සබීතාගෙන් ජයලලිතා කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා - සබීතා පෙරේරා

Thursday, November 04, 2021 , 0 Comments




නිරන්තරයෙන් ඉතාම ප්‍රශස්ත මට්ටමේ සිනමා නිර්මාණ රසවිඳීන ඇය නැරඹූ නවතම චිත්‍රපටය පිළිබඳව ඇගෙන් දීර්ඝ විග්‍රහයකි. චිත්‍රපටය මේ වසරේ එළිදැක්වුණු "තෙලෙවි" නම් චිත්‍රපටයයි. මේ චිත්‍රපටය දෙමළ, හින්දි සහ තෙලිඟු යන භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය කර ඇත. තෙලෙවි යන දෙමළ වචනයෙහි අ‍ර්ථය නායිකාව යන්නයි. මේ කතාව ඔවුන්ගේ හදවතේ ජීවත් වුණු නායිකාවක් ගැනය. ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ දේශපාලනික නායිකාවක් ලෙස ප්‍රකට ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලළා සැකසුණු මේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කර ඇත්තේ ඒ.එල්. විජයි විසිනි. කංගනා රනාවුත් සහ අරවින්ද් ස්වාමි විසින් ජයලලිතාගේ සහ එම්.ජී.ආර්ගේ චරිත නිරූපණ කරයි. ජයලලිතා ජයරාම්ව හඳුන්වන්නේ 60 දශකයේ දකුණු ඉන්දියානු සිනමාවේ නිළි රැජන ලෙසයි. මේ චිත්‍රපටය පිළිබඳව විග්‍රහ කරන තැනැත්තියද මෙරට සිනමාවේ දක්ෂ රංගන ශිල්පිනියක් වීම විශේෂය. එහෙයින්ම රංගවේදිනී සබීතා පෙරේරාගෙන් "තෙලෙවි" චිත්‍රපටය පිළිබඳව  මෙලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 

 


තෙලෙවි චිත්‍රපටිය ගැන මූලික හැඳීන්වීමක් කළොත්?


"තෙලෙවි" කියන්නේ දෙමළ භාෂාවෙන් නායිකාව කියන අර්ථය. ඉන්දියාවෙ හිටපු එක් ජනතා නායිකාවකගේ ජීවිත කතාව තමයි මේ චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි ජයලලිතා ජයරාම්. ජයලලිතා ගැන සහ ඇගේ දේශපාලනය ගැන අපි හැමෝම අහලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නේ ඇය 60 දශකයේ ඉන්දියාවේ දෙමළ සිනමා රැජින, ඇය එම්.ජී.ආර් සමඟ රඟපෑවා, පසුව දේශපාලනයට ආවා වගේ මූලික දේවල් ටිකක්. නමුත් ඉන් ඔබ්බට ඇගේ ජීවිතය ගැන මේ චිත්‍රපටය හරහා දැනගත්තා සහ ඇය ගැන හිතපු සමහර දේවල් වෙනස් වුණා. කවුරුත් බලාපොරොත්තු වුණේ නැති ජයලලිතා කෙනෙක් තමයි අපි මේ තුළින් දකින්නේ. තෙලෙවි චිත්‍රපටය බැලුවට පසුව මට කාන්තාවක් විදිහට තවත් ගැහැනියක් ගැන ආඩම්බර හිතුණ චිත්‍රපටයක් මේක.


 


චිත්‍රපටයේ සිනමාත්මක වටිනාකම ගැන කතා කළොත්?


තෙලෙවි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඒ.එල්. විජයි කියන අධ්‍යක්ෂවරයා. චිත්‍රපටයේ වැඩිපුරම තියෙන්නේ ජයලලිතාගේ සිනමා ජීවිතය ගැන. මමත් සිනමා නිළියක් නිසා චිත්‍රපටයේ තියෙන හැමදේම හරි හුරුපුරුදුයි. හැම රංගන ශිල්පියෙකුටම ශිල්පිනියකටම අපේම දෙයක් කියලා තේරෙන්නේ. චිත්‍රාගාරවල රූගත කිරීම්, ජයලලිතාගේ සහ එම්.ජී.ආර්ගේ සබඳතාව ගොඩනැඟෙන හැටි ඇය දේශපාලනයට යන හැටි, විශේෂයෙන් දකුණු ඉන්දියාවේ දේශපාලනය ගැන පුදුම ලස්සනට හරිම සිනමාත්මකව අධ්‍යක්ෂවරයා චිත්‍රපටය තුළින් කතා කරනවා. හරියටම සිනමාව කියන එකට උදාහරණයක් විදිහට මේ චිත්‍රපටය පෙන්වන්න පුළුවන්. සිනමාව කියන්නේ ප්‍රේක්ෂකයා දකින දේ තුළ ඔවුන්ව ජීවත් කරවන්න පුළුවන් එකට.


 


චිත්‍රපටයේ රංගන ශිල්පීන්ගේ දක්ෂතා ගැනත් කතා කරමු?


මේ චිත්‍රපටයේ ජයලලිතාගේ චරිතයට පණ පොවන්නේ කංගනා රනාවුත්. මම කංගනාගේ චිත්‍රපට ගොඩක් බලලා තියෙනවා. ඇය සම්මානනීය නිළියක්. චිත්‍රපටයේ මම බලාගෙන හිටියා ඇය කොහොම ජයලලිතා වේවිද කියලා. චිත්‍රපටය තුළ ඇය ජයලලිතාගේ චරිතය ඇතුළාන්තයටම ගිහින් තියෙනවා. හැම දෙබසක්ම හැම රංගනයක්ම ජයලලිතාට සමානයි. අරවින්ද් ස්වාමි තමයි එම්.ජී.ආර්ගේ චරිතයට රඟපාන්නේ. අරවින්ද් මේ චරිතය කොච්චර තාත්විකව රඟපානවද කියනවා නම් ඔහු එම්.ජී.ආර්මද කියලා හිතෙනවා. ජයලලිතා දේශපාලනයට එන්න එම්.ජී.ආර් මරණයට පත් වුණාට පස්සේ. එම්.ජී.ආර් දේශපාලනයට එන්නෙ ජනප්‍රියත්වය උදෙසා. ඒත් ජයලලිතා දේශපාලනයට එන්නේ ජනතාවට සේවය කිරීම උදෙසා. චිත්‍රපටයට අනුව ඇගේ දේශපාලනය ආරම්භ කරන්නේම ජනතා සේවයෙන්. චිත්‍රපටයේ එක් තැනක එම්.ජී.ආර් ජයලලිතාට කියනවා "ඔයා දේශපාලනයට එන්න" කියලා. ඇය කියන්නේ "මම දේශපාලනය ගැන දන්නේ නැහැ" කියලා. ඔහු ඇයට කියන්නේ "දේශපාලනය ගැන දැනගන්න දෙයක් නැහැ, ඔයා මිනිස්සුන්ට ආදරේ කරන්න, මිනිස්සු ඔයාට ආදරේ කරයි" කියලා. ඒ අවස්ථාව චිත්‍රපටයේ ඒ තරම් තාත්වික වෙන්නෙ රංගන ශිල්පීන්ගේ දක්ෂතාව නිසා.


 


චිත්‍රපටයේ ඔබ වඩා සිත්ගත් ජවනිකාව මොකක්ද?


චිත්‍රපටයේ අවසානයට ජයලලිතාට දුරකතන ඇමතුමක් එනවා. ඒ එම්.ජී.ආර්ගෙන්. එම්.ජී.ආර්ගේ දේශපාලනික සගයෝ ඔහුවයි ජයලලිතාවයි ඈත් කරනවා දේශලාපනයේ ඉන්නකොට ඔහුට එවැනි සබඳතාවක් තියෙන්න බැහැ කියලා. දේශපාලනික වශයෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ එම්.ජී.ආර් සහ ඔහුගේ බිරිඳව. නමුත් ජයලලිතාගේ සහ එම්.ජී.ආර්ගේ සම්බන්ධතාවයට නමක් නැහැ. ටික කාලයක් දෙන්න ඈත්වෙලා ඉන්නකොට තමයි එම්.ජී.ආර්ගෙන් ජයලලිතාට දුරකථන ඇමතුම් එන්නේ. ඒ දුරකථන ඇමතුමේ අවසානයේ නැවත ඔවුන් දෙදෙනා මුණගැහෙන්න තීරණය කරනවා. ජයලලිතා ඇගේ නිවසේ ඔහුට කෑම බීමත් පිළියෙළ කරගෙන ලස්සනට ඇඳගෙන ඔහු එනකම් බලාගෙන ඉන්නවා. එදා ඔහුට එන්න වෙන්නේ නැහැ. එතනින් පසුව ඔවුන් දෙදෙනා කවදාවත් මුණගැහෙන්නෙත් නැහැ. එදා තමයි එම්.ජී.ආර් මරණයට පත්වෙන්නෙ. ඇයට ඔහුගේ මරණයටවත් එන්න දෙන්නේ නැහැ.


රංගන ශිල්පියො විදිහට අපි හැමෝටම කතාවක් තියෙනවා. මේ වගේ චිත්‍රපටයක් බලනකොට අපිට ඒක දැනෙනවා වැඩියි. මොකද එතන ඉන්නෙත් රංගන ශිල්පිනියක් සහ රංගන ශිල්පියෙක්. ඒ වගේම ජයලලිතා ඉන්දිරා ගාන්ධි අගමැතිනියව පාර්ලිමේන්තුවේදි මුණගැහිලා ඉංග්‍රීසියෙන් කතාවක් කරනවා. ඒ ජවනිකාව කංගනා ඉතාම ලස්සනට රඟපානවා.


 


සැබෑ ජීවිතයේ චරිතයක් ප්‍රතිනිර්මාණය කරද්දී බලපාන අත්‍යවශ්‍ය සාධක මොනවාද?


සැබෑ ජීවිතයේ ජීවත් වුණු චරිතයක් ප්‍රතිනිර්මාණය කරන එක ඉතාම අසීරු කටයුත්තක්. මීට වසර විස්සකට විතර පෙර මම සුදත් මහදිවුල්වැවගෙ "දණ්ඩේ ලූ ගිනි" කියලා ටෙලිනාට්‍යයක රඟපෑවා. ඒ චිත්‍රපටය මට රඟපාන්න ලැබුණේ එන්.එම්. පෙරේරාගෙ බිරිඳගෙ චරිතය. සෙලීනා පෙරේරා කියන්නේ වාමාංශික ව්‍යාපාරය ගොඩනඟන්න උදවු කරපු කාන්තාවක්. ඒ කාලෙත් මම දැනගෙන හිටියා මේ චරිතය නිරූපණය කරන එක ලේසි වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන් මිනිස්සුන්ගේ ආදරය දිනාගත්ත දේශපාලනික චරිතයක් නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඉතාම අමාරුයි. අපි චරිතය ගොඩනගන්න ඕනේ. ඒ කාලෙත් මට විවිධ චරිත රඟපෑ මේ රඟපෑමේ ආසාවක් තිබුණ නිසා සෙලීනා පෙරේරා හා සම්බන්ධ වාමාංශික ව්‍යාපාරවල පොතපත කියෙව්වා. විවියන් ගුණවර්ධන, හෙක්ටර් අබේවර්ධන වගේ නොයෙකුත් පුද්ගලයන් මුණගැහිලා ඔවුන්ගෙන් ඇය ගැන විමසුවා. මම සෙලීනා පෙරේරාට සාධාරණයක් ඉටු කරනවා නම් අවම වශයෙන් ඇය කරපු වැඩ කටයුතු ටික ගැනවත් අධ්‍යයනය කරන්න ඕනේ. සූරියමල් ව්‍යාපාරය ගැන වාමාංශික ව්‍යාපාරය ගැන මම සෑහෙන්න අධ්‍යයනය කළා. චරිතය නිරූපණය කරද්දි මම සාමාන්‍ය ජීවිතයේ නොකරන දේවල් ගොඩක් කරන්න වුණා. මට පෙළපාලි යන්න වුණා, උද්ඝෝෂණවලට යන්න වුණා. මගේ ස්වරූපය පවා ඇගේ විදිහට හදාගත්තා. ආකෘතියෙන් වගේම මම මගේ සන්දර්භයත් සෙලීනා පෙරේරා විදිහට වෙනස් කරගත්තා. සෙලීනා කියන්නේ ඉතාම උගත් බුද්ධිමත් කාන්තාවක්. ඒ චරිතය නිරූපණය කරන්න මම ලොකු උත්සාහයක් ගත්තා. ඒ චරිතයට මට ඉතාම හොඳ ප්‍රතිචාරත් ලැබුණා.




මෙරට දේශපාලනික චරිතයක් නිරූපණය කරන්න අවස්ථාව ලැබුණොත් ඔබ නිරූපණය කරන්නේ කාගේ චරිතය ද?


මට එහෙම ආරාධනාව තවම ලැබිලා නම් නැහැ. එහෙම චරිතයක් නිරූපණය කරනවා නම් අපි අපේ ස්වරූපය පවා වෙනස් කර ගන්න ඕනේ. තලවි චිත්‍රපටයේ ජයලලිතාගේ අවසාන කාලය නිරූපණය කරනකොට හොඳට පේනවා කංගනාගේ ස්වරූපයත් ඇය හා සමානවම වෙනස් කරගෙන කියලා. ජයලලිතා වගේ පිරිපුන් වෙලා කංගනා ඇගේ ස්වරූපයත් වෙනස් කරගත්තා. මට එහෙම චරිතයක් ලැබෙනවා නම් මම කැමැතියි ඉන්දිරා ගාන්ධි මැතිනියගේ චරිතය වගේ චරිතයක් නිරූපණය කරන්න. ලංකාවේ නම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ වගේ චරිතයක් නිරූපණය කරන්න කැමතියි. ලාංකේය දේශපාලනයේ වගේම ලෝක දේශපාලනයේත් ඇය ඉතා විශේෂ චරිතයක්. ඇය ලෝකේ පළවෙනි අගමැතිනිය. ඇගේ චරිතය ලංකාවේ කාන්තාවන්ට ලොකු අභිප්‍රේරණයක් වුණු චරිතයක්. මම කැමතියි ඒ වගේ චරිතයක් නිරූපණය කරන්න. එහෙම චරිතයකට ආරාධනා කළොත් සෑහෙන්න ලොකු මහන්සියක් වෙලා ඒ චරිතෙට සූදානම් වෙන්න ඕනේ.


 


තෙලෙවි චිත්‍රපටය සහ ජයලලිතාගේ චරිතය මේ තරම් ඔබට දැනිලා තියෙන්නේ දේශපාලනයට එන්න පොඩි අදහසක් තියෙන නිසාවත්ද?


අනේ නැහැ. ජයලලිතා ජීවත්වෙලා ඉන්න කාලේ මම ඇය ගැන හොයලා තියෙනවා. ඒ වගේ ඉස්මතු වුණු කාන්තා චරිත ගැන මම කොහොමත් විශේෂ අවධානයක් යොමු කරනවා. ඒත් ඇය ගැන විශේෂ ආදරයක් තිබිලා නැහැ මට. මේ චිත්‍රපටයේදි ඇගේ දේශපාලනයට වඩා ගැහැනියක් ලෙස ඇය නැඟී සිටින ආකාරය තමයි මට ගොඩක් වටින්නේ. ලංකාවේ දේශලාපන තත්ත්වය ගැන ගොඩක් ඉස්සර ඉඳලාම මගේ ඒ තරම් පැහැදීමක් නැහැ. ඒක අද ඊයේ ඉඳලා නෙමෙයි ඉස්සර ඉඳලා තිබුණු අපැහැදීමක්. ඒ නිසා සබීතාගෙන් කවදාවත් කාටවත් ජයලලිතා කෙනෙක් බලාගන්න බැරි වෙයි.


නිර්මාණි බණ්ඩාරනායක