේක. කිසිම සතුටක් නැති, නිතරම ගුටි කන, බැණුම් අහන බය බිරාන්ත වෙලා ඉන්න චරිතයක්. ඇත්තටම ඒක මට අභියෝගයක් වුණා.
පළමුවතාවට අම්මා කෙනෙක් වෙන්න ලැබීම කොහොමද දැනුණේ?
ප්‍රේක්ෂකයන් මේ අම්මාගේ චරිතය ආදරෙන් වැලඳගෙන තියෙනවා. ඒක හොඳටම පැහැදිලි වෙන්නේ ‘අම්මා‘ ටෙලි නිර්මාණයේ මං පෙම්වතියක් වුණත් ප්‍රේක්ෂකයන් දැන් ඒක භාරගන්න කැමති නැහැ. එතනදිත් කතා කරන්නේ නයනා ගැන. ඒ තරමටම මේ අම්මගේ කැරැක්ටර් එකට ඔවුන් ඇබ්බැහිවෙලා. වෙලාවකට මට හිතෙනවා අම්මාගේ චරිතය නිසා මගේ ගමනට හානියක් වුණාද කියලත්. ඒත් එක්කම හිතෙනවා නෑ කමක් නැහැ මේකත් එක චරිතයක්නේ කියලත්. මං කරපු චරිත ඔක්කොම කැටගරි කරල බැලුවොත් විවිධ චරිත කරල තියෙන නිසා ඒක කමක් නැහැ කියලත් හිතනවා.
නයනා කියන්නෙ මැරයකුගේ අනියම් බිරියක්. නයනාට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන පිළිගැනීම මොන වගේද?
නයනට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒකෙ නයනගේ සැමියා නැහැ. පත්මේ කියන චරිතය ඇයගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇය ඔහුට බයෙන් ඔහු කියන කියන දේ කරගෙන ඉන්නෙ කොහොමද? ඒවත් එක්ක මිනිස්සු නයනා දිහා බලන්නෙ අනේ පව් කියන හැඟීමෙන්. ඒ අනුකම්පාවත් එක්කම ප්‍රතිචාරත් ගොඩක් ලැබෙනවා.
පුන්සරාට රඟන ශයිනිට වඩා ඔබ වයසින් අඩුයි. ඇගේ අම්මා වෙන්න ලැබුණම මොකද හිතුනේ?
මේක මං අම්මා විදිහට රඟන පළමු අවස්ථාව වගේම ඇත්තටම ශයිනි මට වඩා අවුරුද්දක් වැඩිමහල්. ලොකේෂන් එකේදි ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් මං රංගනයෙන් දායක වෙන අම්මා ටෙලි නිර්මාණයේ චරිතයට යම් බලපෑමක් වුණාද කියලත් හිතෙනවා. මොකද අම්මා ටෙලි නිර්මාණයේ සුජීගේ චරිතයට ප්‍රතිචාර දක්වද්දිත් දුලක්ෂි දැන් පෙම්වතියගේ චරිතය කරන්න ඕන නෑ කියල කියනවා. ඒ වෙලාවට නම් හිතෙනවා අයියෝ මං මටම හානියක් කරගත්තද කියලත්. හැබැයි ඉක්මනින්ම ඒ සිතුවිල්ලෙන් මිදෙනවා. මගේ අනෙක් චරිතත් එකක් සංසන්දනය කරමින් බලන්නෙ නැත්නම් ඒක ගැටලුවක් වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නේ.
‘අම්මා‘ ටෙලි නිර්මාණය ගැන කතා කළොත්?
‘අම්මා‘ කපිල සුගත්ගේ අධ්‍යක්ෂණයක්. තිර පිටපත ගයනි අසිංසලාගේ. මගේ චරිතයේ නම සුජී. පෙම්වතියකගේ චරිතයක්. ගෙදර අයිතිකාරයගේ පුතාට ආදරේ කරන ගෙදර වැඩට ඉන්න කෙනාගේ ළමයා. ඒක මට කිසිසේත්ම අභියෝගයක් වුණේ නැහැ. එකම කාලයේ විකාශය වන එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. ප්‍රේක්ෂකයන් ඒවා වැලඳගන්න විදිහ දිහා සංයමයෙන් බලාගෙන ඉන්නවා.
දුලක්ෂි ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කරනවා නම්?
මං රංගනයට පිවිසෙන්නේ ඒ හීනය ටෙලි නිර්මාණයෙන්. ඊළඟට හිත ළඟ හිනැහුණා, රාජිනී සහ සිදාදියේ සමනලියෝ. ඒකෙ මම ආලියා කියන මුස්ලිම් තරුණිය. මලක්, රොකී අම්මා සහ මායාවී. මේ විදිහට තමයි මෙතෙක් ආ ගමනේ දායකත්වය. තවත් ටෙලි නිර්මාණ දෙකක් විකාශය වෙන්නත් තියෙනවා.
සිනමාවට සම්බන්ධය මොනවගේද?
බුද්ධික ජයරත්නගේ සැප්තැම්බර් සිනමාපටය මේ වසරේ තිරගත වෙනවා. මගේ පළමු සිනමා අත්දැකීම ෆස්ට් ඇන්ඩ් සෙකන්ඩ් චිත්‍රපටය. ඒක කරලා දැන් අවුරුදු තුන හතරකටත් වැඩියි. ඒත් තවම තිරගත වුණේ නැහැ.
ඔබ වෘත්තියෙන් සංගීත ගුරුවරියක්. ඒ තුළ ඔබේ දායකත්වය ගැන කතා කළොත්?
මං වෘත්තියෙන් සංගීත ගුරුවරියක් විදිහට කටයුතු කළා. විශේෂයෙන්ම පියානෝ, බටහිර බටනළාව, කීබෝඩ් වගේ භාණ්ඩ වාදනය පිළිබඳ. ඒත් දැන් මං පාසල් ගුරු භූමිකාවට සමුදීල දිගුකාලීනව කලා කටයුතුවල නියැළෙනවා. මට එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් එකකුත් තියෙනවා. ඒකෙ වැඩත් බලන ගමන් ව්‍යාපාරයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.