සාරා, රොන් සොයා ටෙලිනාට්‍යයේ සාරා වුණේ කොහොමද?
පුංචි කාලෙ ඉඳලා මට රඟපාන්න කැමැත්තක් තිබුණා. නමුත් අධ්‍යාපන කටයුතුවලට කාලය වෙන්කරපු නිසා පාසල් කාලයේදී රංගන ක්ෂේත්‍රයට එන්න උනන්දුවක් තිබුණේ නැහැ. පාසල් අධ්‍යාපනය සහ උපාධිය අවසාන කරලා ඉන්නකොට මට ආරංචි වුණා රොන් සොයා ටෙලිනාට්‍ය වෙනුවෙන් රඟපාන්න නළු නිළියො තෝරගන්න තිර පරීක්ෂණයක් තියනවා. ඉතින් අම්මා එක්ක නුවර ඉඳලා කොළඹ ඇවිත් තිර පරීක්ෂණයට සහභාගි වුණා. තිර පරීක්ෂණයට සහභාගිවෙනකොට මම හිතුවෙ නැහැ මාව තෝරගනියි කියලා. හැබැයි තිර පරීක්ෂණයෙන් මාසෙකට පස්සෙ රොන් සොයා නිෂ්පාදන කණ්ඩායම මට දැනුම්දුන්නා සාරාගේ චරිතයට මාව තෝරගත්තා කියලා. මගේ ඇත්ත නමින්ම රොන් සොයා ටෙලිනාට්‍යයේ රඟපාන්න ලැබීම භාග්‍යයක්. රොන් සොයා ටෙලිනාට්‍යයේ සාරා සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න එඩිතර, ටිකක් නපුරු වගේම හිත හොඳ ගෑනු ළමයෙක්. ටෙලිනාට්‍යවල නිතර දකින අහිසංක ප්‍රේමවන්තියට වැඩිය මේ විදිහේ එඩිතර චණ්ඩි චරිතයකින් මුලින්ම රංගන ක්ෂේත්‍රයට එන්න ලැබීම මගේ රංගන හැකියාව පුළුල් විදිහට ඉදිරිපත්කරන්න ලැබුණ අවස්ථාවක් විදිහටයි මම දකින්නේ.
රංගන ක්ෂේත්‍රය ගැන සාරාට දැනෙන්නෙ කොහොමද?
රංගන ක්ෂේත්‍රය නිර්මාණශීලී සුන්දර තැනක් විදිහට මම විශ්වස කරනවා. නමුත් පවතින තරගකාරීත්වය තුළ ක්ෂේත්‍රයේ අපි හැමෝම සටනක යෙදිලා ඉන්නවා. ක්ෂේත්‍රයට ආපු නවකයෙක් විදිහට මගේ බලාපොරොත්තුව රංගන හැකියාව දියුණු කරගෙන දක්ෂ චරිතාංග නිළියක් විදිහට හැමෝගෙම ගෞරව ආදරයට පාත්‍රවෙන්න.
රොන් සොයා ටෙලිනාට්‍යයේ සාරාවෙලා තුන්කොන් ආදරයකට මැදිවීම ගැන අදහස මොකක්ද?
රොන් සොයා ටෙලිනාට්‍යයේ සාරා මැරීගෙන සයාගිට ආදරේ කළාට සයාගි ආදරේ කරන්නෙ පිංකිට. ඉතින් සාරාට සයාගිගේ ආදරය දිනාගන්න එක පහසු දෙයක් නෙමෙයි. සාරා ඇත්තටම හිතහොඳ කෙල්ලෙක්. නමුත් සාරා නපුරු වෙන්නෙ සයාගිගේ ආදරය දිනාගන්න අමාරු නිසයි. පෞද්ගලිකව මම හිතන්නෙ කොල්ලෙකුට ඉන්න ඕන තමන් වෙනුවෙන් මැරෙන්න වුණත් ඉස්සරහට එන සාරා වගේ කෙල්ලෙක් කියලා. එහෙම නැතුව වචනෙකින්වත් කොල්ලට හයියක් වෙන්නෙ නැති නිකන් නමට විතරක් girlfriend වෙලා ඉන්න කෙල්ලො ජීවිතයට ළංකරගෙන වැඩක් නැහැ. මේ දිනවල රොන් සොයා නරඹන රසිකයෝ ඉන්නෙත් මගේ අදහසෙමයි. සමහර රසිකයො මට මැසේජ් එවනවා සාරා තමයි නියම කෙල්ල, එයාලටත් සාරා වගේ කෙල්ලෙක් ලැබුණ නම් ජීවිතේම හරියනවා කියලා. රොන් සොයා ටෙලිනාට්‍යයේ සරාගේ තියන නිර්භීත, නපුරු ගතිගුණ පාසල් කාලයේදී මම තුළත් තිබුණා.
රඟපාන සාරා සහ ඇත්ත සාරා අතර වෙනස මොකක්ද?
රොන් සොයා ටෙලිනාට්‍යයේ සරාගේ තියන නිර්භීත, forward ගතිගුණ පාසල් කාලයේදී මම තුළත් තිබුණා. පාසල් යන කාලෙදී කවුරුහරි මොනවහරි කිව්වොත් එවලෙම ඒ දේට විරුද්ධ කතා කරනවා. විෂය බාහිරව ක්‍රීඩා කටයුතු කරලා පාසලේ හැමෝම අතර කැපී පෙනුන ගැහැනු ළමයෙක් මම. හැබැයි දැන් ඉතින් පාසලෙන් ඉවත්වෙලා වයසිනුත් ටිකක් මෝරලා තියන නිසා ඒ ගතිගුණ මම ළඟ දැන් නැහැ. මම දැන් ගතකරන්නෙ ඒ සාරාට වැඩිය හාත්පාසින්ම වෙනස් නිහඬව පාඩුවෙ ඉන්න ජීවිතයක්. ඉස්සර ගතකරපු චණ්ඩි සාරාට වැඩිය දැන් ගතකරන ජීවිතයට මම හුඟක් කැමැතියි.
ආදරයේදි ඇත්තටම තුන්කොන් ආදරයට මැදිවෙලා තියනවද?
පෞද්ගලික ජීවිතයේදී නම් තුන්කොන් ආදරයකට මම මැදිවෙලා නැහැ. හැබැයි මම විශ්වාස කරන්නෙ ආදරය කරන දෙන්නෙක් අතරට කවදාවත් තුන්වෙනියෙකුට එන්න ඉඩනොදිය යුතුයි කියලා. තුන්වෙනියෙක් ආවොත් හැමෝටම විඳවීමක් විතරයි ලැබෙන්නෙ.
ආදරයේදී සාරා කවුද?
පුංචි කාලෙ ඉඳලා මම හුඟක් ආදරණීය කෙනෙක්. විශේෂයෙන් මගේ පවුලෙ තුළ ඉන්න අම්මා අප්පච්චි ඇතුළු මල්ලිලා දෙන්නට වචනෙන් කියන්න බැරිතරම් ආදරෙයි. පවුලෙන් පිට ගත්තොත් මට යාළුවො නැහැ. යාළුවෙක් විදිහට ජීවිතයට ළංකරගන්න මට විශ්වාස කවුරුත් නැහැ. ඒ නිසා මම යාළුවො ආශ්‍රය කරන්නෙ නැහැ. ඉතින් පවුලෙ අය විතරක් ජීවිතය කරගෙන ආදරෙන් සහයෝගයෙන් මම ඉන්නවා.
සාරාගේ රඟපෑම් දැකලා පවුලෙ අය මොනවද කියන්නෙ?
රොන් සොයා ටෙලිනාට්‍යයේ මගේ රඟපෑම දැකලා අම්මා කියනවා අමුතුවෙන් පුරුදුවෙලා රඟපාන්න දෙයක් නැහැනේ සැබෑ ජීවිතයේ පුරුදු විදාහටම ටෙලිනාට්‍යයේ රඟපානවා කියලා. මට නිළියක් වෙන්න ඕන කිව්වහම පවුලෙ අය ගොඩක් සතුටු වුණා. මුලින්ම මම රූගතකිරීම්වලට එනකොට අම්මත් දර්ශනතලවලටත් ඇවිත් ලොකු සහයෝගක් දුන්නා. මාව රූපවාහිනියෙ නිළියක් විදිහට දකිනකොට එයාලට ගොඩක් සතුටුයි කියලා මට කියලා කියනවා.
සාරා රංගනයට එන්න කලින් නිරූපිකාවක් කියලා ආරංචියි...
ඔව්. cj අවුරුදු කුමරිය 2024 තරගයේ best figure එකට හිමි කිරුල ජයග්‍රහණය කරන්න මට පුළුවන් වුණා. ඇඟේ ලස්සන නිසා එවැනි ජයග්‍රහණයක් ලැබීම ගැන අදටත් මම නිහතමානීව සතුටු වෙනවා. cj අවුරුදු කුමරිය 2024 තරගයේ best figure එකට හිමි කිරුල ජයග්‍රහණය කිරීමත් සමග එවකට මගේ අදහසක් තිබුණා පැජන්ට්වලට සහභාගිවෙලා නිරූපණය පැත්තෙන් ඉස්සරහට යන්න. නමුත් රංගනය මගේ ජීවිතයට සම්බන්ධ වුණාට පස්සෙ ඒ අදහස මගෙන් ඈත් වුණා.
ඇඟේ ලස්සන වෙනුවෙන් මොනවද කරන්නෙ?
පාසල් යනාකාලෙදී මගේ ඇඟ මහතයි. ඒ කාලේ ඉතින් ඇඟ හැදෙන වයස නිසා හොඳට කෑවා. හැබැයි පාසල් ජීවිතයෙන් පස්සෙ තරුණ කාලයට ආපහුවම මම කෑම පාලනය කරලා ඇඟ සිහින් විදිහට හැදුවා. කෑම පාලනය ඇරුනහම කිසිම දවසක මම ඇඟ හදන්න ජිම් ගිහින් නැහැ. Workout සහ කෘත්‍රිම දේවල් පාවිච්චි කරන්නෙ නැතුව සිහින් විදිහට ඇඟ හදාගැනීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.
සමාජ මාධ්‍යවල සාරා සරාගී ගිනි සිළුවක් විදිහට ප්‍රසිද්ධයි...
මම සරාගී කියලා සමාජ මාධ්‍යවල ගැහැනු පිරිමි දෙපාර්ශ්වයෙන්ම ප්‍රතිචාර ලැබෙනවා. තව කෙනෙක්ගේ ඇඟ හැඩය සහ ස්වභාවය සරාගී කියලා අගය කිරීම වැරැද්දක් නෙමෙයි. ඉතින් මාව සරාගී විදිහට අගය කිරීම ගැන මම සතුටු වෙනවා. පිරිමි ළමයි නම් සරාගී කියලා ගෑනු ළමයින්ට සාමාන්‍යයෙන් කියනවනෙ. හැබැයි මට ගැහැනු ළමයි මැසේජ් කරලා කියනවා මම ගොඩක් සෙක්සි, කොහොමද සෙක්සි විදිහට ඇඟ හදාගත්තෙ කියලා අහන අවස්ථා තියනවා. ඉතින් මම සරාගී විදිහට ඇඟ හදාගත්තෙ කොහොමද කියලා මගෙන් අහන අයට reply කරලා කියන අවස්ථාත් තියනවා. සරාගීකම අගය කිරීම හොඳ දෙයක් විදිහටයි මම විශ්වාස කරන්නේ. සමහරවෙලාවට මමත් ලස්සන ගැහැනු ළමයෙක් දැක්කහම wow, sexy කියලා ලෝභ නැතුව අගය කරනවා.
සරාගීකම රැකෙන විදිහට විලාසිතා කරන්නෙ කොහොමද?
පුංචි කාලෙ ඉඳලා ලස්සන විලාසිතා කරන්න මම කැමැතියි. ඇඟේ හැඩයට ගැළපෙන විදිහට දිග ඇඳුම් සහ කොට ඇඳුම් මම අදිනවා. කොට ඇඳුම් අදිනවට පවුලෙ අයගෙත් විරුද්ධත්වයක් නැහැ. ඇඟේ හැඩයට සහ පෞරුෂත්වයට නොගැළපෙන එන හැම විලාසිතාවක්ම කරන්න ගියොත් සමාජය ඉදිරියේ තමන්ව විහිළුවක් වෙනවා. ඒ නිසා ඇඟේ හැඩය සහ පෞර්ෂය අනුව විලාසිතා තෝරගෙන කරන්න මම පුරුදුවෙලා ඉන්නවා.