
කලා ක්‍ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙන්, පිටපත් රචකයෙක්, අධ්‍යක්‍ෂවරයෙක් හැටියට බොහෝ දෙනා දන්නා හඳුනන මිහිර සිරිතිලක ලේඛකයෙක් කියල දන්නෙ බොහොම ටික දෙනයි. ළඟදීම දවසක ඔහුගෙ අලුත්ම පොත් දෙකක් දොරට වඩිනව. මිහිර සමග අපේ මේ කතාබහ ඒ ගැනයි.
මිහිර සිරිතිලක ලේඛකයෙක් වෙලා?
ඔව් කිව්වොත් හරි. මගේ පළමු පොත් දෙක දොරට වැඩියෙ 2017 අවුරුද්දෙ. ඒ, ‘ඔබ නිසා’ කියන කවි පොත සහ ‘දෙහි දොඩම් ප්‍රේමය’ කියන කෙටි කතා පොත. ඉන් පස්සෙ මට ආරාධනා කිහිපයක්ම ලැබුණා පොත් ලියන්න කියල. නමුත් කාර්යබහුලත්වය නිසා මට ඒ කරගන්න බැරි වුණා. ඒ අතර ලියල තිබුණ කෙටි කතා පොතක් සහ නව කතා පොතක් එළිදක්වන්න තමයි මේ සූදානම් වෙන්නෙ.
කවදා ද? කොහේදි ද?
සැප්තැම්බර් මාසෙ 19 වැනිදා උදෑසන 9.00 ට මහවැලි කේන්ද්‍රයේදී මේ පොත් දෙක දොරට වඩිනව. එදාට අකිල විමංග, ජගත් වැල්ලවත්ත සහ වසන්ත දුක්ගන්නාරාළ යන මහත්වරු මේ පොත් දෙක ගැන දේශන පවත්වනව.
මේ නවකතා පොත සහ කෙටි කතා පොත ගැන සඳහන් කළොත්?
මගේ කෙටි කතා පොත නම් කළේ ‘වේ සම්මා’ නමින්. නවකතාව නම් කළේ ‘අස්තමය’ කියල.
මෙහි පසුබිම ගැන සඳහන් කළොත්?
මේ නවකතාවට සත්‍ය කතා දෙකක් පසුබිම් වෙලා තියෙනව. ග්‍රාමීය ප්‍රදේශයක ජීවන රටාවත් එක්ක ලියැවුණ කතාවක්.
කවි පොතේ කතාව මොන වගේද?
කවි පොත 2017 අවුරුද්දෙ මුද්‍රණය කළාට, මම කොළඹට ආවට පස්සෙ මගේ ජීවිතයට මුහුණ දෙන්න සිදු වුණ සිදුවීම් බොහෝ කාලයකට කලින් ඉඳන්ම කවියෙන් ලියල තිබුණ. ඒවායින් තෝරාගත්ත ටිකක් තමයි මේ පොතට එකතු කළේ. නිසඳැස්, කවි සහ ගීත කිහිපයකුත් ඒ අතර තියෙනව.
ඔබ රංගනයෙන් දායක වන එළ ද බ්‍රා සිනමා නිර්මාණයත් මේ දවස්වල තිරගත වෙනව?
මම රංගනයෙන් දායක වුණ චිත්‍රපට කිහිපයක්ම මේ අවුරුද්දෙ තිරගත වුණා. තවත් නිර්මාණ දෙකක් තිරගත වීමට නියමිතව තියෙනව. පසුගිය කාලෙ සිනමාව තුළ ප්‍රහසන නිර්මාණවලට ඉඩක් හැදුනනෙ. ඒ ප්‍රවණතාවත් එක්ක ප්‍රහසන චිත්‍රපට දෙකක් පසුගිය කාලෙ තිරගත වුණා. එළ ද බ්‍රා කියන්නෙ අන්තිමට ආපු නිර්මාණය. එහි මම රඟපාන්නෙ පොලිස් නිලධාරියකුගේ චරිතයක්.
මෙවර ඔබට ලැබිල තියෙන්නෙ මෙතෙක් ලැබුණාට වඩා වෙනස් චරිතයක්?
ඔව්, මේ චරිතයේ හැටියට මගේ කටහඬ තමයි විශේෂයෙන්ම අධ්‍යක්‍ෂවරයාට වුවමනා වුණේ.
කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?
මේ පිටපත පූජිත අයිය ලියන කාලෙම මට කතාකරල කිව්වා, මල්ලි ඔයාට චරිතයක් තියෙනව, අපි ඒක කරමු කියල. ඉන් පස්සෙ අපි ඒ ගැන කතාබහ කරමින් ඒ හැඩතල එක්කම තමයි කතාව ලියැවුණේ.
මිහිරගෙ රංගන ජීවිතේ වැඩි කොටසක් තියෙන්නෙ වේදිකාව සමග බද්ධ වෙලා?
ඔව්, මම ලියල අධ්‍යක්‍ෂණය කළ වේදිකා නාට්‍ය තුනක් මේ දවස්වල වේදිකාගත වෙනව. ඒ වගේම මේ අවුරුද්දෙ මගේ පැන්ඩෝරා නාට්‍යයේ සිය වැනි දර්ශනයත්, සැප්තැම්බර් හත් වැනිදා මගේ ගරු තරු නාට්‍යයේ පනස් වැනි දර්ශනයත් වේදිකාගතකරන්න අවස්ථාව ලැබුණා. ඉතිං මේ අවුරුද්ද මට විශේෂයි. ඒ වගේම කෝ කුක්කෝ නාට්‍යයත් මේ වන විට දර්ශනවාර තුන්සියය පසුකරල තියෙන්නෙ. ඊට අමතරව මම මේ දවස්වල චින්තක පීරිස්ගෙ ඔළු හැලුවෝ නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නව.
මිහිරට වේදිකාවේ ජීවිතය මොන වගේද දැනෙන්නෙ?
වේදිකාව කියන්නෙ ප්‍රේක්‍ෂකයාව සජීවීව හමුවීම සහ ඔවුන් විඳින දුක සහ සතුටත්, අපි විඳින දුක සහ සතුටත් බෙදාගන්න තැනක්. නමුත් මම ඊට වඩා තවත් විශේෂත්වයක් දකිනව. ඒ තමයි එකම ක්‍ෂේත්‍රයකට ආසා කරන පිරිසක් සමග වැඩි කාලයක් ගතකරන්න අවස්ථාව ලැබීම.
සාර්ථකව නාට්‍යය වේදිකාගත කරන්න ඔබ කොහොමද අභියෝග ජයගන්නෙ?
මෙහෙමයි, අපි නාට්‍යයක් රඟපාන්න ගියාම ග්‍රාමීය ජනතාව සහ සංවිධායකවරු අපි ගැන තබන විශ්වාසය මත තමයි මේ විදිහට සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙන්නෙ. මොකද අපිට නාට්‍ය සඳහා ප්‍රබල ප්‍රචාරණ මාධ්‍යයක් නැහැ. අපේ මාධ්‍ය වෙන්නෙ ජනතාවගේ කටවචනය. අපි ඒ විශ්වාසය රකිනව වගේම ප්‍රේක්‍ෂකයාත් විශ්වාස කරනව.
මේ ගමන කියන තරම් සුන්දරද?
ඇත්තටම මේ ගමන සුන්දර නැහැ. ප්‍රේක්‍ෂකයාත් මේ නාට්‍ය නරඹන්නෙ බොහොම අපහසුතා මැද. අද ලංකාවේ වේදිකාවල තත්ත්වය සහ ඒ සඳහා තියෙන සොයාබැලීමේ ප්‍රමාණය අපිට දකින්න ලැබෙන්නෙ අදාළ තැනට ගියාට පස්සෙ. බොහෝ වේලාවට පාසල් ශාලාවක බොහොම රස්නෙ මැද පොඩි දරුවන්ට පොත්වලින් පවන් ගහන අම්මලා ඉන්න තැනක තමයි අපි වේදිකාවේ ඉඳන් රඟපාන්නෙ. ඔතන ලෑල්ලක් දාල තියෙන්නෙ, කඩාවැටෙන්න පුළුවන්, මෙතන ලයිට් එක දාන්න බැහැ ෂෝට් එකක් තියෙනව වගේ විශාල අනතුරු ගොඩක කතා ගොඩක් අපිටත් අහන්න ලැබෙනව. ඒ ඔක්කොම දරාගෙන අපි නාට්‍ය පෙන්නනව. මීට වඩා මුදලක් ටෙලියක රඟපාල අපිට හොයන්න පුළුවන්. නමුත් මේ කැපකිරීම අපි බොහොම ආසාවෙන් කරනව.
ටෙලි නාට්‍ය වැඩකටයුතු කොහොමද?
සමන් කුමාර ලියනගේ මහත්මයාගෙ ‘මලක්’ සහ නිවන්ත ප්‍රසාර මහත්මයාගෙ ‘රොන් සොයා’ කියන ටෙලි නාට්‍ය දෙකට මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නව.
ප්‍රහසන චරිතවලින් දැන් ඉවත් වෙන්න ඕන කියල හිතු අවස්ථා තියෙනවද?
අනේ නැහැ. මම ප්‍රහසනය කරන්නෙ බොහොම ආසාවෙන්. මං ඒකට බොහොම කැමතියි. ඒක නරකක් සහ අඩුවක් කියල කවදාවත් මම හිතන්නෙ නැහැ. මේ වෙලාවෙ මිනිස්සුන්ට අඬන්න හේතු ඕනෑ තරම් තියෙනව. ඒ අතර අපි ඔවුන්ට හිනාවෙන්න හේතුවක් දෙන්න ඕන.
මහේෂ් එදිරිසිංහ
