O.I.C ගඩාෆි ලෙස රන්ජන් රාමනායක නැවතත් දැවැන්ත සිනමා තිරය ආක්‍රමණය කර ඇත. O.I.C ගඩාෆි නිසාම රන්ජන්ගේ පෞරුෂය ගැන බොහෝ දෙනා අතර කතාබහක් නිර්මාණය වී ඇත. සීයට සීයක් ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් හා අධ්‍යක්ෂණයක් ලෙස රන්ජන්ගේ අතින් බිහිවූ O.I.C ගඩාෆි ගැන අද අපි කතා කරනවා...
රන්ජන් කාලෙකට පස්සෙ ආපහු චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න තීරණය කෙරුවෙ ඇයි?
මම 2017 වසරේදි ඩොක්ටර් නවරියන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළාට පස්සෙ වසර 9ක් සිනමා අධ්‍යක්ෂණයෙන් ඈත්වෙලයි හිටියෙ. ඉස්සරට වඩා අද වෙද්දි ලාංකීය සිනමාව දියුණුවෙලා ප්‍රේක්ෂකයො වැඩි වැඩියෙන් චිත්‍රපට නරඹන්න උනන්දුවෙලා තියනවා දකිද්දි මට හිතුණා සිනමාවේ උන්නතිය වෙනුවෙන් ආපහු සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්න ඕන කියලා. ලංකාවෙ දූෂිත දේශපාලනය ගැන සහ නිලධාරිවාදය ගැන මට හොඳට අත්දැකීම් තියන නිසා මම තීරණය කළා ඒ සම්බන්ධව වෙනස්ම කෝණයකින් චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඉතින් ඒ තමයි O.I.C ගඩාෆි. මේ චිත්‍රපටය නිර්මාණය කරනකොට සමහරු මට චෝදනා කළා ඉන්දියානු චිත්‍රපටයක් කොෆි කරලා ගඩාෆි නමින් සිංහලෙන් නිර්මාණය කරනවා කියලා. කොහෙන්වත් කොපි කරන්නේ නැතුව O.I.C ගඩාෆි චිත්‍රපටයේ කතාව, දෙබස් අධ්‍යක්ෂණය සියල්ල මම විසින් නිර්මාණය කරපු දේවල්. O.I.C ගඩාෆි සියයට සීයක්ම original ශ්‍රී ලංකන් චිත්‍රපටයක්.
චිත්‍රපටයට ගඩාෆි කියලා නම දැම්මෙ ඇයි?
ගඩාෆි කිව්වහම හැමෝටම එකපාර මතකයට නැගෙන්නෙ ලිබියාවේ ඒකාධිපති මිනීමරු පාලක මොහම්මර් ගඩාෆිව. හැබැයි ලිබියාවේ ගඩාෆිට චිත්‍රපටයේ ගඩාෆි එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. චිත්‍රපටයේ කියන්නෙ ගංගෙදර ආරච්චිලාගේ දොන් අසංක ඉන්ද්‍රජිත් හෙවත් o.i.c ගඩාෆි ගැන. ඉංග්‍රීසි භාෂාවෙන් ඔහුගේ කෙටි නම තමයි ගඩාෆි විදිහට හඳුන්වන්නෙ.
මේ දිනවල තිරගත වන අනෙත් චිත්‍රපට O.I.C ගඩාෆිට අභියෝගයක් වෙයිද?
O.I.C ගඩාෆි සමග තවත් පොලිස් චිත්‍රපට දෙකක් මේ දවස්වල තිරගත වෙනවා. චිත්‍රපට තුනම ශානර තුනකින් නිර්මාණය වුණ කතා තුනක්. ඉතින් මම හිතනවා මේ චිත්‍රපට තුනටම වෙන්වුණ වෙනස් ප්‍රේක්ෂකාගරයක් ඉඳියි කියලා. පෞද්ගලිකව මම චිත්‍රපට නිර්මාණය කරන්නෙ කාත් එක්කවත් තරග කරලා මගේ චිත්‍රපටය ජයග්‍රහණය කරවන්න නෙවෙයි. මේ විදිහට විවිධත්වයත් ඇතුව චිත්‍රපට නිර්මාණය වනවට සිනමාකරුවෙක් විදිහට මම ඇත්තටම කැමැතියි.
තිරගත වන අනෙක් චිත්‍රපටවලට වඩා O.I.C ගඩාෆි චිත්‍රපටයේ විශේෂත්වය මොකක්ද?
ළදබොළඳ සිල්ලර කතා වෙනුවට ලංකාවෙ දූෂිත දේශපාලනය ගැන සහ නිලධාරිවාදය ගැන විනෝදාත්මකව කියන ප්‍රබල කතා සංකල්පයකුයි O.I.C ගඩාෆි චිත්‍රපටයේ අඩංගුවෙලා තියෙන්නේ. මේ කතා සංකල්පය චිත්‍රපටයක් විදිහට නිර්මාණය කරන්න තාක්ෂණයෙන් ඉහළම කැමරාවක් වන Red Raptor කැමරාවයි අපි යොදාගත්තෙ. ලංකාවෙ දක්ෂම කැමරා අධ්‍යක්ෂවරයෙක් වන ධම්මික රත්නායක විසිනුයි Red Raptor කැමරාව උපයෝගී කරගෙන O.I.C ගඩාෆි රූගතකිරීම් කළේ. ඉහළම දියුණු තත්ත්වයේ වර්ණ ආලෝකයේ රූප රාමු ප්‍රේක්ෂකයන්ට මේ තුළින් නරඹන්න පුළුවන්. ලෝකයේ චිත්‍රපට සඳහා උපයෝගී කරගන්නා ඉහළම sound තාක්ෂණය dolby atmos කියන මිලෙන් අධික දියුණු sound තාක්ෂණයයි අපි මේ සඳහා යොදාගත්තෙ. ඊට අමතරව ලංකාවෙ දක්ෂතම නළු නිළියන් වන ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානයක, ධර්මප්‍රිය ඩයස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, පියුමි බොතෝජු, ඩිලුක්ෂි වීරප්පෙරුම ඇතුළු නළු නිළියන් යොදාගෙන ගයාන් ශ්‍රීමාල්, සංක අබේසිංහ වැනි ප්‍රවීණයන්ගේ නර්තන අධ්‍යක්ෂණයෙන් හැඩවුණ සියලු දෙයින් දියුණු, විනෝදාස්වාදය පිරි හරවත් චිත්‍රපටයක් විදිහට O.I.C ගඩාෆි හඳුන්වන්න පුළුවන්.
රන්ජන් අධ්‍යක්ෂණය කරන හැම චිත්‍රපටයකදීම රසවින්දනයට අමතරව සමාජීය අදහසක් ලබාදෙන්නෙ ඇයි?
ප්‍රේක්ෂකයෝ මුදල් ගෙවලා ටිකට් අරගෙන තමන්ගේ පවුලෙ අය එක්ක හෝ යාළු මිත්‍රයෝ එක්ක සිනමා ශාලාවට ඇවිත් චිත්‍රපටයක් බලන්නෙ කිසිම රසවින්දනයක් හෝ හරවත්කමක් නැති හිස් දෙයක් නැරඹීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි කියලයි මම විශ්වාස කරන්නේ. ප්‍රේක්ෂකයො මුලා කරලා මුදල් වංචා කරන චිත්‍රපටවලට වඩා මම හැම තිස්සෙම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නෙ රසවින්දනයක් සමග හරවත් අදහසක් ප්‍රේක්ෂකයන්ට ලබාදීමේ බලාපොරොත්තුවෙන්. සිනමා අධ්‍යක්ෂවරයෙක් විදිහට මම අධ්‍යක්ෂණය කරපු පළමුවැනි චිත්‍රපටය පාර්ලිමන්ට් ජෝක්ස් 01 චිත්‍රපටයෙන් ප්‍රහසනය සමග ලාංකීය දේශාපාලනයේ සැබෑ ස්වභාවය ප්‍රේක්ෂකයන්ට අවබෝධ කරලා දුන්නා. දෙවෙනි චිත්‍රපටය වන වන්ෂොට් 01 චිත්‍රපටයෙන් ජඩ දේශපාලනය ගැන ප්‍රහසනය එක්ක ප්‍රේක්ෂකයන්ට පෙන්නුවා. තුන්වැනි චිත්‍රපටය, ඩොක්ටර් නවරියන් චිත්‍රපටයෙන් දූෂිත system එක ගැන ප්‍රහසනය සමග ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න ලබා දුන්නා. දැන් O.I.C ගඩාෆි චිත්‍රපටයෙන් දූෂිත දේශපාලනය ගැන සහ නිලධාරිවාදය ගැන විනෝදාත්මකව ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න ලබා දෙනවා. සල්ලි දීලා ගන්න ටිකට් එක ගැන ප්‍රේක්ෂකයන්ට කලකිරෙන්න හොඳ නැහැ කියන අදහසේ ඉඳගෙනයි මම හැමදාම විනෝදාස්වාදය, හරවත්කම සහ ඉහළ ප්‍රමිතිය යොදාගෙන චිත්‍රපට නිර්මාණය කෙරුවෙ.
දේශපාලනය දිගටම කළා නම් රන්ජන් සිනමාවට නිවාඩු දෙන්නද හිටියෙ?
ජඩ දේශපාලනය, වචාංව සහ දූෂණය ගැන ඇත්ත මම නිතරම ජනතාවට පෙන්නලා දුන්න නිසා මිනිස්සු මට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යැව්වා. ඉතින් දේශපාලනය කරන කාලයේදි මට සිනමාවට සම්බන්ධවෙන්න කාලය නැති වුණා. අදත් දේශපාලනය කළා නම් මේ විදිහට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න කාලය නැති වෙන්න පුළුවන්. දේශපාලනය කරන කාලයේදි මගේ රංගන ජීවිතය ආදරය කරන රසිකයෝ මට කිව්වා රන්ජන් ඔයා මේ රටේ හැම මනුස්සයෙක්ටම අයිති කලාකරුවෙක්. එක පක්ෂයකට බැඳිලා දේශපාලනය කරන්න ගිහින් ඔයාට ආදරය කරන බහුතර රසිකයො තරහා කරගන්නවා කියලා. රටට අවංක දේශපාලන සේවයක් කරන්න තියන වුවමනාව නිසා රසිකයෝ කියපු ඒ දේ ගැන එච්චර බරපතළව මම හිතුවෙ නැහැ. නමුත් අද මට තේරෙනවා මිනිස්සු මාව දකින්න කැමැති ඔවුන්ව පිනවන්න ඉන්න කලාකරුවෙක් විදිහට විතරයි කියලා. පක්ෂ බේදයකින් තොරව අද මම විඳින රසිකයන්ගේ ආදරය දැක්කහම මට හිතෙනවා දේශපාලනය කරන්න ගිහින් රසිකයන්ට මම කළේ වැරැද්දක් කියලා. මම කරපු ඒ වැරැද්ද වෙනුවෙන් රසිකයන්ගෙන් මම සමාව ඉල්ලනවා.
නළුවෙක් විදිහට රන්ජන්ගේ රංගන පරාසයට ප්‍රේක්ෂකයන්ට පෙන්නන් පුළුවන් වුණ චරිත රන්ජන්ට ලැබුණද?
අනේ ඔව්. මම රංගන ක්ෂේත්‍රයට ආපු 1986 ඉඳලා මේ වෙනකන් මගේ රංගන හැකියාව විශිෂ්ට විදිහට ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න පුළුවන් චරිත මට හම්බවුණා. විශේෂයෙන් මායා චිත්‍රපටයේ මම රඟපාපු transgender චරිතය තුළින් මගේ චරිතාංග රංගන හැකියාව වෙනස්ම විදිහට ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. මේ සියලු දේවල්වල ප්‍රතිඵලයක් විදිහටයි රන්ජන් රාමනායක කියන කලාකරුවව ගොඩනැගිලා තියෙන්නෙ.
රසිකයෝ ආදරය කරන සුපිරි තරුවක් වීම ගැන අදහස මොකක්ද?
වයසක වැඩිහිටි පරම්පරාවෙ ඉඳලා අද ඉන්න gen c පරම්පරාව දක්වා සියලු දෙනාගේ ආදරය මට හැමදාම නොඅඩුව ලැබෙනවා. හෝටලයකට කන්න ගියත්, ෂෝ එකකට ගියත් මගතොටේ ගියත් සියලු දෙනා ආදරෙන් වැලඳගෙන කතා කරන්නෙ. ඒ අතරින් තරුණියන්ගේ ආදරය ටිකක් වැඩිපුර ලැබෙනවා. සමහර ගෑනු ළමයි මාව සිපගන්න අවස්ථා පවා සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වෙලා තියනවා. මේ විදිහෙ දැවන්ත රසික ආදරයක් ලැබෙනවා මම දැක්කෙ මගේ මාමා විජය කුමරතුංගට විතරයි. ඔහුට සම වෙන්න නම් මට කොහෙත්ම බැහැ. නමුත් ඉතින් ඒ විදිහෙ ආදරයක් මට ලබාදෙන එක ගැන මම හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.
හිතට දැනුණ අවංක ප්‍රේමයක් රන්ජන්ට තිබිලා නැද්ද?
මම ඕනෑ තරම් කාන්තාවෝ පෙම්වතියෝ විදිහට ආශ්‍රය කරලා තියනවා. හැබැයි ඒ අතරින් එක්කෙනෙක්ව හිතට දැනිලා තෝරගෙන විවාහ ජීවිතයක් ගතකරන්න ඕන කියන අදහස මට කවදාවත් ඇතිවෙලා නැහැ. ඒකට හේතුව විවාහය මම දකින්නෙ වගකීම් සහගත බර දෙයක් විදිහට. ඉතින් විවාහ වෙලා ඒ බර දරන්න මම ලෑස්ති නැහැ. ඒ නිසා මම තනිකඩව නිදහසේ ඉන්නවා.
තනිකඩ ජීවිතය සතුටක්ද?
තනිකඩ ජීවිතය සතුටුයි කියන්න බැහැ. මට දැනෙන්නෙ තනිකඩ ජීවිතය නිදහස් විදිහට. හැබැයි සමහර වෙලාවට හිතේ හිරවෙලා තියන හැඟීම් කියන්න කවුුරුත් නැතිකම සහ පාළුව, මට දැනෙනවා. නමුත් ඉතින් ඒ සියලු දේවල් මම දරාගෙන ජීවත් වෙනවා.
රන්ජන් ගෙවන සෙල්ලක්කාර ජීවිතයට එල්ලවෙන විවේචන ගැන අදහස මොකක්ද?
ජනතාවට අයිති පොදු වස්තුවක් විදිහටයි මම මාව හඳුන්වන්නෙ. ඉතින් ජනතාවට කැමැති ඕන දෙයක් මට කියන්න අයිතිය තියනවා. සමාජයට පේන්න සිල් අරගෙන උපාසක ජීවිතයකුයි පෞද්ගලික ජීවිතයේදි ගෙවන වෙන ජීවිතයකුයි මට නැහැ. රන්ජන් රාමනායක විදිහට මම ගෙවන මේ ජීවිතය හැමෝටම පේන්න ප්‍රසිද්ධියේ මම ගෙවන්නෙ. ඉතින් ඒ පිළිබඳව හොඳ කියන අයට හොඳ කියන්නත් විවේචනය කරන අයට විවේචනය කරන්නත් පූර්ණ නිදහස තියනවා. හැබැයි විවේචනය කරන්නෙ කවුද කියලා හොයලා බැලුවාම ඒ ගොඩක් අය මම ගෙවන ජීවිතය ගැන ඊර්ෂ්‍යාවෙන් හෝ ඇරියස් එකට මාව විවේචනය කරනවා කියලයි මට හිතන්නෙ. කොහොම වුණත් ඒ කා එක්කවත් මම තරහා නැහැ.