හැඟීම් නැති හදවතේ තෙතමනය පේන්නෙ ඇස් දෙකෙන් -කුසුම් රේණු

gossiplanka image 2
 


ඇය සිංහල කලාවට බිහි වූ සදාකාලික කුසුමයි. සුගන්ධවත් කුසුම් දහසක පැහැය සුවඳ විහිදුවමින්, වේදිකාව, සිනමාව හා පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන් වසඟයට ගත් ඇය දශක ගණනාවක් පුරා එකම ආකාරයෙන් ජනප්‍රියත්වයේ රැඳී සිටින්නේද ඇය සතු දක්ෂකම, කැපවීම හා සුන්දරත්වය හේතුවෙනුයි. මේ අන් කවරකුවත් නොව ප්‍රවීණ රංගන ශිල්පිනි, කුසුම් රේණු මෙන්ඩිස්ය.


මේ දවස්වල ඔබේ කාලය ගත වෙන්නේ කොහොමද?


මේ දවස්වල ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ සමහරු සහ සමාගම කියන චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව වේදිකාගත වන වේදිකා නාට්‍ය කිහිපයකුත් තිබෙනවා. ඒ අතර ශ්‍රියන්තගේ සුබ සහ යස, දොළොස්වෙනි කාමරය වගේම තරංග බණ්ඩාරගේ  දෙවඟනක් කළුවරේ, ආරියරත්න කළුආරච්චි මහත්මයාගේ ජසයා සහ ලෙංචිනා වගේ වේදිකා නාට්‍ය කිහිපයක්ම තිබෙනවා. ඒ වැඩකටයුතු සහ විශේෂයෙන්ම මේ දවස්වල ධර්ම යුද්ධය 2හි ප්‍රචාරණ කටයුතු වෙනුවෙනුත් කාර්යබහුල වෙලා සිටිනවා.


කොහොමද ධර්ම යුද්ධයේ විශාඛාට ලැබෙන ප්‍රතිචාර?


රංගනයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳයි. විශාඛා කියන්නේ කොහොමත් ප්‍රේක්ෂකාගාරය ප්‍රතික්ෂේප කරන චරිතයක්. එතකොට ප්‍රේක්ෂකයන්ගේ ආදරය කියන එකට උත්තරයක් දෙන්න බැහැ. නමුත් රංගනය පැත්තෙන් කතා කරන බොහෝ දෙනෙක් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබා දෙනවා. සමහරුන්ට විශ්වාස කරන්න බැහැ මම කොහොමද එතරම් දරුණු සහ නපුරු විධියට රංගනයේ යෙදෙන්නේ කියලා. ඒකත් එක්කම විශාඛාගේ චරිතයට සාර්ථකව පණ පොවලා තිබෙනවා කියන ප්‍රතිචාරය මට ලැබෙනවා. ඒක ඇත්තටම විශාල සතුටක්. අපිට තිබෙන ලොකුම  දේ තමයි ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර. විශේෂයෙන්ම ධර්ම යුද්ධය 1ටත් මේ වගේම ප්‍රතිචාර තිබුණා. අනිත් එක මේක භාෂා කිහිපයකින්ම නිර්මාණය වුණු ආසියාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වුණු නිර්මාණයක්. එහෙම වෙලත් ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටය නැරැඹීමට දක්වන උනන්දුව ඉතාමත් සතුටට කරුණක්.


විශාඛා කියන කළු චරිතය හරහා නිරූපණය වන මාතෘ භූමිකාව ඔබ කියවාගන්නේ කොහොමද?


එතැනදි පැත්තක ඉඳලා මම විශාඛා දිහා බැලුවොත් ඇය තමන්ගේ දරුවාට අතිශය ආදරය කරන මවක් විධියට තමයි මට පෙනෙන්නේ. ඒ වගේම ඇය කොයි ආකාරයෙන්වත් දන්නේ නැහැ ඇගේ දරුවා එතරම් නරකයි කියලා. ඇය තමන්ගේ වෘත්තියට තිබෙන දැඩි ඇල්ම හා කැපවීම නිසාම ඇයට ඇගේ දරුවව මඟහැරෙනවා. ඒ වගේම ඇය ඇගේ සැමියා කියන දේටවත් කන්දෙන්න ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. ඇයට අම්මෙක් හැටියට තමන්ට ඉන්න එකම දරුවා අහිමිවෙනවා. ඒ වගේම  ඇයට  තමන්ගේ දරුවාගේ අවසානයවත් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඇය මුල පටන්ම තමන්ගේ දරුවාට වුණු දේ හොයාගන්නවා. නමුත් ඒක ඔප්පු කරන්න සාක්ෂි නැහැ. වෘත්තීය මට්ටමෙන් පවා තමන්ගේ දරුවාට වුණු දේ හොයාගන්න හොඳටම හැකියාව තිබ්බත් ඇයට ඒ දේ ඔප්පු කරගන්න නොහැකිව ඇය පත්වෙන අසරණභාවය මවක් විධියට කනගාටුදායකයි. නමුත් ධර්ම යුද්ධය 2දී නම් ඇයට තිබෙන්නේ හරිස්චන්ද්‍ර තමන්ව අඩුතක්සේරු කිරීම පිළිබඳව දැඩි තරහක්. එතැනදී ඇයට රැකගන්න වෘත්තියක්, තනතුරක් නැහැ, වෙන රටක පදිංචි වෙලා ඉන්නේ. එතැනදි එයා උත්සාහ කරන්නේ මොන විධියකින් හරි තමන්ගේ දරුවාට වුණු දේට සාධාරණයක් ලබා ගන්න.


මවුපියන්ට බොහෝ විට වැරැදෙන තැනක් තමයි තමන්ගේ දරුවන් පිළිබඳව තිබෙන අධික ආදරය සහ විශ්වාසය, ඒ ගැන ඔබේ අදහස?


ඒ වගේම අධිතක්සේරුවත් එයට හේතුවක්. මම හිතනවා ආදරය කියන්නේ හැම තිස්සෙම  තමන්ගේ දරුවා ලොකු කරගෙන, විශ්වාස කරගෙන එයා කරන පොඩි පොඩි වැරැදිත් හුරතලයට  දාලා හිතන එක නෙවෙයි. එතැන ලොකු වරදක් තිබෙනවා. අවසානයේ එවැනි දරුවන් සමාජයට හානිකර වෙන්න පුළුවන්. අම්මා කෙනෙක්ගේ, තාත්තා කෙනෙක්ගේ  වගකීම, යුතුකම ළමයෙක්ට කන්න බොන්න දීලා, අඳින්න පලඳින්න දීලා, ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම විතරක් නෙවෙයි. ඉන් එහාට  ඔවුන්ගේ ආකල්ප, හැසිරීම්, පැවැත්ම  පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතුමයි. ඒ වෙනුවෙන් කාලය වෙන්කළ යුතුමයි. අපි නිතරම හිතන දෙයක් තමයි සමාජය හරිම කාර්යබහුලයි. මවුපියෝ හරිම කාර්ය බහුලයි කියන එක. නමුත් ඒක එතරම් අනුමත කළ හැකි කතාවක් නෙවෙයි.


අද වෙද්දි සිනමාව ලබලා තියෙන මේ විශාල ප්‍රගමණය ගැනත් කතා කරමු?


ඇත්තටම අපේ මූලික අරමුණ ප්‍රේක්ෂකාරාගය පිරී ඉතිරී යෑම සහ අපේ අර්ථපතීන්ව රැක ගැනීම. ඒ කියන්නේ චිත්‍රපට නිෂ්පාදනයට  අතහිත දෙන අය රැක ගැනීමත් කලාකරුවන් විධියට වගකීමක් සහ යුතුකම වෙනවා.  එතැනදි අපි ප්‍රේක්ෂකයාට ලබා දෙන හොඳ ගුණාත්මක නිර්මාණයක් වීම වැදගත්. හොඳ දෙයක් කරලා, හොඳ විධියට ආදයම් වාර්තා පිහිටවලා, සමාජයට පණිවුඩයක් ලබා දෙන්න හැකිවීම රංගන ශිල්පිනියක් විධියට  මට වටිනවා. ධර්ම යුද්ධය පළමු චිත්‍රපටයේදිත් මට ජූරියේ  විශිෂ්ට සම්මානයක් හිමිවුණා. චිත්‍රපට පැත්තෙන් බලද්දි මට ඉතාමත් හොඳ නිර්මාණ රැසකට දායකත්වය ලබා දෙන්න, ඒ හරහා සම්මානයට පාත්‍ර වීමට අවස්ථාවන් ලැබුණා. මේ ගමනට දායක වෙන්නට හැකිවීම විශාල සතුටක්.


රැෆලාගේ  කැලැන්ඩරය හරහා ඔබේ වෙනස්ම ස්වරූපයක් දැක ගන්නට ලැබුණා ඒ ගැනත් කියමු?


ඇත්තටම මම රැෆෙලාව දකින්නේ, වෙනස් ඕරා එකක්, හැඩයක් තියෙන, වෙනස් විධියට හිතන  දරුවෙක් විධියට. මම පෞද්ගලිකව ඇයට හරිම ආදරෙයි. ඇයයි මායි  මේ විශ්වය ගැන, ගහකොළ සතා සිවුපාවා ගැන ගොඩාක් දේවල් කතා කරනවා. මම හිතන්නේ ඒ හරහා තමයි ඇයට මාව ෆ්‍රීඩා කාලොගේ චරිතයට තෝරා ගැනීම වැදගත් කියලා හිතුණේ. මට මේ මේ ළඟදී මොහාන් රාජ් මඩවලගේ බිරිය මුණගැහුණා. ඇයත් ඉස්සර නිවේදිකාවක්, දක්ෂ කාන්තාවක්. ඇය මට කිව්වා. “කුසුම් රැෆලා කරපු ඔයාගේ ෆොටෝග්‍රාෆ් එක ගැන අපි ගෙදර කතා වුණා. ඒක චිත්‍රයක් ඇත්තටම” කියලා. සමහරු ක්ලියෝපැට්‍රා කියලා හිතනවා, තවත් සමහරු මොනාලිසා කියලා හිතනවා. ඔය වගේ මේ ඡායාරූපය ගැන එක එක අයට එක එක කියැවීම් තිබෙනවා. ඔය ගැන කියමින් ඇය මට කිව්වේ “ඇත්තටම ඒ ඡායාරූපය ෆ්‍රීඩා කාලෝ හෝ වෙන කවුරුත් නෙවෙයි ඒ කුසුම්” කියලා. මේ ඡායාරූපය ගනිද්දි, මට මෙඩිටේශන් කිරීමේ ප්‍රතිඵලයක් විධියට ඉතාමත් ඉක්මනින් කිසිම හැඟීමක් නැති තැනකට එන්න පුළුවන් වුණා. මට හරිම සතුටුයි මම කිසිම හැඟීමක් නැති තලයක සිටියදී ගත්ත ඡායාරූපය ගැන ලැබෙන අදහස්වලට. එතැනදි රැෆී මගෙන් ඇහුවා දවසක්   නැන්දා කොහොමද මේ ෆොටෝ එකේ ඇස්වල තෙතමනයක් තිබෙන්නේ කියලා. මම ඒ වෙලාවේ ඇයට උත්තර දුන්නේ කිසිම හැඟීමක් නැති වෙලාවේ හදවතට දැනුණු තෙතමනය ඇස් දෙකේ තියෙන්න ඇති කියලා. ඒ උත්තරයට සාධාරණ විවේචනයක් විධියට තමයි. මේ පින්තූරය ජලය වගේ කියන අදහස මම සලකන්නේ. රසවිඳින කෙනා දකින්නේ කොහොමද මේක ඒ කෙනාගේ අදහසට ගැළපෙනවා. මිසිස් මඩවලගේ ඒ ප්‍රතිචාරය මට ඉතාමත් වටිනවා ඒ වගේම රැෆෙලා කියපු දේ තමයි නැන්දා මම බලාපොරොත්තු වුණු දේ ඔයා මට සියයට දෙසීයක් දුන්නා කියලා. මට ඒ ගැන සතුටුයි.


අවසන් වශයෙන් ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැනත් කතා කරමු?


ඉදිරියට එන්න වැඩ කිහිපයක් තිබෙනවා. ඒ අතර මම සම්බන්ධ වුණු චන්න පෙරේරාගේ චිත්‍රපටයක් තිබෙනවා. ක්‍රිස් ඇන්තනීගේ අන්ලෝක් චිත්‍රපටය තිබෙනවා. ඒ වගේම තව නිර්මාණ කිහිපයක්ම තිබෙනවා.ඊට අමතරව තව වැඩ කිහිපයක්ම එන්න තියෙනවා.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 1
Previous Post Next Post