ඔච්චර රැවටෙන්න එපා කියලා කවුරුත් කියනවා -ඉන්දික දේශප්‍රිය

gossiplanka image 2
 


නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියකු වන ඔහු මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ ලොහාන්ගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙයි. ඔහු ඉන්දික දේශප්‍රියයි.


මේ දවස්වල ඔබ සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යයේ ලොහාන්. ඒ ගැන මොකද හිතෙන්නේ?


සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යයට මට කතා කළේ තිමිර උඩලමත්ත. ගොඩක් මිනිස්සු බලන නාට්‍යයක්. හොඳ ප්‍රතිචාර ගොඩාක් ලැබෙනවා. ටෙලි නාට්‍යයේ පිටපත් රචක, නිෂ්පාදිකාව සහ අධ්‍යක්ෂතුමා ඇතුළු සියලූම කාර්ය මණ්ඩලයට ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. ප්‍රේක්ෂක ජනතාවටත් ගොඩක් ස්තූතියි අපිට දෙන මේ ආදරයට.


ලොහාන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ලොහාන්ට එකම ප්‍රතිචාරයයි හම්බ වෙන්නේ. ඔච්චර රැවටෙන්නේ ඇයි ? රැවටෙන්න එපා කියලා තමයි කවුරුත් කියන්නේ. ඒක ගොඩක් දෙනාට දැනිලා තියෙන චරිතයක්.


අනෙකුත් රංගන ශිල්පීන්ගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?


ඒ ගැන මම විශේෂයෙන් කියන්න ඕන. ටනාශා ගත්තොත් මට පුදුමාකාර සහයෝගයක් දෙනවා. එයත් එක්ක රඟපාන්න හරිම ලේසියි. හරිම සපෝටිව්. අනෙක් රංගන ශිල්පීන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.


රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවාද?


මාව ගැළපෙනවා කියලා හිතිලා මාව ගන්න ඕනෑම චරිතයක් කරන්න මම ලෑස්තියි. එහෙම විශේෂයෙන් ආසයි කියලා චරිතයක් නෑ.


චංචල රේඛා ටෙලි නාට්‍යය මොන වගේ අත්දැකීමක්ද?


ඒ ගැන අනිවාර්යයෙන් සඳහන් කරන්න ඕන. සමන් කුමාර ලියනගේ කියන්නේ මම මේ ක්ෂේත්‍රයේ අතිශය ගරුකරන අධ්‍යක්ෂකවරයෙක්. ඔහුත් එක්ක වැඩ කරන්න ආසයි. ඒ වගේම ලක්රුවන් හෙට්ටිආරච්චි නිෂ්පාදකතුමත් මතක් කරන්න ඕන. ඔහු ලබාදෙන සහයෝගයට හදවතින්ම ගරු කරනවා . ඒ වගේම අනෙකුත් රංගන ශිල්පීන්ගෙනුත් පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. මම ධර්මේ. ඒ වගේ වෙනස් චරිතයක් ලැබුණු පළමුවෙනි අවස්ථාව. මම හිතනවා මං ඒ චරිතයට සාධාරණයක් කළා කියලා.


ඔබේ ප්‍රථම රංගන අත්දැකීම ගැනත් කතා කරමු?


කෙනෙක් මාව පාරේ බස් හෝල්ට් එකේදී දැකලා කතා කරලා අහනවා “මම චිත්‍රපටියක් කරනවා ඒකේ ප්‍රධාන චරිතෙට එන්න පුළුවන් ද“ කියලා. පස්සේ තමයි මම ඒක දැන ගත්තේ ඒ මට කතා කරලා තියෙන්නේ අපේ හිටපු ප්‍රවීණ ශබ්ද පරිපාලක ලයනල් ගුණරත්න මහත්මයා කියලා. ලැන්ටින් සිඤ්ඤෝ චිත්‍රපටියේ රෝමියෝගේ චරිතයෙන් තමයි මම මුලින්ම රංගනයට පිවිසෙන්නේ. ශනුද්‍රි ප්‍රියසාද්ගේ පෙම්වතාගේ චරිතය රඟපාන්න තිබුණේ. ඇත්තටම රංගනය ගැන කිසිම හැදෑරීමක් තිබුණ කෙනෙක් නෙවෙයි මම. අදටත් නෑ. හැබැයි මම ආසයි. මට ආසාව ඇති වුණේ ඒ වෙලාවේ.


මෙතෙක් ආ ගමනේ ඔබට සහය දැක්වූ පිරිසක් ඇති?


ඉන්දික දේශප්‍රිය කියන පුද්ගලයාට දෙපයින් හිටගෙන කොන්ද කෙළින් තියාගෙන සමාජයේ ජීවත් වෙන්න ඕන වපසරිය හදන්නේ ගොඩිගමුව සුදාර්ථී කනිෂ්ඨ විද්‍යාලයේ හිටපු ක්‍රීඩා ගුරුතුමිය වන මුත්තුආරච්චි මිස් සහ හිටපු විදුහල්පති ආරියරත්න සර්. ඊට පස්සේ පාදුක්ක ශ්‍රී විජයරතන මධ්‍ය මහා විද්‍යාලයේ සෙව්වන්දි, ශිරෝමි කියන ගුරුවරුන්ට අමතරව පුස්තකාලයාධිපති සාන්තජීව ස්වාමීන් වහන්සේ මතක් කරන්න ඕන. ඒ පස්දෙනා තමයි මාව පෝෂණය කළේ. ඒ හරහා තමයි වැටෙන්නේ නැතිව සමාජයේ ජීවත් වෙන්න පුළුවන් විදිහට මාව ගොඩ නැඟෙන්නේ. ඉන් පස්සේ සමාජයේ යම් තැනකට මාව ගේන්නේ ක්‍රීඩාව. අමිල ශාන්ත ජයතිලක මහත්මයා මගේ ක්‍රීඩාවේ ගුරුවරයා. ඔහු විනයක් ඇතුළේ අපිව හැදුවා. ඒකට ගොඩක් ස්තුතියි. චන්දන අලුත්ගේ මහත්මයා , ලයනල් ගුණරත්න කියන අයත් ආදරෙන් මතක් කරන්න ඕන. මේ හැමදේම මට ලැබෙන්නේ ඔහු නිසා. පස්සේ මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙනවා. මේ වනතුරුත් කිසි දෙයක් හදාරපු කෙනෙක් නෙවෙයි මම. කරන නාට්‍ය ඇතුලෙන්ම තමයි මම දේවල් ඉගෙන ගන්නේ. පන්නරය ලබා ගන්නේ. ඉතින් ඒකට මට ලොකුම අවස්ථාවක් දුන්න කෙනෙක් තමයි සුදක්ත තිලකසිරි . එතුමාට බොහොම ස්තූතියි. ඒ වගේම සුමින්ද සහ මාලි කියන දෙන්නා මට ලොකු හයියක් වුණා. ඒ හයියට හදවතින්ම ස්තූතියි. ඉතින් මේ මොහොත වෙනකල් මට අවස්ථාවන් දීලා වචනෙකින් හරි සහයෝගය දුන් සියලුම දෙනාව ආදරයෙන් මතක් කරනවා.


ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ මොනවාද?


තීක්ෂණ මනරම්ගේ චාලි ටෙලිනාට්‍යය එන්න තියෙනවා. චාමික ලක්මාල් අධ්‍යක්ෂකවරයාගේ ටෙලිනාට්‍යයක් එන්න තියෙනවා. ප්‍රගීත් ද සිල්වාගේ ටෙලි නාට්‍යයක් නුදුරේම විකාශය වෙනවා. ඒ වගේම දයාන් මහගලගේ කරපු චිත්‍රපටයක් ඉදිරියේදී එන්න තියෙනවා.


ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඉන්න නවක රංගන ශිල්පීන්ට දෙන පණිවිඩය මොකක්ද?


අපි කරන්නේ මොකක්ද, ඒකට හරි බරක් දීලා කරන්න. මොන දේ කළත් හොඳ විනයක් ඇතුව කරන්න. ඒක සහෝදර රංගන ශිල්පීන් ඇතුළු වැඩ කරන සියලුම දෙනාට ලොකු සහයෝගයක් වේවි. එහෙම කෙනෙක් වෙන්න කියලයි කියන්න ඕන.

gossiplanka image 1
Previous Post Next Post