ෆාදර් චිත්‍රපටය නරඹන බොහෝ ප්‍රේක්ෂකයන්ගේ කුතුහලයට හේතු වූ ඇය මේ දිනවල බොහෝ ජනප්‍රියයි. ෆාදර් චිත්‍රපටයේ ඇය සුළු කාලයක් තුළ ඇයගේ රංගනය උපරිමයෙන්ම ලබාදී තිබෙනවා. ඇයව සොයා ප්‍රේක්ෂකයන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඇය ගැන නිතරම කතාබහ කරනවා. ඉතින් ඇය නමින් ආශා දිල්රුක්ෂි. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.
මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කෙසේද?
මේ දවස්වල නම් ෆාදර් ෆිල්ම් එකේ උණුසුම තමයි. ඉතින් ෆාදර් චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර එක්ක සතුටෙන් කාලය ගෙවී යනවා. දැනට තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා.
ෆාදර් චිත්‍රපටයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ඒ ගැන මටවත් හිතාගන්න බෑ. මම ඒ තරම් ප්‍රතිචාර ඒ රංගනයට ලැබෙයි කියලා හිතුවේ නෑ. පොඩි ස්ක්‍රීන් ටයිම් එකක තමයි ඒ චිත්‍රපටයේ මගේ රංගනය තිබෙන්නේ.නමුත් බලපු අයට ඒක දැනිලා තිබුණා. ඉතින් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.
රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට තම දක්ෂතාව පෙන්වීමට අනු චරිතයක් වුවත් ප්‍රමාණවත්ද?
ඇත්තටම මම හිතන විධියට වැඩේ ඇතුළේ අපි ඉන්නේ කොපමණ කාලයක්ද කියන එක නෙවෙයි වැදගත් වන්නේ. අපි ඒ වැඩේ හරියට කරනවා නම් තමන්ගේ දක්ෂතාව පෙන්වීමට පොඩි කාලයක් වුණත් ඇති කියලා මම හිතනවා.
වේදිකාව ඔබේ කලා දිවියට පන්නරයක් වුණේ කොහොමද?
මම හිතන්නේ වේදිකාවෙන් තමයි මට මගේ කලා දිවියට ලොකුම පන්නරය ලැබුණේ. මම මුලින්ම වේදිකාවත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. නමුත් ස්ක්‍රීන් එක කියන්නෙ වෙනම එකක්. ඒක වේදිකාව නෙවෙයි. ඒත් අපි රංගනය ගැන හදාරන දේවල් ගැන අවබෝධයක්, දැනුමක් වේදිකාව නිසා ලැබුණා කියලා මම හිතනවා.
නවක පරපුර හා ප්‍රවීණ පරපුර අතර ඇති අන්‍යෝන්‍ය බැඳීම ඔබ දකින්නේ කෙසේද?
මට නම් මේ වනතුරු හමු වුණු සියලුම ප්‍රවීණයන් හරිම ආදරණීයයි. ඒ වගේම හරිම සුහදශීලීයි. ඒක මගේ වාසනාවක්ද කියන්න මම දන්නේ නෑ. මට නම් හැමෝගෙන්ම දැනුණෙ හරි ආදරණීය බවක් තමයි. ෆාදර් අධ්‍යක්ෂ චමින්ද අයියා වගේම සෞම්‍ය සර්, නිරංජනී අක්කා එහෙම මතක් කරන්න ඕනෑ. හරිම ආදරණීයයි. පූජන අයියා වගේම අනෙක් හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා.
බොහෝ නවක රංගන ශිල්පීන් ක්ෂේත්‍රයට පැමිණ ජනප්‍රිය වී ඉතාම ඉක්මනින් නිවී යන තරු බවට පත් වෙනවා?
ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න නම් තමන් කරන දේ හරියට කරන්න ඕනෑ. එහෙම කළොත් අපිට රැඳිලා ඉන්න පුළුවන්. අපට ප්‍රේක්ෂකයා තමයි ගොඩක් වැදගත් වන්නේ. අපි ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න නම් ඕනෑම දෙයක් කරන්න කලින් ගවේෂණයක්, හැදෑරීමක් කරන්න ඕනෑ. ඒ දේවල් එක්ක ඉදිරියට ගියොත් අපිට රැඳිලා ඉන්න පුළුවන්. ඒ දේවල් එක්ක ඕනෑම අයකුට ක්ෂේත්‍රය තුළ ගමනක් යන්න පුළුවන්.
ඔබට ලැබෙන රසික ආදරය දැනෙන්නේ කොහොමද?
මම තවම නිර්මාණ බොහොමයක් කරපු රංගන ශිල්පිනියක් නෙවෙයි. මට ලොකු ආදරයක් ලැබෙන්න ගත්තේ මේ කරපු චරිතයත් එක්ක. ඉතින් ඒක මට පුදුම විධියට දැනුණා. ඒ ආදරය සතුටෙන් විඳිමින් ඉන්නවා. මගේ දුරකථන අංකය හොයා ගෙන බොහෝදෙනකු කතා කරලා සුබ පතනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා මට සුබ පැතුම් එක් කළා. ඒ ගැන ගොඩක් සතුටුයි.
සමාජ මාධ්‍ය කෙනකුගේ ජනප්‍රියත්වයට වගේම චරිතයට හානි කරන්නත් යොදා ගන්න පුළුවන් නේද?
ඔව්. සමාජ මාධ්‍ය කියන දේ අපි බොහොම පරිස්සමෙන් භාවිත කරන්න ඕනෑ. තමන්ට ගැළපෙනවා කියලා හිතන විධියට ඒ දේවල් කළොත් හරි කියලා හිතනවා.
ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මට මගේ පවුලෙන් පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. ඒ ගැන මට වචනයෙන් කියන්න බෑ. මගේ වෘත්තිය එක්ක රංගන වැඩකටයුතු කරගෙන යන්න මට සහයෝගය ලබා දෙන්නේ මගේ පවුලේ අය තමයි. මට හැමවෙලේම ලොකු සහයෝගයක් ඔවුන්ගෙන් ලැබෙනවා.
ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම?
ආදරය සුන්දරයි. විවාහය එතැනින් එහාට නීතිමය වශයෙන් කරන කටයුත්තක්. මමත් විවාහකයි. ඉතින් ඔහුගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියේදී රූගත කිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා. ටෙලි නාට්‍ය දෙකකටත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවාත් සාකච්ඡා මට්ටමේ තිබෙනවා. ඉදිරියට ඉතින් අලුත් නිර්මාණ තුළින් හමුවෙමු.
රුවිනි අමරකෝන්