ගෙදරදොරේ වැඩවලදී අපි දෙන්න ෆිෆ්ටි ෆිෆ්ටි තමයි - පුබුදු චතුරංග




වේදිකාව හරහා රංගන ක්ෂේත්‍රයට පය තැබූ ඔහු හිරිපොද වැස්ස සිනමා සිත්තම තම ග්‍රහණයට නතුකර ගනිමින් රටක් වශී කරගන්නට සමත් වූයෙන් එතැන් පටන් සිනමාවේ මෙන්ම පුංචිතිරය හරහා මැවූ චරිත නිසාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැගි ශිල්පියෙක්. එලෙස පය තැබූ ඒ කලාව තුළම රංගන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂවරයකු හා පිටපත් රචකයකු ලෙසින් ද නමක් දිනාගන්නට සමත් වන්නේය.රංගන ශිල්පියෙක් වූ නිසාම ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ උත්සවයකට ආරාධනා ලබන පුබුදු චතුරංග නම් ඔහුට එදින ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ බැච් ක්වීන් ට ජයග්‍රාහී ඔටුන්න පළඳවන්නට අවස්ථාව උදාවනවා. එදා එලෙස අභිෂේක ගැන්වූ මාෂි සිරිවර්ධන නම් වූ ඒ රැජින තම ජීවන ගමන් මගේ අත්වැල වන්නේ දෛවෝපගත සංසාර බැඳීමක් නිසාම වන්නට ඇති.


කොහොමද පුබුදු ජීවිතේ මේ දවස්වල මොනවද කරන්නෙ?


කලාව කියන මගේ වෘත්තිය පැත්තෙන් ගත්තොත් මේ දවස්වල මම අලුත් තිර පිටපත් කිහිපයක් ලියාගෙන යන අතරෙ පළමු වතාවට ෂෝට් ෆිල්ම් එකක් අධ්‍යක්ෂණය කරමින් තමයි ඉන්නෙ.


එතකොට මාෂි?


මම අධ්‍යාපන කටයුතු අතරේ තමයි වැඩිපුර ඉන්නෙ. මේ දවස්වල මාස්ටර්ස් කරන්න සූදානම් වෙනවා.


දෙදෙනාම එකම ක්ෂේත්‍රය තුළ කාර්යබහුල වීම අත්විඳින්නෙ මොන විදියටද?


අවුරුදු ගානක් තිස්සෙ අපි ජීවත් වුණේ ඒ විදියට තමයි. සමහර දවස්වල මම ගෙදරත් නෑ. කොහේ හරි ෂූටින්. ඒ වගේ දවස්වලට මාෂි එයාගෙ අම්මලත් එක්ක ඉන්නවා. ඒත් ඒ රංගන ක්ෂේත්‍රය මොන වගේ ද කියන අවබෝධය ඇතුව මේ ජීවිතේට ඇතුළත් වුණ නිසා.


මාෂිට ආරාධනාවක් ලැබුණම ඒ නිර්මාණයේ පුබුදුත් අනිවාර්යයෙන් සිටිය යුතුයි කියලා ඔබ හිතනවද?


අම්මෝ නෑ ගෙදරදී මම මෙයා ළඟට වෙලා ඉන්න ආස කළාට එකම නිර්මාණයේ රංගනයෙන් දායක වෙන්න ගොඩක් බයයි. පුබුදු රංගනය කියන එක අකුරටම කරන නිසා මගේ අතින් වෙන සුළු අඩුපාඩු වුණත් හොඳින් දකිනවා. ඒ නිසා එයා නැතුව වැඩ කරන්න තමයි මම ආස.


 ගෙදර දොරේ වැඩවලට වැඩි දායකත්වයක් දෙන්න වෙන්නෙ දෙන්නගෙන් කාටද?


එතනදී කාටවත් අඩු වැඩි නෑ. ෆිෆ්ටි ෆිෆ්ටි තමයි දෙන්නගෙ දායකත්වය. ගේ දොර හැඩි වෙලා තිබ්බොත් ඒ අපි දෙන්නගෙ ගෙදර. ඒ නිසා දෙන්නම අස් පස් කරනවා. බඩගින්නෙ හිටියොත් ඒත් අපි දෙන්නා. ඒ නිසා දෙන්නම එකතු වෙලා උයනවා. කිළුටුවට හිටියොත් ඒත් අපි දෙන්නමයි. ඉතින් අපි එකතු වෙලා රෙදි ටික සෝද ගන්නවා. ඒ ජීවිතේට අපි දෙන්නම හරිම කැමැතියි. සමහර දවස් තියෙනව ගෙදර කිසිම වැඩක් නොකර අපි දෙන්න දවසෙම ෆිල්ම් බලපු කොටින්ම බඩගින්නට උයාගෙන කන්නෙවත් නැතුව. ඒ ජීවතේ අදටත් එපා වෙලා නෑ. ඒක ඒ විදියට අපි එන්ජෝයි කරනවා.


වැඩියෙන් කෑම රස චෙෆ් මාෂිගෙද චෙෆ් පුබුදුගෙද?


දෙන්නම හදන කෑම රසයි කියල අපේ ගෙවල් දෙකේම අය කියනවා. හැබැයි චෙෆ් පුබුදුට උයන්න කියල දුන්නෙ මම එතෙන්දි විතරක් මම එයාගෙ ගුරා ඇත්තටම මෙයා ඔය පසුගිය කොරෝනා කාලෙ ෂූටිං කැන්සල් වුණ වෙලාවල් වලදී ගෙදර ඉඳලා තමයි උයන පිහන වැඩ ටික අල්ල ගත්තෙ.ගෙදර ඉන්න කාලෙ තේ එකක්වත් හදාගන්න කැමති නැති පුබුදු දැන් රසට උයනවා කිව්වම අම්ම තාත්ත විශ්වාස කරන්නෙම නැතිලු. ඉතින් ගාල්ලෙ මහගෙදර ගියාම පුබුදුට අම්ම තාත්ත ඉදිරියේ ප්‍රාතිහාර්ය පානව වගේ ඒ දේවල් කරල පෙන්වන්න වෙන අවස්ථාත් තියෙනවලු. කොහොම වුණත් මේ දෙන්නගෙ කෑම බීම රසයි කියලා අපට පිළිගන්නම වෙනවා. මොකද පසුගිය කාලෙ කැෆේ මාෂි නමින් ඔන්ලයින් කෑම කම්පැනියකුත් බොහොම සාර්ථකව පවත්වාගෙන ගියානෙ. හැබැයි ඉතින් පසුගිය ආර්ථික අර්බුදය නිසා ඒ ව්‍යාපාරය මේ වෙද්දි ඇනහිටලා.


 ගාල්ලෙ පුබුදුලගෙ මහගෙදරත් එක්ක තියෙන සම්බන්ධය මොන වගේද?


එදා වගේම තමයි අදත් ඒ සම්බන්ධකම් බොහොම ඉහළින් පවත්වාගෙන යනවා. දැන් අපි විවාහ වෙලා අවුරුදු 6 ක්. මේ කාලය අතරතුර මොන වැඩේ තිබුණත් වෙලාව හොයාගෙන අපි දෙන්නා සති දෙකකට සැරයක් අනිවාර්යයෙන්ම අම්ම තාත්ත බලන්න ගාල්ලෙ යනවා. සිංහල අවුරුද්ද, වෙසක් පෝය වගේ විශේෂ දවස් වගේම අපේ උපන් දින, අම්ම තාත්තගෙ උපන්දින බොහෝ වෙලාවට සමරන්නෙ ගාල්ලෙ ගිහින්. මොකද ඒ අයව සතුටින් තියන එක අපේ යුතුකමක් වගේම වගකීමක් හැටියටයි අපි දෙන්නම දකින්නෙ.


බලාපොරොත්තු වෙන ව්දියට තම තමන්ගෙ වැඩ කටයුතු කරගන්න බැරි වුණාම අපි ඕනම කෙනෙක්ගෙ හිත්වල කලකිරීම් ඇති වෙනවා ඒ දේවල් නැති කර ගන්න දෙන්නත් එක්ක එකතු වෙලා ගන්නෙ මොන වගේ තීන්දු තීරණ ද? 


ඇත්තටම ඉතින් එවැනි දේවල් මේ පුබුදු මාෂි කියන අපි දෙන්නටම විතරක් මුහුණ දෙන්න වෙන අවස්ථා නෙවෙයිනේ. අපි ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක නොහිතන විදිහට එවැනි අවස්ථාවන්ට මුහුණ දෙන්න වෙනව කියන එක පොදු සාධකයක් කියන එක අපි දන්නවා. ඒ තුළ ඒ දේවල් වලට මුහුණ දෙමින් අදාළ අවස්ථාවට මුහුණ දෙන්නෙ කොහොමද කියන එක කතාබහ තුළින් ම තමයි අපි තීරණය කරගන්නෙ. පහුගිය කාලයේ රටේ පැවති විවිධ  පීඩනකාරී කාලවකවානු තුළ අපේ අධ්‍යාපන කටයුතු පස්සට ගියා. ඒ වගේම අපට ආරාධනා ලැබිල තිබුණ නිර්මාණ අතරමග ඇන හිටියා. රූගත කිරීම් දින නියමයක් නැතිව කල් ගියා. ඒ හැම දෙයක් තුළින්ම අපේ හෙට දවස පස්සට ගිහින් අපි ගෙවල් වලට කොටු වුණා. ඒත් එහෙම හිතලා අපි දුක් වුණේ නැහැ. මොකද ඒ කාලය තුළ අපි දෙන්නට  එකතැනකට වෙලා සතුටින් කාලය ගත කරන්න අවස්ථාව උදා වුණා. අපි අන්තිම මෙහෙම හිතුවා හැමදේම අපි කරන්නේ මානසික තෘප්තිය වෙනුවෙන්නෙ  ඉතින් ගෙදරට කොටු වෙලා හරි අපිට මානසිකව තෘප්තිමත් වෙන්න අවස්ථාව උදා වුණ එකත් ලොකු දෙයක්. අන්න ඒ විදිහට අපිට ලැබෙන සතුට සතුටක් විදිහට දකින අතර දුකත් සතුටක් කරගෙන ජීවිතයේ යථාර්ථය දකින්න අපි පුරුදු වෙන්න ඕනෙ.


වසරක් ගෙවිල නව වසරක් උදා වෙන මේ මොහොත පුබුදුට වගේම මාෂිට දැනෙන්නෙ කොහොමද කියලත් අපි අහලා බැලුවා


ඇත්තටම ඉතින් ආපස්සට හැරිල බැලුවම බොහොම අමිහිරි මතකයන් තමයි අපිට නැවත මතක් කරන්න සිද්ධ වෙන්නෙ. නව වසරක් උදා වෙද්දි අපි හැම කෙනෙක්ම විවිධ අන්දමේ බලාපොරොත්තු ගැන පෙරුම් පුරනවා ඒ දේවල් ඉෂ්ට කරගන්න. ඒත් පහුගිය වසර කිහිපයේම මොනවා හරි අභ්‍යන්තර හෝ බාහිර හේතුවක් නිසා රටට මොනවම හරි විපතක් සිද්ධ වුණා. රට ඇතුළේ දේශපාලන හෝ වේවා ආර්ථික හෝ වේවා වෙනත් සමාජයීය ප්‍රශ්න නිසා අපි සැලසුම් කරගෙන හිටපු අපේ අනාගතය තමයි තමයි පස්සට ගියේ. ඒ නිසා මේ අවුරුද්දේ අපේ තියෙන එකම බලාපොරොත්තුව අපි සියලු දෙනාගෙම හිත් වල තියෙන ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කර ගනිමින් සතුටින් සාමයෙන් ජීවත් විය හැකි වාසනාවන්ත කාලයක් උදා වේවා කියන එක තමයි.


 ධම්මික හේවාවසම් 





Previous Post Next Post