මේ දිනවල අති සාර්ථකව විකාශය වන ජහුටා ටෙලි නාට්‍ය හරහා රංගනයට අවතීර්ණ වූ ඔහු, ඉතාමත් කෙටි කාලයක් තුළ සුවහසක් වූ ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත් විය. කඩවසම් පෙනුමත් එයටම ඔබින දක්ෂ රංග වින්‍යාසයත් හේතුවෙන් බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ ඔහු නමින් අනුදිස කොඩිතුවක්කුයි.
ඉතින් මේ දවස්වල විස්තර මොනවාද?
මේ දිනවල කලාව අතින් ගත්තොත් ජනතාව ඉතා ආදරයෙන් වැලඳගත් ජහුටා ටෙලි නාට්‍යයේ කස්සාගේ චරිතයට සහ ඉදිරියට එන්න නියමිත වෙබ් සීරීස් එකක ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වෙනවා. අධ්‍යාපනය අතින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉන්ජිනේරු තාක්ෂණය හදාරමින් සිටිනවාත් සමඟම රංගන කෞෂල්‍ය තව තවත් දියුණු කරගන්න සද්ධාමංගල සූරියබණ්ඩාර සර් සහ චේතනී විජේතුංග මිස් පවත්වාගෙන යන IMPAS ආයතනයේ රංගන පාඨමාලාවක් හදාරනවා.
ඒත් එක්කම ඔබේ තොරතුරු ටිකකුත් කියලම ඉමු?
මම නමින් ඉනුක අනුදිස කොඩිතුවක්කු. මගේ උපන් ගම රත්නපුර. මගේ පවුලේ ඉන්නෙ අම්ම, තාත්ත අක්ක සහ මම. අම්ම වෘත්තියෙන් ගුරුවරියක්. තාත්තා ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක කළමනාකරු වශයෙන් කටයුතු කරනවා. මගේ අක්කා රජරට විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් හැටියට ඉතාමත් ප්‍රසිද්ධ ආයතනයක විධායක ලෙස නිලධාරිනියක් විධයට සේවය කරනවා. පාසල් ගියේ රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලට. එහිදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉන්ජිනේරු පීඨයේ ඉගෙනුම ලබමින් සිටිනවා. ඒ වගේම මේ දවස්වල ජීවිතේ නවතම පෙරළියක් ආරම්භ කරමින් කලා කටයුතු කිහිපයකට සම්බන්ධ වී සිටිනවා.
ජහුටා ඔබේ පළමු ටෙලි නාට්‍ය හරහාම ඔබට ජනප්‍රියත්වයට පත් වෙන්න හැකියාව ලැබුණා, මොන වගේ හැඟීමක්ද ඒ ගැන තිබෙන්නේ?
සරලවම කියනව නම් කියාගන්න බැරි තරම් සතුටුයි. කොහොමත් සද්ධා සර් සහ ශිවා සර්ගෙ කම්බිනේෂන් එකක් කියන්නෙ අනිවාර්යයෙන් ඒ නිර්මාණය ජනතාව වැලඳගන්නවාමයි. ඔවුන් දෙදෙනා එකතු වී කරන නිර්මාණයකට සම්බන්ධ වීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා ඉතාමත් උද්‍යොගයෙන් බලන් සිටිනවා. මගේ පළමුවැනිම අවස්ථාව ඒ වගේ ටෙලි නාට්‍යයක් වීම පිළිබඳ මට විශාල නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. ජහුටා ටෙලි නාට්‍යයේ ‘කස්සා’ කියන චරිතය අනෙකුත් චරිතවලට සාපේක්ෂව ටිකක් වෙනස් චරිතයක්. ගොඩක් දුරට ඒ හැසිරීම් රටාව මගේ ඇත්ත ජීවිතයටත් සමානයි. ඒ නිසා ඒ චරිතය තරමක් පහසුවෙන් කරන්න මට හැකියාව ලැබුණා. හිතුවේ නැති විදිහට ‘කස්සා’ චරිතය ප්‍රේක්ෂකයන්ගේ හදවත් හොරා ගන්න පටන් ගත්තා. ගොඩක් කමෙන්ට්ස් වැටෙන්න පටන් ගත්තා. මිනිස්සු මුහුණට හම්බුණාම ඒ චරිතය වර්ණනා කරන්න ගත්තා. කලින් නොතිබුණු විධියට මිනිස්සු මාව අඳුරගන්න පටන් ගත්තා. ඔය වගේ දේවල්වලින් ප්‍රේක්ෂකයන් කස්සා සහ අනුදිස කියන චරිත දෙකටම කොච්චර ආදරේ කරනවද කියල මට දැනෙන්න ගත්තා. ඉතින් මගේ පළමුවැනිම අවස්ථාවෙන් මෙච්චර ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය ලැබෙන එකට පුදුමාකාර සතුටක් සහ ආඩම්බරයක් දැනෙනවා. හැබැයි කස්සත්, අනුදිසත් මේ හැමදේමත් පිටිපස්සෙ ඉන්නෙ සද්ධා සර් සහ ශිවා සර් කියන එක මම මතක් කරන්නම ඕන.
පසුගියදා ධම්ම දිසානායක මහත්මයා ඔබේ පෙනුම ගැන විශේෂ අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේ පුද්ගලයෙක්ගෙන් ප්‍රශංසාවක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?
මගෙ යාළුවෙක් තමයි මට ඒ ලින්ක් එකක් ශෙයා කරල තිබ්බේ. මම ඒක ඕපන් කරාම මන් කීයටවත් බලාපොරොත්තු නොවුණු දෙයක් තිබුණේ. ඒ වීඩියෝ එකේදී ධම්ම දිසානායක සර් ජහුටා නාට්‍යය, කස්සාගෙ චරිතය, රංගනය වර්ණනා කරලා තිබුණා. ඒත් ඊට අමතරව ධම්ම සර් විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණු දෙයක් තමයි මගේ පෙනුම. සර් කිව්ව ආකාරයට මගේ පෙනුම චේ ගුවේරාට ගොඩක් සමානයි. ඒත් මීට පෙර චේ ගුවේරා විධියට මගේ හිතේ ඇඳිල හිටියෙ කොණ්ඩේ, රැවුල වවාගත්ත තොප්පියක් දාගෙන ඉන්න මැදිවියේ අයෙක්ව. මුලින්ම මගෙ හිතේ පොඩි දෙගිඩියාවක් ආවා. ඇත්තටම මම ඔහු වගේද කියන එක ගැන පස්සෙ මම අන්තර්ජාලයේ චේ ගුවේරාගෙ පින්තූර කිහිපයක් පරීක්ෂා කරද්දි තමයි දැනගත්තෙ ධම්ම සර් ඇයි එහෙම කිව්වෙ කියල. මගේ ඔළුවෙ තිබුණේ චේ ගුවේරාගේ මැදිවියේ රූපයක් වුවත් ඇත්තටම ඔහු තරුණ කාලයේදී මගේ රූපයට ගොඩක් සමානකම් පෙන්නනවා. කෙසේ හෝ ධම්ම දිසානායක වැනි උගත් බුද්ධිමත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මාව, මගේ පෙනුම, රංගනය වර්ණනා කිරීමට කමෙන්ටුවක් හෝ නොදා ඔහුගේ වටිනා වෙලාවෙන් මඳක් වෙන් කර ඒ සඳහාම වීඩියෝ පටයක් සකසා ෆේස්බුක් පිටුවේ පළ කර ප්‍රේක්ෂකයන් ඉදිරියේ මාව, මගේ චරිතය මතකයේ රැඳෙන සේ ඔසවා තැබීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා වගේම ඒ පිළිබඳව සර්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
මීට පෙර පෙනුම සම්බන්ධයෙන් ඒ වගේ අදහස් ඇවිත් තිබෙනවාද?
ඔව්. ගොඩක් ප්‍රේක්ෂකයො වගේම මාව දන්න හඳුනන අය මගේ පෙනුම ගැන විවිධ අදහස් පළ කරල තිබෙනවා. සද්ධාමංගල සූරියබණ්ඩාර සර් මගේ පෙනුම සමාන කරපු ලොකුම චරිතය විධියට මම දකින්නෙ විජය කුමාරතුංගයන්ව. මගේ බාහිර පෙනුම, හැසිරීම් රටාව, දෙබස් හැසිරවීම වැනි බොහෝ දේ එතුමාට සමානයි කියමින් කිහිපදෙනෙක්ම අදහස් ප්‍රකාශ කරල තිබෙනවා.
ඔබ ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු කුමාරයෙක් විදිහට, ඒත් එක්කම රංගනයට වරම් ලැබුණු ආකාරය ගැනත් කියමු?
මම ඉතා කුඩා අවධියේ ඉඳන් රංගනයට ගොඩක් ආස කරපු කෙනෙක්. පාසලේ සිටම රංගනය හදාරමින් විවිධ තරගවලට මුහුණ දෙමින් ජයග්‍රහණයන් රැසක් හිමි කරගනිමින් කාලය ගෙවුණත් මට මගේ හීනය කරා යන්න එතැනින් එහාට පාරක් තිබුණේ නැහැ. ඔය විදිහට කාලය ගෙවෙනවත් සමඟම මම රූපවාහිනි නාළිකාවක අවුරුදු කුමරා තරගයක් සඳහා නිකමට අයදුම් කළා. මම නොහිතුව විධියට මට ඒ තරගය දහසක් අතරින් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඒකෙන් මට මං ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා.
තරු තරග, අවුරුදු කුමර කුමරි තරග හරහා රංගනයට එක් වෙන පිරිස පිළිබඳව සමාජයේ එක්තරා කොටසක විවේචනයක් තිබෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?
මගේ කෝණයෙන් බැලුවොත් එතන දෙපැත්තක් තිබෙනවා. ඇත්තටම කෙනෙක් කුමක්ම හෝ තරු තරගයකින් ජයග්‍රහණය කරන්නෙත් කුමක්ම හෝ ගුණයක්, ලක්ෂණයක් තිබෙන නිසා. නැත්තම් දහස් ගණනින් තරුණ-තරුණියො සහභාගි වන තරගයකින් ජයග්‍රහණය කිරීමත් ලොකු අභියෝගයක්. පෞද්ගලිකවම මම අවුරුදු කුමරා තරගයකින් ජයගත් කෙනෙක් හැටියට ඒක හොඳටම දන්නවා. ප්‍රේක්ෂකයන්ට ගැටලුව මතු වෙන්නෙ ඔන්න ඔතැනින් එහාට. මේ තරගවලින් ජයග්‍රහණය කරන හැමෝටම රඟපාන්න පුළුවන්ද, ඔවුන් හැමෝම නළු-නිළියොද, ඇයි හොඳ රංගන ශිල්පීන් ඉද්දි මේ නිකන් තරගෙකින් දින්න ගමන් රඟපාන්න දෙන්නෙ වගේ ප්‍රශ්න මිනිස්සුන්ට මතු වෙනවා. සරලවම කිව්වොත් ඒ දෙක දෙකක්. ඔව් ඇත්ත, තරු තරගවලින් දිනන හැමෝටම රඟපාන්න බැහැ. බාහිර පෙනුම විතරක් උපයෝගි කරගෙන කීයටවත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන්න බැහැ.
අවසන් වශයෙන් ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?
ඉදිරි මාස කිහිපය ඇතුළත වෙනත් නාළිකාවක විකාශය වන අලුත් ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයකින් ඔයාලට මාව දකින්න පුළුවන්. ඊට අමතරව ළඟදීම එළිදක්වන්න නියමිත නොසිතූ ඇමතුම නම් වෙබ් සීරීස් එකක ප්‍රධාන චරිතයකින් දායක වෙලා තියෙනවා. ඒ වගේම TV කමර්ෂල් දෙකක් සහ ලස්සන ෆොටෝ ෂූට් කිහිපයක්ම ඔයාලට බලන්න පුළුවන්. ඉදිරියේදී තවත් බොහෝ දේ මගේ ප්‍රේක්ෂකයන්, මට ආදරේ කරන අය සමඟ බෙදාගන්න තව තවත් අලුත් නිර්මාණ හා සම්බන්ධ වීමට මම බලාපොරොත්තු වෙනවා.
අක්ෂි මාපා වීරසිංහ