වර්තමාන සංගීත ක්ෂේත්‍රය යනු විවිධ ශෛලීන්ගේ සුසංයෝගයකි. මේ අතරින් තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගනිමින් නවමු නිර්මාණ සමඟින් රසික හදවත් ආමන්ත්‍රණය කරන කලාකරුවන් අතර විශේෂ තැනක් හිමි කරගත් ශිල්පියෙකි එම්.ජී. ධනුෂ්ක. දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 05 කිරුළ හිමිකර ගනිමින් ඔහු ලාංකේය සංගීතයට පිවිසියේ නව ප්‍රවේශයකිනි. ප්‍රේක්ෂකයාගේ සිත් ගත් ගීත ගණනාවක් දායාද කළ ඔහු සිය සුවිශේෂී හඬින් සහ නිහතමානී ගතිගුණයෙන් යුතුව තවමත් අප අතර රැඳී සිටියි. ඉතින් ඔහුගේ අලුත්ම ගීතය වන “හීන කන්දරාවි” සමඟින් නැවතත් කරළියට පැමිණ තිබේ.
කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?
හොඳයි. හොඳින් ඉන්නවා. මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මගේ සැලෝන් එක සහ ගායන වෘත්තියට අමතරව මගේ රංගන කටයුතුවලටත් මම සහභාගි වෙලා ඉන්නවා මේ දවස්වල. ටෙලි නාට්‍යය දෙකකට විතර ආරාධනා ලැබිලා ඒ වැඩ ටිකත් කරගෙන යනවා. ඉතින් ඔය ටිකත් එක්ක එළියේ ප්‍රසංග ටිකට සහභාගි වෙමින් එහෙම තමයි මේ දවස්වල ජීවිතේ ගත වෙන්නේ.
අලුත්ම ගීතය හීන කන්දරාවී මේ දිනවල අතිශය ජනප්‍රියයි, ඒ ගැනත් කියමු?
ඔව්, මගේ අලුත් ම ගීතය “හීන කන්දරාවී”. ඇත්තටම මට මේක නිර්මාණය කරන්න සම්පූර්ණ මූල්‍යමය දායකත්වය දුන්නේ නිලංග කියල මල්ලි කෙනෙක් සිංගප්පූරුවල ඉන්න. ඉතින් එයාවත් බොහොම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මේ සින්දුව ප්‍රගීත් පෙරේරා මියුසික් කළේ. ඒ වගේම හර්ෂණ පෙරේරා තමයි මේකේ පද රචනය කළේ. ඉතින් ඒ දෙන්නා තමයි මේක ලස්සන කළේ. ඒ වගේම ඉරුශ්ක බෝපිටිය තමයි මේක වීඩියෝ කළේ. ඉතින් ඒක බොහොම ලස්සන වෙනස් විධියේ ගීතයක් මගේ “සඳවත” ගීතය හා සමාන විධියට තමයි මම හැදුවේ මේ සින්දුව. ඒකත් බොහොම ලස්සන සින්දුවක්. කට්ටිය රස විඳින ගමන් ඉන්නේ මේ කාලේ. ඉතින් බොහොම ලස්සන සින්දුවක්.
ඔබේ සංගීත ජීවිතයේ ආරම්භය හා එහිදී ඔබ මුහුණ දුන් අභියෝග ගැන කතා කළොත්?
පොඩි කාලේ ඉඳලා මියුසික්වලට ආසාව තිබුණා. පාසල් යන කාලේ ඒලෙවල් දක්වා සංගීතය හැදෑරුවා. ඒවත් එක්ක සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා ගමේ ඒ වැඩ කටයුතු කරලා එතැනින් තමයි ආසාව ඇති වෙන්නේ ලංකාවේ මේ රියැලිටි තරගවලට සම්බන්ධ වෙන්න. අන්තිමට ටීවී දෙරණ ආයතනයේ Dream Star තරග වට පහකට සහභාගි වෙලා පස් වැනි අවුරුද්ද Season 5 තරග වටයේදී තමයි ජීවිතය මං ජයග්‍රහණය කරන්නේ. ඒ කාලේ සෑහෙන්න කට්ටක් කෑවා. මේ ගමන එන්න දුක් විඳගෙන සල්ලි නැතුව එහෙම පාරවල් ගානේ නිදිමරාගෙන එහෙම සෑහෙන්න කට්ටක් කෑවා ජීවිතේ මෙතැනට එන්න. ඉතින් ඔහොම තමයි ඒ දේවල් ගැන කතා කරන්න තියෙන්නේ.
එදා සුපිරි තරුවක් විධියට ඔබට ලැබුණු අති විශාල ආදරය, ප්‍රතිචාර ගැන සිහිපත් කරමු?
ඔව්. Derana Dream Star Season 5 තරගාවලිය තමයි මගේ ජීවිතයේ කණපිට හැරෙන අවුරුද්ද 2014. ඉතින් එදා ඉඳලා මේ වෙනකන් ලැබිච්ච ප්‍රතිචාර, ඒ ලැබුණු මිනිසුන්ගේ ආදරය ඒක පිස්සුවක්. මුළු ලංකාව පුරාම, ලංකාවෙන් පිට වෙසෙන අපේ ශ්‍රී ලාංකික ජනතාව, එකී මෙකී නොකී ලොකු කුඩා බාල මහලු මේ හැමෝම එක වගේ ආදරය කළා. ඒ වගේම ලංකාවේ හැමතැනම ප්‍රසංග ඒ කිව්වේ මට සහභාගි වෙන්න බැරි තරම් ප්‍රසංග. ඉතින් ඒ ගැන කතා කරන්න ගියොත් සෑහෙන්න වෙලා යනවා. ඒක ලොකු කතාවක්. ඉතින් ඒක පුදුමාකාර පිනක් සහ වාසනාවක් සහ මගේ කැපවීම තමයි ඒ හැමදේටම මූලික වුණේ.
ඔබ වඩා කැමැති සංගීත ශෛලීයෙන් මොනවාද? අනාගතයේදී අලුත් සංගීත ශෛලීන් අත්හදා බලන්න අදහසක් නැද්ද?
මෙහෙමයි ඉතින් මම වඩාත් කැමැති සංගීත ශෛලියක් නැහැ. සංගීතය කියන එක ඇතුළේ ශෛලීන් ගොඩක් තියෙනවා. විවිධ පැතිකඩවල් ගොඩක් තියෙනවා. මියුසික් කියන්නේ එහෙම කියල ඉවර කරන්න බැරි මාතෘකාවක්. මම මාව ජනප්‍රිය වුණ පැත්තටත් ආසයි මොකද මාව මිනිස්සු අඳුරගත්තේ ඒ කියන්නේ බයිලා කියන රිදම් එකත් එක්කනේ. ඉතින් මං ඒ පැත්තට බර නිර්මාණ තමයි මිනිසුන්ට ගොඩක් වෙලාවට දුන්නේ. ඉතින් ඒ වගේ මම ඉතින් classical musicවලට, හින්දි, දෙමළ හැම ආරෙකම ගීතවලට මම කැමැතියි. සංගීත ශෛලීන් හිපොප්, ඩෑෂ්, රොබ් කියන හැමදේකටම මම හරි ආසයි. සංගීතය අලුත් වෙනවා. අප්ඩේට් වෙනවා. හැමදාම දවසින් දවස අප්ඩේට් වෙනවා.
සංගීත ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් සමබර කරගන්නේ කොහොම ද?
මම කවදාවත් සංගීත ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් ඒ දෙක පටලව ගන්නේ නැහැ. මොකද ඉතින් එහෙම ලොකුවට මියුසික් ජීවිතය නිසා පෞද්ගලික ජීවිතයට කරදරයක් වෙන වැඩ මට වෙලා නැහැ. ඉතින් මම ඒ දෙක පටලවගන්නේ නැහැ. සරල විධියට පොළොවේ පය ගහලා අනවශ්‍ය බරක් ඔළුවට ගන්නේ නැතුව ජීවත් වුණහම එහෙම පැටලෙන්න දෙයක් නෑ. ඉතින් ඒක නිසා බොහොම සරලව රස්සාවත් කරගෙන පෞද්ගලික ජීවිතයත්, සංගීත ජීවිතයත් බොහොම නිදහස්ව නිරවුල්ව අරගෙන යනවා.”
අවසන් වශයෙන් අලුතින් සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ ශිල්පීන්ට ඔබ දෙන උපදෙස කුමක්ද?
අලුතින් ක්ෂේත්‍රයට එන අයට මට කියන්න තියෙන්නෙ ඉතින් විශේෂයෙන්ම ඉවසීම කැපවීම මහන්සි වෙන්න ඕන ඉතින් මේ ගමන යන්න. තමන්ගේම නිර්මාණ ටිකකුත් කරගන්න ඕනේ. විශේෂයෙන්ම සමාජය අඳුරගන්න ඕනේ. තමන් මේ හරහා හරි හම්බ කරන දේවල් ටික පරිස්සම් කරගන්න ඕනේ. ඒ වගේම මේක ඉගෙන ගන්න ඕනේ. පුළුවන් වෙලාවට හැම කලාවක්ම අපි එහෙම ප්‍රගුණ කරන්න ඕන. එතකොට අපිට මේකේ රැඳිලා ඉන්න පුළුවන් අලුතින් එන නංගිලා මල්ලිලා හැමෝටම කියන්න තියෙන්නේ උත්සාහවන්ත වෙන්න, කැපවෙන්න, මහන්සි වෙන්න, තමන් තමන්ට ආදරේ කරන්න, තමන් පිරිසුදුව ඉන්න, අනිත් අය ගැන හිතන්න, තමන්ගේ විෂයට උපරිම සාධාරණයක් කරන්න ඒක තමයි ඉතින් කරගන්න ඕන. මේක ඉස්සරහට ගිහිල්ලා ලස්සන ගමනක් යන්න පුළුවන්.”
නයනි මධුශානි