රැකියාවක් කරන්න කැමැති වුණාට දෛවයට අනුව මම රංගන ශිල්පිනියක් වුණා - සුජානි මේනකා

Wednesday, November 03, 2021 , 0 Comments

 




නුවන්ගි කියන්නෙ තමන්ගේ සැමියා එක්ක එකතුවෙලා ජීවිතය ජය ගන්න වෙහෙසෙන ගැහැනියක්. එවන් ගැහැනු අපිට මග තොටේ, කඩ පිලේ, බස් එක් කොතෙකුත් හමුවෙනවා. තිරය මත නම් එවැනි ගැහැනු හමුවෙන්නෙ කලාතුරකින්. තිරය මත නේක චරිත මවන නිළියන් අතර නම් එවන් දුක් විදින ගැහැනු ඉන්නවද කියල අපිට හිතාගන්නවත් බැහැ. ඉතිං සුජානි මේනකා ඇගේ මේ දවස් වල අලුත් වැඩකටයුතු ගැන පුවත්පතක් සමඟින් මෙලෙස පවසා තිබුනා.


ෆෝක් වීදියේදි සමාජයට දැනෙන චරිතයක් වෙන්න ලැබුණ අවස්ථාව දකින්නෙ කොහොමද?


නුවන්ගි කියන චරිතය මටත් ටිකක් විශේෂයි. නුවන්ගි කියන්නෙ පවතින තත්වය යටතේ තමන්ගේ ස්වාමියා එක්ක එකතුවෙලා රැකීයාවකින් ලැබෙන දේට වඩා යමක් උපයන්න උත්සාහ කරන දිරිය කාන්තාවක්. වර්තමාන ආර්ථික සමාජ පරිසරය තුළ නුවන්ගි කියන චරිතය ඇතුළෙ අපි කව්රුත් ඉන්නවා. ඇත්තම කියනව නම් නිළියක් වන මම වුණත් හැබෑ ජීවිතයේ ඒ චරිතයෙ ඉන්නවා.


නමුත් අනිත් වෘත්තීන්ට වඩා නිළිය කියන කාන්තාව සුඛෝපභෝගී දිවියක් ගෙවන කෙනෙක් නේද?


හැමෝම හිතනව ඇති නිළියක් කිව්වම අපි විශාල වශයෙන් මුදල් හම්බකරල සැප විදින කට්ටියක් කියල. එහෙම නැහැ. කලාවට සම්බන්ධ ගොඩක් අය කලාවට අමතරව රැකියාවල් දෙක තුනක් කරනවා. ඇඳුම් ව්‍යාපාර, සැලොන් කරනවා. මොකද රඟපෑම කියන්නේ ස්ථීර නැති රැකියාවක්. අපිට සමහර කාලවල එක දිගටම වැඩ ලැබෙන්න පුළුවන්. ඒත් සමහර කාලවල වැඩ නොඑන්න පුළුවන්. අපිත් ඉන්නෙ නුවන්ගිල වගේම ජීවන සටනක තමයි.


නිළියක් නොවුණා නම් සුජානි කුමන වෘත්තියක් තොරාගන්න තිබුණද?


පාසල් අධ්‍යාපනය අවසන් වුණ කාලයේ ඉඳන්ම මට ආසාවක් තිබුණා කාර්යාලයක රැකියාවක් කරන්න. මම ජනප්‍රිය වේගෙන එනකොට සමහර රැකියාවලට මට කතා කරලා තිබෙනවා. ඒත් ඒ කාලෙ මට තිබුන කාර්යබහුලත්වය එක්ක මට ඒ ආසාව ඉටුකරගන්න බැරිවුණා. ඒ වගේම මට ආසාවක් තිබ්බා මගේ ආසම විෂය වූ නැටුම් ඉහළටම හදාරන්න. ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවට ගිහිනුත් නැටුම් ඉගෙන ගන්න. පොඩිකාලෙ ඉඳන්ම මට රඟපෑමට අවස්ථාව ලැබුණට මගේ හිතේ කොතනවක් තිබ්බෙ නැහැ නිළියක් විමේ ආසාවක්.


ඒ කියන්නේ සුජානි රංගන වෘත්තියේ නියැලෙන්නෙ අකැමැත්තෙන්ද?


මේකට මම කැමැති නොවුණා නෙවෙයි. කැමැති හෝ අකැමැති හෝ මේක මට ලැබුණ දේනෙ. කොහෙමත් මගේ ජීවිතයේ රඟපෑම කියන වෘත්තිය තිබ්බා. ඒත් රඟපෑම වෘත්තිය කරගෙන ඒක මගේ ජිවිතය කරගෙන යන්න ඕන තැනක නෙවෙයි මම හිටියෙ. මං ඇත්තටම ආසයි සාරි අඳින්න. සාරියක් ඇඳගෙන කාර්යාලයට ගිහින් හවස ගෙදර එන රැකියාවක් කරන්න කැමැති වුණාට මගේ දෛවයේ තිබ්බ විදිහට මම රංගන ශිල්පිනියක් වුණා. එහෙම වෙච්ච එක ගැන කිසිම කනගාටුවක් නැහැ. ඒ වෘත්තියට ගිහින් මගේ ජීවිතයට වෘත්තිමය වශයෙන්, පෞද්ගලිකමය වශයෙන් ලැබුණු හැම දේට මම හරිම කැමැතියි. මට ඒවා වටිනවා. නමුත් තාමත් මට ආසයි මොකක් හරි වෙනස් දෙයක් කරන්න.


සුජානි ගෙවන්නෙ සකසුරුම් සහිත දිවියක් කියලා කිව්වොත්.


මගේ ජීවිතයේ මම ඉස්සර ඉඳල පවත්වාගෙන ආපු විදිහක් තියෙනවා. මගේ තාත්තා මට කියල දීපු දෙයක් තමයි කොච්චර දේවල් ලැබුණත් තමන් බාරගත්ත දේ හරියට කරල ඉන්න කියන එක. හරියට මගේ ඔළුවෙ රැඳිලා තියෙන දෙයක්. ඉතින් අදටත් මට දෙයක් ලැබුණම ඒ දේ ඉවර කරලයි තව දෙයක් කරන්නෙ. ඒකට මම කැමැතියි. සමහර කාලවල එහෙම නොකර බැරි තැන් එනවා. ඒත් මම දන්නවා කරන දේට බාධා නොකර අනිත් දේ කරන්න. ඒක රඟපෑමට විතරක් නෙවෙයි මගේ ජීවිතයේ අනිත් කාරනා වලදිත් අදාල කරගෙන තියෙන දෙයක්.


විවාහය නිසා සුජානි වෙනස් වුණා කියලත් සමහරු කියනව විවාහ වෙකම් ම මම වැඩ අධික යුවතියක් වුණා. මොකද ඊට පෙර මම චරිතයකට ආස නම් ඒක කළා. කිසිම දෙයක් අදාල කරගත්තෙ නැහැ. ඔහොම වැඩ අධික වුණා. විවාහයෙන් පස්සෙ මට ඕන වුණත් අවුරුද්දක් දෙකක් යනකම් ඒ වැඩ අධික බවෙන් මිදෙන්න බැරිවුණා. විවාහ වෙලා එනකම්ම මට ගෘහණියක් විදිහට කිසිම අත්දැකීමක් මට තිබ්බෙ නැහැ උයන දේවල් පවා හරියට කරන්න දැනගෙන හිටියෙ නැහැ ඒ දෙවල් හරියට කරන්න පුදුම ආසාවක් ඇතිවුණා. ඊට පස්සෙ මම සෑහෙන විවේකයක් අරගෙන ගෘහණියගේ ජීවිතයට හුරුවුණා.


*දැන් හොඳට ගෙදර දොරේ වැඩ ඉවුම් පිහුම් පුළුවන් ද?


ඒ වැඩ සමබරව යනවා. හැබැයි මම හොඳට උයනව ද නැද්ද කියන එක අනිත් අයගෙන් තමයි අහන්න වෙන්නෙ. දැනට නම් මම උයන කැම කාල රහයි කියනවා. මටත් කන්න පුළුවන් කම තියෙනවා. මම යම්තාක් දුරටක හොඳට කෑම හදන්න පුළුවන් තැනක ඉන්නවා. කොහොමත් මං ආසයි උදේ ඉඳන් ගෙදර වැඩ කරගෙන ඉන්න. සමහර වෙලාවට මම එහෙම ජීවත් වෙන්න දිගු විවේක කාල ගන්නවා. පහුගිය කාලයේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් පොඩි විවේකයක් ගන්න ඕන වුණා. ගත්ත පොඩි විවේකය පාස්කු ප්‍රහාරයත් එක්ක අවුරුදු දෙකක් විතර දීර්ඝ වුණා.


දෙදෙනා තිරයේ මවන චරිත ගැන ගෙදරදි මත විමසුමක් පලවෙනවද?


ඇයි නැත්තෙ?. අපි දෙන්න ගොඩක් වෙලාවටඒ දේවල් ගැන කතාබහ වෙනවා. මං හිතන්නෙ එයාගෙ දරුණුතම විවේචකයා මම කියලයි. මටත් එහෙමයි. මමත් බයයි නාට්‍යයක පළමුවැනි කොටස එයත් එක්ක බලනකොට. අම්මෝ මොනව කියයි ද කියල හිත හිත තමයි බලන්නෙ. චරිතය හරියට කෙරිල නැත්තන් මොනව කියයිද කියල හිතෙනව. ඒත් මම ඒකට කැමැතියි. මම දන්නව මගේ රංගනය ගැන අවංකවම අදහස දක්වන්නෙ එයා කියල.


කාර්යබහුල බිමල්ගෙන් ගෙදර දොරේ වැඩවලට ලැබෙන සහය ගැන බිරියක් විදිහට සූජානි තෘප්තිමත්ද?


අපි විවාහ වෙලා අවුරුදු දාහතරක් වෙනවා. මේ කාලයටම කවදාවත් ගෙදර වැඩ කරන්න ගිහින් අපි අතර ප්‍රශ්න ඇතිවෙලා නැහැ. බිමල්ට මට වඩා හොඳට කෑම උයන්න පුළුවන්. එයා හරියට එයාගෙ පෞද්ගලික ජීවිතයට කැපවෙනවා. එයා හරියට නිදහසේ ජීවත් වෙන්න කැමැති කෙනෙක්. වැඩ අධිකව කළත් අවශ්‍ය විවේකය කොහොම හරි ලබාගන්න කෙනෙක්. ඒ නිසා එයා සමහර කාලවල බිමල් ලොකු විවේක කාල ගන්නවා. ඒ කාලවල මම වැඩ කරනවා. අපේ ගෙදර කවදාවත්ම මෙයා මේ වැඩ කොටස කරන්න ඕන කියල බෙදාගෙන කරල නැහැ. අපි දෙන්නටම ඒ ඒ අවස්ථාව අනුව කොස්සක් අතරන් අතුගාන්න උයන්න පිහින්න වුණොත් ගෙදර ඉන්න කෙනා කව්රු වුණත් එයා ඒ දේ කරනවා.


සුජානි බොහෝ කාලවල මාධ්‍ය මඟහැර සිටින නිළියක් වගේ පේන්නෙ ඇයි?


මට කතාකරන්න දේවල් තියෙත්දි මාධ්‍ය වලට සම්බන්ධ වුණා. මට විශේෂයෙන් කියන්න දෙයක් නැත්නම්, මම කියන දේ තව කෙනකුට වැඩකුත් නැත්නම්, මම මගෙ පාඩුවෙ ඉන්නවා. මම කොහොමත් කැමැති නැහැ නළු නිළියන්ව විකටයො වගේ පාවිච්චි කරන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. මේ කාලවල එහෙම වැඩ සටහන් වල වැඩි වීමක් දකිනවා. ඒකට මම මාධ්‍යයට විතරක් ඇඟිල්ල දිග් කරන්නෙ නැහැ. කලාකරුවෙක් අකැමැති නම් කෙනකුට ඒවට නොයා ඉන්න පුළුවන්නෙ. ඒක තමන්ගෙ කැමැත්ත. නමුත් මං කැමැති නැහැ වැඩ සටහන් වල නටන්නයි ඕප දූප කියන්නයි. මගේ අතිශය පෞද්ගලික ජනතාව දැන නොගත යුතු දේ මාධ්‍ය ඉස්සරහ කියන්න මම කැමැති නැහැ. ඒකෙන් තව කෙනකුගේ ජීවිතයට යම් දෙයක් එක්කහු වෙනව නම් කමක් නැහැ. නමුත් අපිටත් අදාල නැති සමාජයටත් වැඩක් නැති දෙවල් මාධ්‍ය ඉස්සරහ කියන්න මං යන්නෙ නැහැ. මං ඒවගේ ඒවා බලන්නෙත් නැහැ. ඒව බල බල ඒවට බැන බැන ඉන්නෙත් නැහැ.


 ධම්මිකා සුරංජි පතිරණ