‘කබල් ජෝඩුවක්’ රංගනයට හොඳම නිළිය සම්මානය ලැබුණා -හෂිනිකා කරලියැද්ද

gossiplanka image 2
 


පහේ ළමයි හි ‘හේමලතා’ කියන්නෙ පහේ ශිෂ්‍යත්වය ලියන්න ඉන්න දරුවකුගේ මවක්. අසාධාරණයට එරෙහිවන හේමලතා, ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවාටත් උගන්වමින් පවුලේ කටයුතු හොඳින් කරගෙන සිටින කාන්තාවක්. මේ දිනවල පුංචි තිරයෙන් ඔබ හමුවන ඇය නමින් හෂිනිකා කරලියැද්දයි. ‘හේමලතා’ ගැනත් සිය කලාදිවිය ගැනත් කතා කරන්න ඇය මෙසේ අප හා එක් වූවාය.


‘පහේ ළමයි’හි හේමලතා ගැන කිවුවොත්?


ඒ චරිතය හේමලතා වගේහ ‘හේමෝ’ කියාත් හඳුන්වනවා. දුවලා දෙන්නෙක් ඇයට ඉන්නේ. එක් දුවක් විශ්වවිද්‍යාලයේ. අනෙක් දුව පහේ ශිෂ්‍යත්වය ලියන්න සූදානම් වෙනවා. හේමාගේ සැමියාට ස්ථිර රැකියාවක් නෑ. ඒත් ඇය ඒවා ලෝකයට පෙන්වන්නේ නෑ. ඇය තමයි පවුලේ වැඩ කරගෙන යන්නේ. දරුවන්ට ආදරණීය මවක්. අසාධාරණයට අකැමැතියි. කෑගැහුවට ඇගේ හිත ඉක්මනින් උණුවෙනවා. සැමියාටත් හරිම ආදරෙයි. ඇය සාම්ප්‍රදායික මවකුත් නෙවෙයි. තරගකාරී ලොවත් එක්ක යා යුතුයි කියා සිතන මවක්. මම කලින් රඟපෑ මවු චරිතවලට වඩා ‘හේමා’ වෙනස්ම මවක්.


කොහොමද ‘හේමලතා’ට ආරාධනා ලැබුණේ?


අධ්‍යක්ෂ ශාන් ජයරත්න මාර්ගයෙනුයි මට මේ ආරාධනාව ලැබුණේ.


අධ්‍යක්ෂවරයා සමඟ කෙසේද ඔබේ ගනුදෙනුව වුණේ?


ශාන් මල්ලි එක්ක වැඩ කරන්න ලේසියි. මෙහෙම කරමු, මෙහෙම වුණොත් හොඳයි කියා අපිත් එක්ක සාකච්ඡා කර සුහදශීලීව ඔහු වැඩ කරනවා. නිහතමානී අධ්‍යක්ෂවරයෙක්. හරිම සරලයි. ඔහු අධ්‍යක්ෂ වුණත් හරිම සරලයි . ශාන්ව මට හමුවුණේ එයා සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස ඉද්දි. රංගන ශිල්පියාට උපරිම නිදහස දෙනවා. ශාන්ගේ ඇස නිර්මාණාත්මකයි. ඒක හැමෝටම පිහිටන්නේ නැහැ. ඔහු සොඳුරු ආඥාදායකයෙක් කිව්වත් හරි.


රඟපෑ චරිතවලින් ප්‍රේක්ෂකයා අතර කතාබහට ලක්වූ චරිත මොනවාද?


‘නාඩගම්කාරයෝ’ හි කුකුළා මුදලාලිගේ හාමිනේ ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම පසුගියදා විකාශය අවසන් වූ ‘රට පවුල’ ටෙලියේ මිසිස් පෙරේරා චරිතයත් ‘සත්පුර වැසියෝ’හි පද්මිණීත් ප්‍රේක්ෂකයා අතර බොහෝ කතාබහට ලක්වුණා. නාලන් මෙන්ඩිස් නිසයි ඒ චරිතය ලැබුණේ. ‘දෙපත් නයි’ හි චරිතය හොඳම සහාය නිළියට නිර්දේශ වුණා. සත්පුර වැසියෝ, දෙපත් නයි ‘ ටෙලි නාට්‍ය දෙකේම මගේ සැමියා වුණේ ශ්‍රීනාත් මද්දුමගේ අයියා. එකල සමහරු හිතුවා ඔහු මගේ සැබෑ දිවියේ සැමියා කියලා.


රංගනයට ඇවිත් දශක තුනක් නේද?


අවුරුදු 32ක් විතර වෙනවා රංගනයට ඇවිත්. මුලින්ම වීදි නාට්‍ය කළා ගාමිණී හත්‍ තෙට්ටුවේගම එක්ක. කුරුණෑගල ජනතා වේදිකා වීදි නාට්‍ය කණ්ඩායම නමින් වීදිනාට්‍ය කළා. එයින් වේදිකාවට ගොඩවුණා. එහෙමයි රඟපෑම පටන් ගත්තේ.


වේදිකාවේ ඔබේ භූමිකාව කොහොමද?


1995, 96 කාලයේ විජය කුමාරතුංග අනුස්මරණ නාට්‍ය උලෙළක් තිබ්බා. මම ඒකට සම්බන්ධ වුණා. එහිදී ‘මායා’ වේදිකා නාට්‍යයේ රඟපෑමෙන් මට කුසලතා සම්මානයක් ලැබෙනවා. එහි ප්‍රියන්ත ලලිත් හොඳම නළුවා වුණා. ඊට පසු 1998දී ‘බුබුළ’ නාට්‍යයේ රඟපෑවා. ඒකෙන් බොහෝ අය මාව හඳුනා ගත්තා. ඒක රාජ්‍ය නාට්‍ය උලෙළටත් දැම්මා. එහි මාධ්‍යවේදිනියකගේ චරිතයක් කළේ . ඒකටත් කුසලතා සම්මානයක් හිමි වුණා. එහිදී සෞම්‍ය ලියනගේ මට සුබ පැතුවා.1999දී ‘අරුන්දතී’ රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළියට සම්මානය ලැබුණා. එහි රංගනයට යෞවන නාට්‍ය උලෙළේදී ජූරියේ විශේෂ සම්මානයකුත් හිමිවුණා. 2000දී ‘කබල් ජෝඩුවක්’ රංගනය උදෙසා හොඳම නිළිය සම්මානය ලබාගන්න මට පුළුවන් වුණා. 2003දී කුසලතා සම්මාන හිමිවුණා. 2005දී අනුර ඒකනායක ගේ ‘බාල්දිය ඔබ එනතුරු බලා සිටී’ රංගනය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය වුණා. හේමන්ත ප්‍රසාද්ගේ ‘මල්සර බිසව්’ දිගු නාට්‍යයෙන් හොඳම සහාය නිළිය වුණා. දිගු නාට්‍ය සඳහා හොඳම නිළිය සම්මානයට නිර්දේශ වුණා, ඒ ආර්. ආර්. සමරකෝන්ගේ කපුටු බෝ ‘ වෙනුවෙන්.


සිනමාවෙත් ඔබේ දක්ෂතා අපි දැක්කා ?


‘ඇගේ ඇස අග, පටීභාන,පාස්පෝර්ට්’ චිත්‍රපටවල රඟපෑවා. එරංග සේනාරත්නගේ අලුත්ම චිත්‍රපටයේත් රඟපෑවා. සෝමේ අයියලාගේ (සෝමරත්න දිසානායක) අලුත්ම චිත්‍රපටයේත් ‘හෙලේනා’ නමැති චිත්‍රපටයකටත් දායක වුණා .


නිර්මාණයක් භාරගනිද්දී සලකා බලන කරුණු තියේද?


නිර්මාණ කළ අධ්‍යක්ෂවරුමයි මට කතා කරන්නෙත්. අද කාලයේ පිටපත් හම්බවෙනවා අඩුයිනේ. දැනුවත් වීමට මගේ චරිතය ගැන අහලා බලනවා මොකක්ද මම කළ යුත්තේ කියලා. ඉස්සර නම් කලින් පිටපත ලැබෙන නිසා මාස දෙක තුනක් ඒ ගැන අධ්‍යයනය කරන්න පුළුවන්.


ඉදිරි නිර්මාණ මොනවාද ?


නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා . චන්දන හේවාපතිරණගේ ටෙලි නාට්‍යයක් කළා. ආණමඩුව පැත්තේ රූගත කරන නිර්මාණයකටත් කතා කරලා තියෙනවා.


පවුලේ විස්තර කීවොත්?


මගේ සැමියා කුමාර දිසානායක . ඔහු යුද හමුදා නිලධාරියෙක්. දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව තෙනුරි අමා දිසානායක. පොඩි දුව තෙනුදි ලක්ෂා දිසානායක. එයාලා තවම පාසල් යනවා.

gossiplanka image 1
Previous Post Next Post