රඟපාන එක ලෙහෙසි නැහැ – නිලුක්‍ෂි ඇමෙන්ඩා

gossiplanka image 1
 නිලුක්‍ෂි ඇමෙන්ඩා සිල්වා කියන්නෙ නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන නමක්. නමුත් දැන් ටිකෙන් ටික මේ නම රංගන ක්‍ෂේත්‍රයේත් කියැවෙන්න පටන්අරගෙන.

ඇය මුලින්ම රංගනයෙන් දායක වෙන්නෙ ‘සෙලීනා’ සිනමා නිර්මාණයට. එයින් වසර පහකට පස්සෙ ඇය ‘එළ ද බ්‍රා’ සිනමා නිර්මාණයට සම්බන්ධ වෙනව. අපි අහල බලමු ඇමෙන්ඩාගෙන්, අලුත්ම තොරතුරු මොනවද කියල.


ඇමෙන්ඩා කාලෙකින් රිදී තිරයේ දකින්න ලැබෙනව?


ඔව්, මම මුලින්ම සම්බන්ධ වුණේ ‘සෙලීනා’ සිනමා නිර්මාණයට. ඒ 2020 අවුරුද්දෙ. මම දෙවැනියට සම්බන්ධ වෙන්නෙ මේ දිනවල තිරගත වන ‘එළ ද බ්‍රා’ සිනමා නිර්මාණයට. මේ නමත් එක්ක බොහෝ දෙනෙක් හිතන්නෙ කොමඩියක් විතරයි කියල. නමුත් ඒක නරඹපු බොහෝ දෙනා දැක්කෙ බොහොම ඉමෝෂනල් ලස්සන ස්ටෝරි එකක්. මෙහි මගේ චරිතයට වගේම එළ ද බ්‍රා සිනමා නිර්මාණයටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව.


බොහොම කාලෙකට කලින් ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා?


ඔව්, මීට අවුරුදු දොළහකට කලින් ‘විසුල අහස යට’ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.


අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණද?


තුෂාර තෙන්නකෝන් අයියගෙ ‘රාවණ’ චිත්‍රපටයේ වැඩකටයුතු මේ දවස්වල අපි කරගෙන යනව. එහි මාව දකින්න ලැබෙන්නෙ වෙනස්ම චරිතයකින්.



‘එළ ද බ්‍රා’ සිනමා නිර්මාණයට ආරාධනා ලැබෙන්නෙ කොහොමද?


මගේ මුල්ම සිනමා නිර්මාණය අධ්‍යක්‍ෂණය කළ පූජිත ගුණතිලක අයියම තමයි එළ ද බ්‍රා චිත්‍රපටයත් අධ්‍යක්‍ෂණය කරන්නෙ. කොමඩි නිර්මාණයකට මගේ කිසිම කැමැත්තක් තිබුණෙ නැහැ. මොකද මම මොඩල් කෙනෙක් නිසා ඒ වගේ නිර්මාණයක් භාරගත්තොත් මිනිස්සු මාව දකින විදිහ වෙනස් වෙයි කියල මට හිතුණා. නමුත් පූජිත අයියගෙ ආරාධනය නිසාත්, මට රඟපාන්න තිබුණෙ පුබුදු අයිය එක්ක නිසාත් වෙනස් විදිහේ වැඩක් වෙයි කියල හිතල තමයි මම මේ නිර්මාණය භාර ගත්තෙ.


චිත්‍රපටය බැලුවට පස්සෙ ඔබේ සිතුවිල්ල හරි කියල හිතුනද?


ඇත්තටම ඔව්. චිත්‍රපටය බැලුවට පස්සෙ මට හිතුන මම මේ ආරාධනය භාරගත්ත එක හොඳයි කියල.


පුබුදුගෙන් ලැබුණෙ මොන වගේ සහයෝගයක්ද?


මම සිනමාවට අලුත් වුණාට ඔවුන් කවුරුවත් අලුත් අය නෙමෙයි. නමුත් මම අලුත් කියන දේ මොන අවස්ථාවකදිවත් මට දැනෙන්න දුන්නෙ නැහැ. පුබුදු අයියයි මමයි තමයි චරිතවල දිගටම වගේ එකට හිටියෙ. දෙබස් කියන අවස්ථා වගේම හැම දේකදිම ඔහු මට කියල දුන්නට වඩා මට පහසු වෙන විදිහට ඔහු ඒ තැන්වල හිටිය.


ඇමැන්ඩා කියන්නෙ නිරූපිකාවක්. නමුත් නිරූපණය අතහැරල දිගටම රඟපාන්න හිතුනෙ නැද්ද?


අපි චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් බලනව වගේ ලෙහෙසි නැහැ රඟපාන එක. ගොඩක් අමාරු වැඩක්. ඒක හොඳට ඉගෙනගෙන කරන්න ඕන දෙයක්. මට හොඳ ආරාධනා ලැබුණොත්, ඉදිරියේදී රංගනය ගැන හැදෑරීමක් කරල ලස්සන දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.


දැනට ලැබෙන ආරාධනා සීමා සහිතද?


මම මොඩල් කෙනෙක්නෙ. ඉතිං මම අඳින පළඳින විදිහත් එක්ක මිනිස්සු මාව වැරදි විදිහට තේරුම් අරගෙනද දන්නෙ නැහැ, ලැබෙන ආරාධනා ටිකක් වැරදි විදිහට එන්නෙ. සමහර අවස්ථාවල ඉතාමත් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබිල තියෙනව. නමුත් ඒ ආරාධනා ලැබුණෙ වැරදි විදිහට. ඒ නිසාම මට ඒ ආරාධනා ප්‍රතික්‍ෂේප කරන්න සිදු වුණා. එහෙම නොවුණා නම් මීට වඩා නිර්මාණ ප්‍රමාණයක මාව දකින්න තිබුණා.


නිරූපණ ක්‍ෂේත්‍රයේ ජනප්‍රියත්වය එක වගේ පවත්වාගෙන යන රහස මොකක්ද?


නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් විශේෂයෙන්ම මේන්ටේන් කරන්න ඕන තමන්ගෙ ශරීරය. ඉතිං මම ඒ දේ හරියට කරන නිසා අදටත් ක්‍ෂේත්‍රයේ රැඳී සිටින්න අවස්ථාව ලැබිල තියෙනව කියල මම විශ්වාස කරනව. ඒ වගේම ඇටිටියුඩ් එකත් ඉතාම වැදගත්. සීනියර්ස්ලට වගේම ඩිසයිනර්ස්ලට හරි විදිහට රෙස්පෙක්ට් කරල ඉන්නකොට ඔවුන් දන්නව මං එක්ක වැඩකරන්න ලේසියි කියල.


ශරීරය මේන්ටේන් කරන්න මහත්තයගෙන් උපදෙස් ගන්නවද?


මගේ මහත්තය බොඩි බිල්ඩින් පැත්තෙන් වගේම ස්පෝට්ස් පැත්තෙන් නිතරම හිතන කෙනෙක්. ඉතිං මගේ ශරීරය වෙනස් වෙනව දකිනකොට එයා කියනව ‘පැටියෝ ඇඟ ටිකක් වෙනස්වේගෙන එන්නෙ, ඒ ගැන ටිකක් හිතුවොත් හොඳයි කියල.’ නමුත් කන බොන දේවල්වලට කවදාවත් නීති දාන්නෙ නැහැ.


නිරූපණ ක්‍ෂේත්‍රය ඔබ දකින්නෙ කොහොමද?


ඉස්සර මේ ක්‍ෂේත්‍රයේ උස අය හිටියෙ ගොඩක් අඩුවෙන්. නමුත් දැන් එහෙම නැහැ. ගොඩක් උස අය වගේම ලස්සන ගැහැනු ළමයි ක්‍ෂේත්‍රයට පිවිසිලා ඉන්නව. නමුත් ප්‍රවීණයන්ට තියෙන ගෞරවය ටිකක් අඩුවෙලාදෝ කියල බොහෝ වෙලාවට හිතෙනව. දැන් ෂෝ එකක් කරන්න ගියත් මට ඒක කරන්න හිත දෙන්නෙ නැහැ. එදා සහ අද වෙනස අපිට දැන් ගොඩක් තැන්වලදි දකින්න ලැබෙනව.


නිරූපණ පාසලක් ආරම්භ කරන්න අදහසක් නැද්ද?


මම මේ වන විට මහත්තයත් එක්ක එකතුවෙලා යූ ටියුබ් චැනල් එකක් කරනව. ඒකටත් කමෙන්ට්ස් දාල ගොඩක් දෙනෙක් මගෙන් මේ ගැන අහනව. ඒත් ඒ වගේ දෙයක් පටන්ගත්තාම මම දිගටම එතන ඉන්න ඕන. එහෙම නැතිව ළමයින්ව අතරමං කරන්න බැහැ. ආසාවක් තියෙනව එහෙම දේකට. අපි බලමු ඉදිරියේදී.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 2
Previous Post Next Post