
පුංචි තිරයේ ‘පාරදිගේ’ බන්ටිගේ චරිතය හරහා අතිශය ජනාදරයට පත්වූ දුෂේනි මියුරංගි ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ කතා පැතිරෙන්න ගත්තා. ඒ ඇය හිටිහැටියේම පුංචි තිරයෙන් ඈත්වීමත් සමගයි. නමුත් ඇය ඒ සියල්ලටම නිහඬව සිට කෙටි විරාමයක් රැගෙන දැන් පිළිතුරු ලබාදී තිබේ. මේ දිනවල ස්වර්ණවාහිනිය හරහා විකාශය වන ජහුටා ටෙලිනාට්‍යය ඊට හොඳම නිදසුනකි. දුෂේනිගේ විරාමය බිඳි සමාධි ගැන වගේම ඈ නිහඬව සිටි කාලයේ ලද අත්දැකීම් සම්බන්ධයෙන් මීවිත සමග පුංචි කතාබහක නිරත වුණා. ඔයාලත් දුෂේනිගේ විස්තර මේ දවස්වල හොයන හින්දා ඒ තොරතුරු අපි හිතුවා මෙහෙම පෙළගස්සවන්න.
දුෂේනි කොහොමද ඉතිං, කාලෙකින්. ජහුටා ටෙලිනාට්‍යයට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
ජහුටා ටෙලිනාට්‍යයේ මේ වෙනකොට කොටස් සුළු ප්‍රමාණයක් විකාශය වෙලා තියෙනවා. සමාධිට මේ වෙලාවේ මිශ්‍ර ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයො ගොඩක් ආසාවෙන් බලාගෙන ඉඳලා තියෙනවා මගේ ටෙලිනාට්‍යයක් විකාශය වෙනකන්. ඉතිං සමාධිගේ චරිතය හරහා ඔවුන්ව පිනවන්න ලැබීම මට ලොකු සතුටක්.
සමාධිගේ පිටපත අතට අරගෙන කියවද්දී මොන වගේ හැඟීමක්ද ආවේ?
මම පිටපතක් අතට ගත්තේ මාස 4කට විතර පස්සේ. සමාධි ගැන මුල ඉඳලා ලොකු අනුකම්පාවක් දැනෙනවා ඊට පස්සෙ ගැඹුරට යනකොට එයා ආදරය හොයන චරිතයක් විදිහට තමයි මට දැනුණේ. සමාධි කියන්නේ මම හරි ආස කරපු චරිතයක්.
උසාවියෙන් එළියට බහින දර්ශනය රූගත කරනකොට මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ? සමාධිගේ ජීවිතයේ ඉරණම ලියපු දර්ශනයක්නේ?
ඇත්තටම ඒ දර්ශනය මම කරන්න හිතාගෙන හිටියාටත් වඩා වෙනස්ම විදිහකට තමයි එතැනදි ප්‍රායෝගිකව රූගත කරනකොට කරන්න සිද්ධ වුණේ. මගෙත් එක්ක එකට රඟපෑවේ අකිල අයියා. ඒ වගේම අධ්‍යක්ෂ ශිවගුරුනාදන් මහත්මයා අපිට හැඟීම් පොවනවා. ඉතිං ඒ හැම එකක්ම එකතුවෙලා ඒ වෙලාව් දැනුණ හැඟීම් එක්ක සිදු කළ දර්ශනය මම හිතන්නේ ප්‍රේක්ෂකයන්වත් ඇඬෙව්වා.
‘පාරදිගේ’ හිටපු කටකාර, ගේම් ගහන ‘බන්ටි’ට වඩා බොහොම වෙනස් අහිංසක චරිතයක් තමයි ‘සමාධි’. කොහොමද මෙහෙම පරාසයන් දෙකකට වෙනස් වුණේ?
මම ඇත්තටම කරන්නේ ඒ මොහොතේ ඒ චරිතයට අදාළ වටපිටාවත් එක්ක ජීවත්වෙන එකයි. මම රංගනය පිළිබඳව ලොකු හැදෑරීමක් කරපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ තාක්ෂණික කාරණා එක්ක හැදෑරීමක් කරපු කෙනෙක් නෙමෙයි කියන එක. මම ඒ වෙලාවට කරන්නේ සමාධිව මට ආරූඪ කරගෙන ජීවත්වෙන එකයි. ඒක අර කිව්වත් වගේ පරාසයන් දෙකක්. බන්ටි කියන්නේ කටකාර, ගැහුවොත් ගහන චරිතයක්. නමුත් සමාධි එහෙම නැහැ. මම ස්තුතිවන්ත වෙන්න ඕනෑ සද්ධාමංගල මහත්මයාට. මොකද ඒ වගේ පරාසයන් දෙකක යන චරිත දෙකම ලිව්වේ ඔහු. ඒ චරිත දෙකම මට ලබාදීම හින්දනේ මට ඒ හැකියාවන් පෙන්වන්න පුළුවන් වුණේ.
කෙටි විරාමයකින් පසුවයි යළිත් පුංචි තිරයෙන් දකින්නේ. එතකොට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරද?
ඒකත් මම හිතුවට වඩා වෙනස්. මම එනකම් මිනිස්සු බලාගෙන ඉඳලා. මෙච්චර ආදරයක් මට ලැබෙනවා නම් මටම හිතුණා මම මොනවා හරි කරන්න ඕනෑ කියලා. මොකද ඔවුන්ට මට දෙන්න පුළුවන් ලොකුම දෙය තිරයෙන් මම ඔවුන්ගේ ගෙදරට එන එකනේ. මේ වෙලාවේ සද්ධා මංගල මහත්මයාගේ බිරිඳ වන චේතනී මිස්ව ආදරයෙන් මතක් කරන්න ඕනෑ. මගෙත් එක්ක ගොඩාක් කතාබහ කරලා තමයි වැඩ කරන්න ඕනෑ කියල කිව්වේ ජහුටා ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකාවත් ඇයයි. ඉතිං ඔය විදිහට තමයි මම සමාධිව භාර අරගෙන සමාධිත් එක්ක ආපහු මගේ ආදරණීයයන් එක්ක ගෙවල්වලට රාත්‍රි 9.30ට එන්නේ.
දුෂේනිව ආපහු පිළිගන්න එකක් නැහැ කියන අදහසක් හිතට ආවේ නැතිද?
මට මිශ්‍ර හැඟීමක් තිබුණේ. මොකද මම ලොකු ආන්දෝලනාත්මක ප්‍රශ්නයකට පස්සෙනෙ රඟපාන්නේ. ප්‍රේක්ෂකයො මගේ පැත්තේ ඉන්නවා කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. මොකද ඔවුන්ගේ ආදරය මට දැනෙන්න පටන් ගත්තේ පසුගිය අවුරුද්දක් වගේ කාලය ඇතුළතයි. මම හිතනවා දුෂේනිව මිනිස්සු පිළිගන්නවා කියලා. ඒක හරි අවංක ප්‍රේක්ෂක ආදරයක්. සමාධිව පිළිගනී කියන එකත් මම හිතුවා, මොකද ඒ චරිතය ලියැවිලා තියෙන්නෙත් හරි ආදරණීය විදිහටයි.
සමාධිට වඩා දුෂේනි එනකම් බලාගෙන ඉන්නවා කියන හැඟීම ඔයාට තිබුණේ නැතිද?
ඇත්තටම ඔව්, මම ක්ෂේත්‍රයට ඇවිත් ටිකක් ලොකු කාලයක්. හැබැයි මම බලාගෙන හිටියේ චරිතයක නමින් නැතිව මට දුෂේනි කියන නමින් මිනිස්සු කතා කරනකන්. මම හිතන්නේ ඕනෑම කලාකරුවෙක් එතැනට එනකන් බලාගෙන ඉන්නේ. ඉතිං මට හරි සන්තෝෂයි මිනිස්සු දුෂේනිව ඉල්ලපු එකට. මම හිතනවා ඒක මම ලබපු වාසනාවක් කියලා. අනික ඒ ආදරය හැමෝටම ලබන්නත් බැහැ. හරි කලාතුරකින් ලැබෙන්නේ. කොච්චර පේන්න හිටියත් හැම කෙනකුටම මිනිස්සුන්ගේ ආදරය ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ආදරය ලැබෙනවා කියන කාරණාවම වාසනාවක්.
ජහුටා ටෙලිනාට්‍යය නරඹද්දී මොන වගේ ප්‍රේක්ෂක අදහසක්ද තියෙන්නේ?
ජහුටා ටෙලිනාට්‍යයෙනුත් කතා වෙන්නේ වෙනස්ම කලාවක් ගැන. මම හිතන්නේ සද්ධාමංගල මහත්මයා වගේම ශිවගුරුනාදන් මහත්මයාත් මීට කලිනුත් කෝලම්, නාඩගම්, සංගීතය කියන කලාත්මක අංගයන් විවිධ තේමාවන් යටතේ ප්‍රේක්ෂකයන් අතරට අරගෙන ආවා. මේ කන්සෙප්ට් එකත් මිනිස්සු දැකලා නැති දෙයක්. නාගරීකරණයට ලක්වුණු ප්‍රදේශවල අය මේ ශෛලිය ගැන දන්නෙත් නැහැ. ලංකාවට ආවේණික මේ කලාව ගැනත් මිනිස්සුන්ට ජහුටා ටෙලිනාට්‍යය හරහා දැකබලා ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.
දුෂේනිව ආපහු තිරයෙන් දකිනකොට ක්ෂේත්‍රයේ අය මොනවද කිව්වේ?
මට බොහොම පුංචි හිතමිතුරන් පිරිසක් ඉන්නේ. දෙමාපියන්ටත් ඇත්තටම සන්තෝෂයි. කවුරුත් මට මේ දේවල් කරන්න කියලා බල කරන්නේ නැහැ. මම මට පුළුවන් කියලා හිතෙන වෙලාවට වැඩ කරන්න පටන් ගත්තේ. අපිට අවශ්‍ය වෙන්නේ මිනිස්සු අපිව ආදරයෙන් වැලඳ ගැනීමයි. ඒක මට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා නම් හොඳටම ඇති.
ඔබ නිහඬවම ඉඳලා ප්‍රේක්ෂකයන්ට ලබාදුන්නේ වෙනස්ම විදිහේ පිළිතුරක්?
මම ඇත්තටම සමාජ මාධ්‍යවල පවා මාස පහක් විතර පෙනී හිටියේ නැහැ. මම හිතන්නේ මගේ පිංතූරයක්වත් එළියට දුන්නේ නැහැ. ඒ මාස පහේ මට අවශ්‍ය වුණා මාව ගොඩනඟාගන්න. ඒ විදිහට ගත්තහම මම හරිම ගුප්ත චරිතයක්. ඉතිං මම මාව ගොඩනඟාගෙන හොඳ පිටපතක් එනකම් බලාගෙන හිටියා. ඉතිං ඒ අවස්ථාව මට මේ පිටපතත් සමඟ ලැබුණා. මොකද මාස පහකට පස්සෙ රඟපානකොට මගෙන් ඒ පුරුද්ද ගිහිල්ලා තියෙන්නේ. ඉතිං ඒ පුරුද්ද ඇතිකරගෙන පුහුණුවෙලා සමාධිත් එක්ක ටිකක් ජීවත්වෙලයි එළියට ආවේ.
මම සමාජ මාධ්‍යවලින් ෆොටෝ ෂූට් එකක් කරලා පෙන්වන්න ඇත්තටම කැමැති නැහැ.
අපි කොහොමටත් දකිනවා, දුෂේනිගේ සෝෂල් මීඩියා කැම්පේන් එකක් නැහැ කියලා?
ඇත්තටම කොහෙත්ම නැහැ. මම ඒකට කැමැති නැහැ.
යූටියුබ් නාළිකා එහෙමත් නැහැ නේද? අපි හරිද?
ඔව. ඔව්. මගේ යූටියුබ් නාළිකා නැහැ.
දුෂේනි දන්නේ රඟපාන්න විතරද?
අන්න හරි මම දන්නේ රඟපාන්න. මම ඒ වැඩේ හරියට කරනවා. මම රඟපානවා. මම නිළියක්. මම මගේ ප්‍රේක්ෂකයන්ගේ ගෙවල්වලට එනවා මගේ චරිතයත් එක්ක. මාව භාරගන්න කියලා තමයි ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයන්ට කියන්නේ.
මිනිස්සු ඔබව භාරගත්තා නේද?
ඔව්, ඔව්, මාව භාරගත්තා. ඒක හරි ආදරයෙන් වැලඳගන්නවා. ඒකට එක හේතුවක් මගේ පෞද්ගලික දේවල් ඒගොල්ලො දකින්නේ නැති එක වෙන්න ඇති. ඉඳල ඉඳල දකින දේ හරි වටිනවානේ. මම කැමැති එහෙම ජීවත්වෙන්න.
යූටියුබ් නාළිකා හදාගෙන පුද්ගලික ජීවිතය එළියට දාල ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැතිද?
මම හිතන්නේ මට එහෙම ආසාවක් නැහැ. මම දන්නෙ නැහැ ඉදිරියට මොන වගේ ආර්ථික අවශ්‍යතාවක් ඇතිවෙලා ඒ වගේ දේවල් කරන්න සිද්ධවෙයි ද කියලා. හැබැයි දැනට මේ අවස්ථාවේ මගේ තියෙන මානසික මට්ටමත් එක්ක මම හිතන්නේ නිරූපණය කරන චරිතයකින් මිනිස්සු මාව දැක්කහම හොඳටම ඇති කියලයි.
මාස පහක නිහඬව හිටපු කාලයේ දී හිතට කලකිරීම්, පසුතැවීම් කියන අදහස් ගලාගෙන ආවාද?
කලකිරීම් කියන දේ ඒ මොහොතේ ඇතිවෙලා ඊට පස්සෙ සතියක් දෙකක් යනකොට හරියනවා. මම දන්නවා විශ්වය මට අනිවාර්යයෙන්ම දෙයක් ලබාදෙනවා කියලා. මොකද මම වැරදි නැහැ. මම දැනගෙන හිටියා ආපහු එනවා කියන එක. ඒක කොහොම සිද්ධ වෙයිද කියන්න මම දැනගෙන හිටියේ නැහැ. මම ශක්තිමත් වෙලා ඒ මොහොතට මුහුණ දුන්නා. මට හුදෙකලා වීම ප්‍රශ්නයක් නෙමෙයි. මම ඒකට කැමැති කෙනෙක්. මම ගොඩක් වෙලාවට ඉන්නේ මගේ දෙමාපියන් සමඟ කුරුණෑගල. ඉතිං ඒකට මම කැමැතියි. මම හුදෙකලා වන හැම මොහොතේම මම මාව ගොඩනඟාගන්න තමයි උත්සාහ කරන්නේ.
සමාධි නිසා අලුත් පිටපත් අතට ලැබුණා ද?
ජහුටා නාට්‍යයට කලින්ම මට එන්නේ ආදරය කියන ටෙලිනාට්‍යයට ආරාධනාවක්. ඒකත් ඇත්තටම හරි ලස්සන කතාවක්. රංගන ප්‍රේමරත්නගේ කුලුඳුල් අධ්‍යක්ෂණයක්. අරුණ ප්‍රේමරත්න තමයි තිර රචනාව නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රසිලා ගොඩහේවගේ කෘතියක් ඇසුරින් තමයි ටෙලිනාට්‍යය නිර්මාණය කරලා තියෙන්නේ. ඒක දීර්ඝ ටෙලි නිර්මාණයක් නෙමෙයි.
පසුගිය කාලයේ ඔබ රඟපෑ ‘සිහින නෙළුම් මල්’ චිත්‍රපටය ගැනත් කතා කළොත්?
පසුගිය කාලයේ පවත්වපු සරසවි සම්මාන උළෙලේ දී ‘සිහින නෙළුම් මල්’ හි රංගනය වෙනුවෙන් හොඳම නිළියට මාව නිර්දේශ වුණා. සිංහබාහු වෙනුවෙන් හොඳම සහාය නිළියට නිර්දේශ වෙලා තිබුණා. බොහොම සන්තෝෂයි ඒ අධ්‍යක්ෂවරුන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මොකද චිත්‍රපට කියන්නේ වෙනම විෂයයක්. මම රඟපෑ චිත්‍රපට දෙක මෙවර පැවැත්වෙන දෙරණ ෆිල්ම් එවෝර්ඩ් හි බ්ලොක් බ්ලාස්ටර් චිත්‍රපට පහ ඇතුළේ තියෙනවා. ඒකත් මගේ වාසනාවක් කියලා මම විශ්වාස කරනවා. බ්ලොක් බ්ලාස්ටර් චිත්‍රපට දෙකක් කරලා ඊළඟ චිත්‍රපටයත් මට ඒ විදිහටම ඕනෑ. ඒ හින්දයි මම ඉවසීමෙන් ඉන්නේ.
සමාධි වගේ චරිත ජීවිතයට මුණගැසිලා තියෙනවාද?
මුණගැසිලා තියෙනවා. සමාධි, විශ්ව සහ හංසයා කියන චරිත තමයි මගෙත් එක්ක වැඩිපුර ගැටෙන්නේ. ඒ චරිත තුන ඇතුළෙ තියෙන සිද්ධි මම හිතන්නේ හුඟාක් වෙලාවට සමාජයේ තිබෙන සිද්ධි. හුඟක් වෙලාවට පවුලක තිබෙන සිද්ධි. මේ චරිතය ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට තවත් ගොඩාක් සමීප වෙවි.
ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත් මොකද හිතෙන්නේ?
මම මේ ලැබුණ ජීවිතයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ ජීවිතය ඇතුළෙ කලකිරීම් පසුතැවීම් වේදනාවන් ආදරය කියන මේ හැම දේම මිශ්‍ර වෙච්ච ජීවිතයක්, හැමෝටම වගේ මටත් ලැබිලා තියෙනවා. මම ඒකට ස්තුතිවන්ත වෙනවා ඇරෙන්න ඒ ගැන පසුතැවීමක් දුකක් කවදාවත් නැහැ, මෙතැනින් එහාට වුණත්.
ජීවිතය සන්තෝෂෙන් ගතකිරීම තමයි මගේ එකම අභිප්‍රාය. මට මගේ ජීවිතය ගැන හරිම සන්තෝෂයි.
සමාජ මාධ්‍යවල ඔබ ගැන මොන කතා කීවත් ප්‍රේක්ෂකයන්ගෙන් අසීමිත ආදරයක් ලැබෙනවානේ. ඔවුන්ට මේ වෙලාවේ මොනවද කියන්න තියෙන්නේ?
අපි මොන නිර්මාණය කළත් ප්‍රේක්ෂකයන් භාර ගත්තොත් විතරයි ඒක සාර්ථක වෙන්නේ. සමහර ප්‍රේක්ෂකයො මම කරන ඕනෑම නිර්මාණයක් භාරගන්න බලාගෙන ඉන්නවා. ඒක මට ලොකු ධනයක්. නිර්මාණයක් කරනකොට ඒකට ආදරය කරන ප්‍රේක්ෂකයො පිරිසක් මම නිසා ඉන්න එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒගොල්ලො මම ටී වී එකේ නැතත් මාත් එක්ක ඉන්නවා. ඉතිං මමත් සෑම මොහොතකම ඔවුන් සමග රැඳී සිටිනවා.
දුෂේනිට ආපහු වැඩ හම්බවෙන එකක් නැහැ කියලත් කතා පැතිරුණා. ඒ වෙලාවෙ හිතට දුකක් ආවද?
ඕනෑම ක්ෂේත්‍රයක ඒ වගේ දේවල් සිද්ධ වෙනවා . මොනයම් හෝ විශේෂ වාසනාවක් තිබුණා මට ආපහු ක්ෂේත්‍රයට එන්න. ඒක හින්දයි මම චේතනී මිස්ට, ශිවගුරුනාදන් සර්ට, සද්ධාමංගල සූරියබණ්ඩාර සර්ට ස්තුතිවන්ත වෙන්න ඕනෑ කියලා කිව්වේ. මොකද මාව ඒ වෙලාවේ ආපහු මිනිස්සු අතරට ගේන එක අවදානමක්. හැබැයි නිෂ්පාදිකාවක් විදිහට චේතනී මිස් ඒ අවදානම අරගෙන මාවත් ප්‍රේක්ෂකයන්වත් ආපහු එකතු කළා. ඒක මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට කරපු ලොකු දෙයක්. මට එහෙම කියන්න හිතුණේ ඒ ප්‍රේක්ෂක ආදරය සැබෑවටම දුටු හින්දයි. කොහොමත් මම කලබල වුණේ නැහැ බොහොම ඉවසීමෙන් බලාගෙන හිටියා. මට ගැළපෙන දේ ලැබෙනකම්. ඒක ලැබුණා කියලා මම විශ්වාස කරනවා.
දිනේෂ් විතාන
