
අභිෂේක් ප්‍රමුදිත කියන්නේ මේ දිනවල තාරුණ්‍යය අතර අතිශය ජනප්‍රිය චරිතයක්. ඔහු රංගනයෙන් දායක වන නවතම ටෙලි නිර්මාණය ලවර්ස් ලීප් (එළිය මැදි ඇල්ල) එළැඹෙන 12 වැනිදා සිට සතියේ දිනවල රාත්‍රී 7.30 ට සිරස ටීවී නාළිකව ඔස්සේ විකාශය වේ. අභිෂේක් සමග මේ කතාබහ ඔහුගේ රංගන දිවිය ගැනය.
අභිෂේක් කියන්නෙ නිරූපණ කලාව හරහා ලෝකය ජයගත් චරිතයක්. මුලින්ම ඒ ගැන කතා කළොත් ?
2021 වසරේ දී තායිලන්තයේ පැවැත්වුණ Mr. Global ජාත්‍යන්තර නිරූපණ තරගාවලිය වෙනුවෙන් මම ශ්‍රී ලංකාව නියෝජනය කළා. සමීර වීරසිංහ යටතේ මම නිරූපණ කලාවේ යම් යම් කටයුතු කළත් අද වෙද්දි නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ මට වඩා බොහෝ දුර ගමනක් ගිය, ජාත්‍යන්තරය පවා ඉහළින්ම ජයගත් බොහෝ දෙනෙක් ඉන්නවා. මම එතරම් ඒ විෂයෙන් දුර ගමනක් ගියේ නෑ. මොකද නිරූපණයට එන්නත් කලින් තමයි මම රඟපෑමට පිවිසුණේ.
ළඟදීම ඔබේ අලුත් ටෙලිනාට්‍යයක් පටන් ගන්නවා?
ඔව්. රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කරන රසික සුරවීරආරච්චි තිර රචනය කළ Lover’s Leap ටෙලිනාට්‍යය සැප්තැම්බර් 12 වැනිදා ඉඳලා සතියේ දිනවල රාත්‍රී 7.30‘ට සිරස නාළිකාවේ විකාශය වෙනවා. ටෙලිවිෂනයෙන් අත්විඳින්න ලැබෙන වෙනස්ම විදිහේ අත්දැකීමක් ඒ හරහා ඔබට ලැබෙයි.
Lover’s Leap ටෙලිනාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ කොහොමද ?
රනිල් අයියා සමග මම ‘දෙවරක් චක්කරේ’ ටෙලිනාට්‍යයේදී මීට කලින් වැඩ කළා. ඒ අතරේ තමයි Lover’s Leap ටෙලිනාට්‍යය වෙනුවෙන් මට ආරාධනා ලැබුණේ. පසුව රසික අයියා සමග පිටපත සහ චරිතය ගැනත් සාකච්ඡා කරලා, හොඳ සූදානමකින් වගේම ලොකු ආසාවකින් මේ නිර්මාණය වෙනුවෙන් මට සම්බන්ධ වෙන්න ලැබුණා.
ඔබේ චරිතය ගැනත් කතා කළොත් ?
මගේ චරිතයේ නම ‘රන්දුණු’. ඔහුගේ ජීවිතය, ආදරය සහ ඔහු මුහුණදෙන අනපේක්ෂිත සිදුවීම් ගණනාවක් සමග තමයි මේ කතාව ගලායන්නෙ. චරිතය ගැන මම කියනවට වඩා චරිතය නැරැඹීමෙන් පස්සේ මගේ ගුණදොස් මට පෙන්නලා දෙනවට මම හරිම කැමැතියි. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ කැමරාකරණය කරන ෂැගී අයියා, අංග රචනය කරන වසන්ත අයියා ප්‍රමුඛ සමස්ත කණ්ඩායමත්, මාත් සමග රඟපාන සියලුම සහෝදර ශිල්පි ශිල්පිනියන්වත්. ඔවුන් මේ නිර්මාණය ඇතුළේ මට දෙන සහාය මට ලොකු ශක්තියක්.
ඔබ මුලින්ම වැඩ පටන් ගත්තෙ කොහොමද?
‘හදවතේ කතාව’ ටෙලිනාට්‍යය ඔස්සේ තමයි මම රංගනයට පිවිසෙන්නේ. ඊටපස්සේ ‘දිව්‍යාදරී’, ‘සැලෙනා නුවන්’, Bio 2, ‘මන්දාරම් කතාවේ’, ‘අළුපාට දේදුණු’ වගේ ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා. ඒ අතරේ ගීත රූප රචනා රැසකටත් රංගනයෙන් එක්වෙන්න ලැබුණා. ආසන්නතම වශයෙන් මිහිඳු ආරියරත්නගේ ‘දැණුනා ආදරේ’ ගීතයේ රූප රචනාවට එක්වුණා. නිම්න දෙව්පුරගේ අධ්‍යක්ෂණය යටතේ කෙරුව ඒ රංගනය වෙනුවෙනුත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉදිරියේදී ශාන් ජයරත්නගේ අලුත්ම නිර්මාණයෙනුත් මාව දැකගන්න ලැබේවි.
රඟපෑමට එන්න හිතුවේ ඇයි?
රඟපෑම කියන්නෙ පොඩි කාලයේ ඉඳලා මට තිබුණ ලොකු ආසාවක්. ඒ වගේම මම ශාරුක් ඛාන්ට පුදුම තරම් ආදරේ කරන රසිකයෙක්. මුළු ලෝකයකම ඉන්න මිනිස්සු බාල -මහලු භේදයක් නැතිව ශාරුක් ඛාන්ට ආදරේ කරන විදිහ දිහා එදා වගේම අදටත් මම හරි පුදුමෙන් බලා ඉන්නවා. ඒ ආදරය, රංගනයට එක්වෙන්න මට හොඳ උත්තේජනයක් වුණා.
දැන් නිරූපණ කලාවෙන් ඈත් වෙලාද?
ඔව්. මගේ කැමැත්ත සහ මුල ඉඳලම මම යොමුවුණේ රංගනයට. විවිධ අත්දැකීම් ලබන්න තියෙන කැමැත්ත මත නිරූපණයට යොමුවුණත් මම එහි සක්‍රීයව රැඳුණේ නෑ.
සිනමාවට එහෙම ආරාධනා ලැබුණ ද?
ජයශිකා පද්මසිරි අධ්‍යක්ෂණය කළ ‘Meraki Sutra’ චිත්‍රපටය තමයි මගෙ මුල්ම සිනමා නිර්මාණය. ඇගේ කවි පොතක් ඇසුරින් නිර්මාණය වුණ මේ චිත්‍රපටය මට වෙනස්ම අත්දැකීමක් වුණා. දෙබස් රහිතව හැඟීම් නිරූපණයෙන් පමණක් මුළු චිත්‍රපටය පුරාවටම මම, උමා අසේනි ඇතුළු සිව් දෙනෙක් රංගනය කළා. පසුගිය සමයේ රූගත කිරීම් අවසන් කෙරුණු මෙම චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු මේ දිනවල සිදුවෙනවා. මට වගේම අපේ සිනමාවටත් මේ චිත්‍රපටය වෙනස්ම අත්දැකීමක් වෙන බව විශ්වාසයි.
ජනප්‍රියත්වය එක්ක ආදර යෝජනාත් එනවා ඇති නේද?
ජනප්‍රියත්වය කියන්නේ මිනිස්සුන්ගේ ආදරයට. නමුත් ආදර යෝජනා කියලා මගෙන් මේ අහන දේ සහ ජනප්‍රියත්වය අතර සම්බන්ධයක් නම් තවම මට නෑ. ආදරය අපි හැමෝටම අවශ්‍ය දෙයක්. ඒක අඩු වැඩි වශයෙන් ඒ ඒ කාලවලදි අපි කාටත් ලැබෙනවා.
ජීවිතය ගැන ආපසු හැරිලා බැලුවොත්?
මම ඇත්තටම මං සමගින්ම සංවාද ගොඩනඟාගන්න කෙනෙක්. මම කැමැතියි මගේ අඩුපාඩු, මගේ දුර්වලතා, මට තියෙන අභියෝග ගැන වුණත් මාත් එක්කම සාකච්ඡා කරන්න. ඒ නිසා ආපහු හැරිලා බලද්දි වුණත් මම, මං ගැන ඉන්නෙ සතුටින් කියලා කියන්න මට පුළුවන්.
දිනේෂ් විතාන
