
2019 වසරේ රාජස්ථාන්හි පැවැති ඉන්දියානු සාහිත්‍ය උළෙලේදී ‘රිෂ්මා’ නම් වූ නවකතාව ඉහළ ප්‍රශංසාවකට සහ ඇගැයීමකට ලක්වූ අතර එම නවකතාව ශ්‍රී ලාංකීය පාඨකයන් අතර ද ඉමහත් ජනප්‍රියත්වයක් ඉසිලූහ. මෙම නවකතාවේ හිමිකාරිය වන්නේ ක්‍රිෂාන්ති කුලසූරියයි. ඇය මනෝවිද්‍ය උපදේශකවරියක මෙන්ම සමාජ සේවිකාවක ලෙස ද කටයුතු කරන්නීය. ඇයගේ පුළුල් අත්දැකීම් ඇසුරින් නිර්මාණය කරන ලද තිරනාටකයක් පාදක කරගෙන ‘මදර් ලංකා’ සිනමා නිර්මාණය, නිර්මාණය විණි. ක්‍රිෂාන්ති කුලසූරිය සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.
ක්‍රිෂාන්ති කුලසූරිය කියන තිරපිටපත් රචිකාවියට මේ වෙලාවේ ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
ඇත්තටම චිත්‍රපටයක් නිමැවුණාට පස්සේ සාමාන්‍යයෙන් කතා කරන්නේ එහි රඟපාන නළු නිළියන් ගැන. නැතිනම් අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා ගැනයි. නමුත් මට බොහෝ කාලයකට පස්සේ තිරරචනාවකට පැසසුම් ලැබුණා. ඉතින් මම හිතනවා ඒ පිටපතේ මොකක්හරි නව්‍යතාවයක්, විශේෂත්වයක් හෝ වෙනස්කමක් ප්‍රේක්ෂකයාට දැනෙනවා ඇති කියලා. මේක ලිව්වේ කවුද කියලා මිනිස්සු හොයන එක ගැන මේ වෙලාවේ සතුටුයි.
මේ පිටපතේ සංක්‍රාන්ති ලිංගික චරිතයක් ගැනත් කතාබහ වෙනවා. ඒ වගේ චරිතයක් ගැන කතාබහ කිරීමේදී ආපු අභියෝගයන් මොනවගේද?
දැන් මේ වෙනකොට මිනිස්සු හැමවෙලාවෙම මනුස්සකම හෑල්ලුවට ලක්කරන අවස්ථා තියෙනවා. මම මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ ලිංගික අනන්‍යතාව මිස ලිංගික දිශානතිය ගැන නෙවෙයි. ඒක කතා දෙකක්. ලිංගික දිසානතියක් කියන්නේ අපි කාටද වසඟයට යන්නේ. අපි කාටද ආකර්ෂණය වෙන්නේ කියන එක. නමුත් ලිංගික අනන්‍යතාවය කියලා කියන්නේ මම, මම කවුද කියන එක හොයාගත්ත එකයි. එතකොට මේ චිත්‍රපටය පුරාවටම තියෙන්නේ අපි, අපිව අඳුර ගත්ත එකයි. ඒක සංක්‍රාන්තික ලිංගිකයෙක්ද? මම ගැහැනියෙක්ද? පිරිමියෙක් ද විෂම ලිංගිකයෙක්ද? කියන කිසිවක් අදාළ නැහැ. සියල්ලටම පෙර තමන් තමන්ව හඳුනාගැනීම හොඳ බව මම මේ චිත්‍රපටයෙන් පෙන්වලා තියෙනවා.
ඔබේ දුවත් ක්‍රීඩිකාවක් නිසාද ක්‍රීඩිකාවක් අලළා මේ පිටපත නිර්මාණය කරන්න අදහස් කළේ?
මගේ දුව අවුරුදු හතරේ සිට ක්‍රීඩිකාවක් විදිහට කටයුතු කරනවා. අවුරුදු හතරේ සිට මම බොහෝ කාලයක් ඇයත් සමග ක්‍රීඩාවේ ඇලිලා බැඳිලා ඉන්නවා. මගේ දුවට වුණ අසාධාරණකම්, අභියෝග වගේම සමහර තැන්වලදී ඇත්තටම ක්‍රීඩාවකට වුණු අසාධාරණකමක් මම පසුබිමක් විදිහට අරගෙන තියෙනවා. එක්තරා කාලයක ලංකාවේ හිටපු ක්‍රීඩිකාවක් අනපේක්ෂිත ගැබ් ගැනීමක් නිසා ක්‍රීඩාව අතහැර යනවා. ඒ කතා එක්ක තව අතුරු කතා එකතු කිරීම හරහා නිර්මාණයකින් යම්කිසි පණිවුඩයක් දෙන්න උත්සාහ කරලා තියෙනවා.
මෙහි ඔබ මොඩර්න් අම්මා කෙනකුගේ චරිතයක් නිර්මාණය කරලා තියෙනවා. එහෙම හිතුවේ ඇයි?
ගැහැනිය තමන් ප්‍රසන්ට් කරන විදිහ විවිධාකාර වෙන්න පුළුවන්. මම, මාව පෙන්වන විදිහනේ. ගම්බද ඉන්න දර කපන, කළය රැගෙන වතුර ගේන අම්මත් කොළඹ ටැටූ ගහලා කලිසම් අඳින අම්මාගෙත් විලිරුදාව එකයි. දැනෙන දරු දුක එකයි. ඒක තමයි මම මේ කතාවට පාදක කරගත්තේ. මොඩර්න් අම්මා කියන සංකල්පය මට ගේන්න ඕනෑ වුණේ කාන්තාව ලස්සනට ඉන්න ඕනෑ හින්දයි. හිනාවෙන්න ඕනෑ. සතුටින් ඉන්න ඕනෑ. දරුවෝ සැමියා නෙමෙයි ඇයට දාහක් ප්‍රශ්න තිබ්බත් ඇයට ඇයව අත හැරෙන්න බැහැ.
නවකතාව සහ තිරපිටපත අතර වෙනස දකින්නේ කොහොමද?
තිරපිටපතක් ලියනකොට අපි පැහැදිලිවම තේමාවට මූලිකත්වය ලබාදෙන්න ඕනෑ. ඒ වගේම චරිත ගැන අපි විවිධ අධ්‍යයනයන්වල යෙදෙන්න ඕනෑ. ඒ වගේම ඇල්ලීමක් තියෙන්න ඕනෑ. ඒ කියන්නේ යම්කිසි දෙයක් හරහා මිනිස්සුන්ව අවුළවන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනෑ. නවකතාවට වඩා තිරපිටපතක් වෙනස් වෙන්නේ ඔන්න ඔය කියන කාරණා තුනෙන්. මම මේ පිටපතේදීත් පුංචි පුංචි චරිතවලට පවා ලොකු පෞරුෂයක් යෙදුවා. මම හිතනවා ඒ පෞරුෂයන් තම තමන් එකිනෙකාගේ කරගත්තා කියලා. තිර පිටපතකදී හැමවෙලාවේම අපේ ප්‍රශ්න එළියට දෙන්න ඕනෑ නෑ විශේෂයෙන් සිනමාවෙන්. සිනමාව අපිව ප්‍රශ්න කරන තැනට ආවොත් මම හිතනවා සාර්ථකයි කියලා.
සත්‍යාගේ චරිතයට ධනංජයව තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණද?
පිටපත ලියනකොට මට මැවිච්ච ප්‍රොෆයිල් එක තමයි ධනංජය. ඒ වගේම ධනංජයගේ බාහිර ස්වරූපය මට මැවිලා පෙනුණා. වෙන කෙනෙක් සමහරවිට ගත්තා නම් මෙහි තිබුණ අර්ථය වෙනස් වෙන්න තිබුණා. තව මේ චරිතයට අනුගත වීමේ හැකියාව මට හොඳට වැටහුණා.
නවකතා ලිවීමෙන් ඈත්වෙලා දිගටම තිරපිටපත් රචනයට යොමුවෙන්න ද සූදානම?
දැන් නම් මට බොහෝ වේලාවට තිරපිටපත්වලට කතා කරනවා. නමුත් මට ක්‍ෂණික නූඩ්ල්ස් වගේ ලිවීමේ හැකියාව නැහැ. තිරපිටපතක් කියන්නේ ඉතාම බැරෑරුම් කාර්යයක්. නවකතාවක් අද ලියලා රෑට නිදාගෙන ආපහු හෙට ලියන්න පුළුවන්. නමුත් තිරපිටතක් කියන්නේ ඒක ගලායෑමක්. තිරපිටපතක් කියන්නේ වියමනක්. වියමන හරියට එළන්නේ නැතිනම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. තිරපිටපතක් ලියන්න මට යම්කිසි කාලසීමාවක් ගත වෙනවා. නවකතා නම් මම දිගටම ලියයි.
සිනමාවේදී නිතර ඇසෙන කතාවක් තමයි ‘ප්ලොට් එක හොඳයි. පිටපත තමයි මදි’ කියන කාරණාව. ඒ ගැන ඔබේ මතය මොනවගේද?
මේක මගේ පළමු තිරපිටපත වුණාට තිරපිටපත් ගොඩක් ලියලා තියෙනවා. මගේ කාමරයේ තිබෙනවා ඉවර කරපු තිරපිටපත්. අනූෂ මේ පිටපතට තමයි කැමැති වුණේ. මදර් ලංකා වුණත් ඇත්තටම හත් අට වතාවක් ලියැවුණා. විසිතුන් වතාවක් විතර එඩිට් වුණා. අපි කතාවක් ලියද්දි හැඟීම් පාරවනසුලු වෙන්න ඕනෑ. කොහේ හරි වෙලාවකදී අපේ මතක ගුහාවල් ඇවිස්සෙන්න ඕනෑ. ඒ වගේම අතීත කාමයට යන්න ඕනෑ. වර්තමාන, අතීත, අනාගත කියන තුනේදීම අන්තර් සම්බන්ධතාවක් තියෙන්නත් ඕනෑ. ලංකාවේ පොඩි පොඩි අඩුපාඩුකම් දකින්නේ ස්ක්‍රිප්ට්වල තමයි. අපි නැඟිටලා එනකොට චිත්‍රපටයෙන් මොකුත් අරගෙන යන්නේ නැහැ. අපි ඒක අමතක කරලා එනවා විතරයි. ගොඩක් දෙනෙක් මගෙන් ඇහැව්වේ මේකේ දෙබස් වෙනම ලිව්ව ද කියලා. අනික මම මනෝඋපදේශිකාවක් විදිහට මහපොළවත් එක්ක ගැටෙනවා. එතකොට මිනිස්සු හැසිරෙන ආකාරය මම දන්නවා. මේ අපි කතා කරන්නේ මහපොළොවේ තියෙන කතාව.
දිනේෂ් විතාන