ගින්දරී 4 ළඟදීම කරනවා-උදයකාන්ත වර්ණසූරිය

gossiplanka image 1
 


 


විවිධ ශානරයන්ට අයත් සිනමා නිර්මාණ ප්‍රේක්ෂකාගාරයට තිළිණ කළ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය ‘සාජන්ට් පුංචිසෝම’ මේ දිනවල රටපුරා සිනමාහල්වල තිරගතවේ. උදයකාන්ත වර්ණසූරිය විසින් කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කළ ‘සාජන්ට් පුංචිසෝම’ ගැන සහ සිනමාව ගැන ඔහුත් සමඟ කළ සංවාදයකි මේ.


සාජන්ට් පුංචිසෝම කොස්තාපල් පුඤ්ඤසෝම පිටපතේම දිගුවක්ද?. නැතිනම් වෙනස්ම පිටපතක්ද?


කොස්තාපල් පුඤ්ඤසෝම ඒ කාලේ මාර හිට් එකක් වුණානේ. පස්සේ කාලෙක ඒකේ දෙවැනි කොටසත් මගේ ඔළුවට ආවා. ඒ වගේම විනෝදාත්මක රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධ කතාවක් මගේ හිතේ ගොඩනැගුණා. ඒක තමයි චිත්‍රපටයකට තිර නාටකය ලියලා මේ කතාව නිර්මාණය කළේ.


සාජන්ට් පුංචිසෝමට ප්‍රියන්ත සෙනෙවිරත්න තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබුණද?


ප්‍රියන්තගේ මූණේ තියෙනවා සාජන්ට් ගති ලක්ෂණ ටිකක්. එයා ටිකක් මිටියි, මහතයි. ඒක හින්දා මේ චරිතයට ඔහුව හොඳින් ගැලපෙනවා කියලා මට හිතුණා. ඊට අමතරව දුලීකා මාරපන, රොඩ්නි වර්ණකුල, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබනවා. මේක පවුලේ කතාවක්. ඒ වගේම මේකේ තියෙන්නේ රාජ්‍ය නිලධාරියෙක් එයා රාජකාරියේ නිරතවෙලා ඉන්නfාකට එක එක ඇබැද්දි සහ ඊට මුහුණදෙන ආකාරයයි. මේක සරල විනෝදාත්මක චිත්‍රපටයක්.


මේ ඔබේ කීවැනි සිනමා නිර්මාණයද?


මේක මගේ 28 වැනි සිනමා නිර්මාණය. තවත් එකක් එන්න තියෙනවා. ඒක 29 වැනි සිනමා නිර්මාණය. ඒකේ නම තමයි මේඝ වර්ෂා.


පසුගිය කාලවකවානුවේදී විවිධ ශානරවල සිනමා නිර්මාණ බිහිවෙලා තිරගතවෙලා වාර්තා පොත් අලුත් කළා. මේ වෙලාවේ ඔබේ නිර්මාණයට මොනවගේ අභියෝගයක්ද තියෙන්නේ ?


මම හිතන්නේ මම තමයි ලාංකීය සිනමාවේ ශානර රැසක නිර්මාණ බිහිකරලා තියෙන්නේ කියලා. මම නොකරපු දෙයක් නැහැ. ඇත්තටම මට කරගන්න බැරිවුණේ රජකතාවක් සහ විද්‍යාත්මක ප්‍රබන්ධයක් විතරයි. ඒ ඇරෙන්න මම කොමඩි, හොරර්, ඇක්ෂන් සිනමා නිර්මාණ බිහිකළා. ඒ හැම එකකම මම ඉදිරියෙන් ඉන්නවා.


උදයකාන්ත වර්ණසූරියට වෙනමම ප්‍රේක්ෂකාගාරයක් හිටියා. මෙය ඔබේ 28 වැනි සිනමා නිර්මාණය. අද වෙනකොට ඒ ප්‍රේක්ෂකාගාරයේ යම්කිසි වෙනසක් වෙලා නැහැ කියලා හිතනවාද?


උදයකාන්තගේ චිත්‍රපටයක් එනවා කියලා කිව්වහම ප්‍රේක්ෂකයෝ යම්කිසි මතයක් හදාගන්නවා මේක හොඳ චිත්‍රපටයක් වෙන්න ඇති කියලා.එහෙමත් නැතිනම් ගුණාත්මක චිත්‍රපටයක් වෙන්න ඇති කියලා. නමුත් චිත්‍රපටය නැරඹුවාට පසුව ඒ අදහස වෙනස් වෙන්න පුළුවන්. මගේ චිත්‍රපටයක් කිව්වහම තවම මොනවා හරි ඇති කියලා හිතන පිරිසකුත් ඉන්නවා. මම මෙතෙක් චිත්‍රපට 29 ක් කරලා තියෙනවා. ඒවායින් 28 ක් තිරගත වෙලා තිබෙනවා. මම ඒ හැම නිර්මාණයක්ම ගුණාත්මකව සිදුකළා කියන සතුට මට තියෙනවා. කිසිම චිත්‍රපටයක් දමලා ගහලා නැහැ. නිෂ්පාදකවරයෙක් හම්බවුණ පළියට අධ්‍යක්ෂවරයාගේ ගාස්තුව ගන්න කියලා මම චිත්‍රපට හදලා නැහැ. මම අනන්තවත් චිත්‍රපට බැහැර කරලා තියෙනවා, මට ගැලපෙන්නේ නැතිනම්. සමහර නිෂ්පාදකවරු එනවා මෙන්න මේ වගේ කතාවක් තියෙනවා කරමු නේද? කියලත්. ඒවාගේ චිත්‍රපට මම හදන්නේ නැහැ.


ඒවගේ මම කොතරම් ප්‍රතික්ෂේප කළත් අද වුණත් මට නිෂ්පාදකවරයෙක් හොයගන්න ඒක කිසි ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මම දැන් පුළුවන්තරම් උත්සාහ කරන්නේ මමම චිත්‍රපට නිෂ්පාදනය කරන්න. එතකොට හරි නිදහස්. සාජන්ට් පුංචිසෝමත් මගේම නිෂ්පාදනයක්. ඉදිරියේදීත් මම ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේ මම ම චිත්‍රපට නිෂ්පාදනය කරන්න. නැතිනම් නිෂ්පාදකවරුන්ගේ කීමට යටවෙලා ඒ මානසික පීඩනය ගන්න මම කැමැති නැහැ. ඊට වඩා හොඳයි චිත්‍රපට නොකර ඉන්න එක. හොඳ නිෂ්පාදකවරයෙක් මුණගැසුණොත් මම නොකර ඉන්නෙත් නැහැ.


හිරිපොද වැස්ස 2 චිත්‍රපටය නිර්මාණය කරනවා කියලා පසුගිය කාලයේ කතාබහක් ඇතිවුණා. ඒකට මොකද වුණේ?


පළමුවැනි එක හදනකොට දෙකක් ගැන හිතේ තිබුණේ නැහැ. ඒකට ඇතිවුණ ජනප්‍රියත්වයත් එක්ක ඒකට සම්බන්ධ වෙච්ච නළු නිළියෝ පවා ඇහැව්වා දෙක කරමුද කියලා. එහෙම නම තිබුණා කියලා නමට චිත්‍රපට කරන්න බැහැනේ. මොකක් හරි හොඳ කතාවක් තියෙන්න එපායැ. එහෙම කතා කිහිපයක් මට කලින් ලැබුණා. නමුත් ඒ එක කතාවක්වත් මගේ හිතට ගැලපෙන කතා වුණේ නැහැ. නමුත් අදවෙනකොට මට එහෙම කතාවක් ලැබිලා තියෙනවා. ගින්දරී 4 ත් ලියලා තියෙන්නේ. මේ අවුරුද්දේ හරි ලබන අවුරුද්දේ හරි ඒකත් කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.


ඔබ වාණිජ සිනමාවේ පෙරළියක් කරපු අධ්‍යක්ෂවරයෙක්. එම පෙරළිය නැවත ඇතිකරන්න අදහසක් නැතිද?


ඇත්තටම පසුගිය කාලයේ මගේ චිත්‍රපට ලොකුවට සාර්ථක වුණේ නැහැ. ඒකට හේතුවක් තමයි මම අත්හදාබැලීම් සිදුකරන්න ගියා. අත්හදාබැලීම් නොකරත් බැහැ. ඒවා කරන්නත් ඕනෑ. මම කොතැනද ඉන්න ඕනෑ කියන එක මම ගොඩාක් දුරට තේරුම් අරගෙන ඉන්නේ. ඒ අනුව හැඩගැසෙන්නත් මම තීරණය කරලා තියෙනවා. ඉදිරියේදී ෆේල්වෙන්නේ නැතිව සිනමාවේ අලුත් දේවල් එක්ක වැඩක් කරන්න සූදානම්. සිනමාවේ තවදුරටත් රැඳිලා ඉන්න ආසයි. ඒ ආසාව එක්ක ගොඩක් දේවල් වෙනස් කරගෙන වැඩක් කරන්න ලෑස්තියි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post