අහිමිවීම ගැන මම දුක්වන්නේ නෑ - දයාන් විතාරණ

Thursday, November 04, 2021 , 0 Comments




තෙවැනි ඇසකින් ලොව දකින ඔහු මෙරට බහුතර සුප්‍රසිද්ධ චරිත සිය කැමරා කාචයේ සටහන් කර ගත්තේ කිසිවෙකුත් නොදුටු සුන්දරත්වයක් ඒ ඒ පුද්ගල චරිතයන් වෙත ආරෝපණය කරමිනි. අප නොසිතන බොහෝ දේවල් ජීවිතයේ සිදුවිය හැකි බව සනාථ කරමින් ඔහුටද ඔහුත් නොසිතූ තැනකට එන්නට දෛවය පාර කැපුවේය. මෙරට ඡායාරූපකරණ ක්ෂේත්‍රය තුළ තවත් ඔහුට නඟින්නට හිණි පෙත්තක් නොමැතිය. තම උත්සාහයත්, කැපවීමත් සමඟම උත්පත්තියෙන් රැඟෙන ආ වාසනා ගුණයද සමඟ එකී ක්ෂේත්‍රය තුළ දිගු ගමනකට උරුමය හිමිකර ගත් ඔහු දයාන් විතාරණය. ඡායාරුප ශිල්පියෙකු වශයෙන් ක්ෂේත්‍රය පුරා කීර්තිමත් නාමයක් දිනා ගත්තාසේම වර්තමානය වනවිට ඔහු මෙරට ගීත ක්ෂේත්‍රය තුළද තම නාමය රඳවා තබන්නට සමත් වූ ගායකයෙකු බවටද පත්වී හමාරය. පසුගිය දිනක ඔහු සිය ගායන දිවියේ 468 වැනි ගීතය ගායනා කරමින් ගි ලොව සුවිශේෂී අනන්‍යතාවයක් තහවුරු කරගත් ගායකයෙකු බවමට පත් වූයේය. මේ ගායකයා බිහිවූයේද අහම්බයකින් නොවේ. එසේම මේ ඡායාරූප ශිල්පියා ද බිහි වූයේ ද අහම්බයකින් නොවේ. මේ පසුපස බොහෝ දුක්බර , සෝබර මෙන්ම ලස්සන කතාන්දර ද ඇත්තේය. මේ දයාන් ඡායාරුප ශිල්පියෙකු මෙන්ම ගායකයකු ද වූ කතාවේ සොඳුරු සැමරුම්ය.


 

දයාන් විතාරණ කියන නම ක්ෂේත්‍රය පුරා වැජඹෙන්නේ ඡායාරූප ශිල්පියෙක් විදියට. නමුත් දැන් ඔබ ගායකයකු ලෙසටත් ඒ හා සමානම ජනප්‍රියතාවයකට පත්වී තිබෙනවා. මේ දෙකෙන් වඩා කැමැති මොකටද?


වඩා හොඳ කෝකද කියලා තෝරන්න බෑ. මේ දෙකටම එක හා සමානව ආසයි. ආදරෙයි. මට මේ දෙකින් එකකින්වත් ගැලවෙන්න බෑ. සින්දු කිව්ව කියලා පින්තූර නොගෙන ඉන්න බෑ. පින්තූර ගත්ත කියලා සින්දු නොකියා ඉන්න බෑ. ඇත්තටම කිව්වොත් එක ඇහක් වහලා අපි තනි ඇහෙන් බලන්නේ නෑනේ. ඇස් දෙකෙන්මනේ බලන්නේ. ඒ වගේ තමයි මට මේ දෙකම එක්ක ජීවත් වෙන්න ඕන.


 


නමුත් ඔබ මුලින්ම වුණේ ඡායාරූප ශිල්පියෙක් නේද?


ඇත්තටම කිවුවොත් මට මුලින්ම ඕන වුණේ ගායකයෙක් වෙන්න. 1982 දී මම නන්දා මාලිනී මහත්මියගේ සංගිත පන්තියට එන්නේ ඒ බලාපොරොත්තුවෙන්. ගායකයෙක් වෙන්න ආසාව තියෙන නිසා ගායනය පුරුදු වෙන්න තමයි එතැනට එන්නේ. අපි අවුරුද්දක් විතර යනකොට කල එළිදැක්මකුත් පැවැත්වූවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ප්‍රමුඛ සම්භාවනීය පිරිසක් ඉදිරියේ. දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, වසන්තා තිලකාංගනී, ඉන්දිරා කාරියවසම්, අනූෂා මාදොළ, දමයන්ති ඒකනායක, ප්‍රබෝධා යහම්පත්, නලින් ජිනේන්ද්‍ර අල්විස් අපි ඔක්කොම එකම දිනයේ ඒ පන්තියට ඇතුළත් වුණු අය. අපි කරපු කළඑළි දැක්මෙදි මම මනමේ කුමාරයා හැටියට රඟපෑවා. මනමේ කුමරිය වුණේ අනූෂා මාදොළ. එදා අපේ පංතියේ හිටපු බහුතරයක් දෙනෙක් අද ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න අය. නන්දා මිස් ගේ පංතියේ ඉන්න කාලෙදිම ඇය අපිව ඇගේ ‘සත්‍යයේ ගීතය‘ ප්‍රසංගයේ අත්වැල් ගායනයට සම්බන්ධ කර ගත්තා. නලිනුයි මමයි කීර්ති අයියායි, ගාමිණී පෙරේරායි තමයි අත්වැල් ගායන කණ්ඩායම වුණේ. අපි සම්බන්ධ වෙන්නේ මැද හරියෙදියි. කොහොම වුණත් අවුරුදු එක හමාරක් විතර අපි සත්‍යයේ ගිතයත් එක්ක රට වටේ ගියා. ඇත්තටම කිවුවොත් මම මුලින්ම මුදලක් හම්බ කළා නම් කළේ ගායනයෙන්. මට මතකයි සත්‍යයේ ගීතය අත්වැල් ගායනය වෙනුවෙන් මට රුපියල් එකසිය විසිපහක් වැනි මුදලක් ලැබුණා.


 


ඔබ කොළඹ එන්න කලින් මොනවද කළේ?


අපේ ගම මාතර දෙනිපිටියේ. නමුත් අපි ඒ කාලේ පදිංචි වෙලා හිටියේ මාතලේ. මාතලේදි මම කළෙත් සින්දු කියපු එකයි චිත්‍ර ඇඳපු එකයි තමයි. ඉස්කොලෙදිත් මම වැඩිපුර නැඹුරු වෙලා හිටියේ මේ දෙකට. මම මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ඊට පස්සේ තමයි මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුණේ. අපේ තාත්තා රජයේ නිලධාරියෙක්. තාත්තා තැනින් තැනට මාරු වෙලා යනකොට අපිටත් ඔහුත් එක්ක යන්න වුණා. මම මූලික අධ්‍යාපනය ලබන කාලේ තාත්තා හිටියේ මහනුවර ඒ නිසා මම ධර්මරාජයට ගියා. ඊට පස්සේ තාත්තා මාතලේට මාරු කළා. ඒ නිසා මම මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කළා.කොහොම හරි අවුරුදු පහෙන් පහට තාත්තා මාරු වෙන කොට අපිටත් එයා එක්ක යන්න සිද්ධ වුණා. මුල්ම කාලේ තාත්තා බදුල්ලෙත් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ නුවරඑළියට මාරු කරලා තියෙනවා. මාව හම්බවෙලා තියෙන්නේ තාත්තා නුවරඑළියේ ඉන්න කොට. 1968 මම ඉස්කෝලෙ යන වයසට එනකොට අපි ඉඳලා තියෙන්නේ මහනුවර. 1973 තමයි තාත්තා ආයෙත් මාතලේට මාරු වෙන්නේ. මම මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ ඉන්න කොට තමයි තාත්තා නැතිවෙන්නේ. හැබැයි මට අපි නුවරඑළියේ හිටපු කාලය ගැනත් යාම්ගම් මතකයක් තිබෙනවා. මට හොඳට මතකයි අපි නුවරඑළියෙදි. ‘නරිබෑණා‘ නාට්‍යය බැලුවා. ගම දුවට රඟපෑවේ ශ්‍රියානි වීරකෝන් (ශ්‍රියානි අමරසේන) එතකොට මට අවුරුදු හතරක් විතර ඇති. ගම දුවයි නරිබෑණයි විතරයි මතක. තාත්තා පොතකුත් ගත්තා මට මතකයි .මම මුලින්ම හැබැහින් දැක්ක නිළිය තමයි ශ්‍රියානි අක්කා. ඒ වගේම තමයි මම මුලින්ම ඡායාරූපයක් ගත්ත නිළියත් ශ්‍රියානි අක්කා. ඒක සිද්ධ වුණෙත් ශ්‍රියානි අක්කාගේ දුව ඉනෝකා අපිත් එක්ක පන්තියට ආවා. ඒකාලේ තත ඡායාරූපකරණය ඉගෙන ගන්නවා. දවසක් එයා මාව ශ්‍රියානි අක්කට හඳුනවලා දුන්නා.‘ අම්මේ මෙයා අපේ පන්තියේ ළමයෙක්. එයා පින්තූර ගන්නවා කියලා. ඊට පස්සේ ඇය මට අවස්ථාවක් දෙනවා ඇයගේ පින්තූර ගන්න. කොහොම හරි 1982 දි තමයි මම මේ ක්ෂේත්‍ර දෙකම පටන් ගන්නේ දැන් අවුරුදු 40ක් වෙන්න එනවා.




අම්මගෙන් තාත්තගෙන් බලපැමක් තිබුණද මේ ක්ෂේත්‍ර දෙකට යොමු වෙන්න.


මම පොඩිකාලේ ඉඳලා සින්දු කියන්න ආසයි. ඒක කාටවත් නවත්වන්න බෑ. අපේ ගෙදරට කවුරු ආවත් මම ආසයි එයා ඉස්සරහට ගිහින් සින්දු කියන්න. මට මතකයි අපේ තාත්තා හම්බවෙන්න කවුරුහරි ආවොත් මම දොර රෙද්ද අස්සෙන් ගිහින් එබිකම් කරලා බලා ඉන්නවා. එතකොට තාත්තා දන්නවා මට සින්දුවක් තියන්න ඕන වෙලා තමයි මේ බලා ඉන්නේ කියලා. ඉතින් තාත්තා අඬගහනවා එන්න පුතා කියලා . මම ඉතින් ඇවිත් ආචාර කරලා සින්දුවක් කියලා යනවා. තාත්තා ඒ අවස්ථාව මට එදා ලබා දුන්න හින්ද තමයි මගේ සබකෝලය නැති වුණේ. අදටත් ඕන පිරිසක් ඉස්සරහ මට බය නැතිව සින්දු කියන්න පුළුවන් වුණේ. ඒ කාලේ මට අවුරුදු 5ක් විතර ඇති.


අපේ තාත්තටයි අම්මටයි හොඳ රසවින්දනයක් තිබුණා. අම්මා ගොඩාක් රුක්මණි දේවියට කැමැතියි. තාත්තා ජෝතිපාලයන්ගේ අඬන්නේ ඇයි සුදු මැණිකේ‘ ගීතයට හරි කැමැතියි. අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් ඉංග්‍රිසි සින්දුවලට තමයි කැමැති වෙලා හිටියේ . ඒකට හේතුව වෙන්න ඇත්තේ ඒගොල්ල ඉංගී‍්‍රිසියෙන් ඉගෙන ගත්තු අය නිසා වෙන්න ඇති. චිත්‍රපටවලට වුණත් වැඩිපුර කැමැති වුණේ ඉංග්‍රිසි චිත්‍රපටවලට. නමුත් මට හොඳටම මතකයි තාත්තා නිධානය චිත්‍රපටය බලන්න ගිහින් ඒක අගය කළා. අම්මයි තාත්තයි දෙන්නම කලාවට ළැදියි. ඒක මටත් බලපාන්න ඇති .


 


තාත්තා නැති වුණාම ඔබලාට දුෂ්කර ජීවිතයක් තියෙන්න ඇති?


අනිවාර්යයෙන්ම . අපේ තාත්තලා හොඳට කාල බීලා අපට හැම සැප සම්පතක්ම දීලා හිටියට රජයේ සේවකයෙකු විදියට මහ දෙයක් ඉතිරි කරපු කෙනෙක් නොවෙයි. තාත්තා නැති වුණේ හදිසි හෘදයාබාධයකින් . අපට මුදල් ඉතිරි කරගෙන තිබුණේ නෑ. අපි හිටියේ කුලී ගෙදරක. කාරෙකක් තිබුණා. අපි හොඳට කාල බීලා සුව පහසුව තාත්තා එක්ක ජීවත් වුණා. ඒ කාලේ තාත්තාට හම්බ වුණේ රු.900 යි. ඒකෙන් රුපියල් 250ක් ගෙවල් කුලි දීලා අනිත් ටිකෙන් ජීවත් වුණා. ඒ ටික හරියටම පිරිමැහෙනවා ජීවත් වෙන්න. හැබැයි ඉතිරි කරන්න බෑ. එකම හොඳක් තිබුණේ අපේ තාත්තා කාටවත් ණය වෙලා තිබුණේ නෑ. ආණ්ඩුවටවත් ණය වෙලා තිබුණේ නෑ. ඒ නිසා ගෙවන්න දෙයක් තිබුණේ නෑ. තාත්තගේ පෙන්ෂන් එකත් මාස ගාණක් ගිහිල්ලා අම්මා අමාරුවෙන් තමයි හදා ගත්තේ.


 


අම්මා කොහොමද ඊට පස්සේ ජීවිතේට මුහුණ දුන්ණේ?


තාත්තාගේ පෙන්ෂන් එකෙන් ජිවත් වෙන එක අසිරු කරුණක් වුණා. අපේ අම්මා කුකරි ක්ලාස් කරලා , ඇඳුම් මැසිමේ ක්ලාස් කරලා සල්ලි හම්බ කළා. අපේ අම්මට ඒ පිළිබඳ ඩිප්ලෝමා එකක් තිබුණා. මාතලේ අය අම්මගේ පන්ති ඇවිත් ඇඳුම් මහන හැටි කෑම හදන හැටි ඉගෙන ගත්තා. ඒකෙන් අම්මා හම්බ කළා අපිව ගොඩ දාන්න අම්මට පුළුවන් වුණේ ඒකෙන් තමයි.


 


පාසල් අධ්‍යාපනය ඉවර වුණු ගමන්මද කොළඹ ආවේ?


ඔව්.. උසස් පෙළ කරලා ඉවරවුණු ගමන්ම මම කොළඹ ආවා. මම ගෙදර ඉන්න කාලේ සිංදු අහනවා , චිත්‍ර අඳීනව, චිත්‍රපට බලනවා. හැබැයි මේ කිසි කෙනක් මම හැබැහින් දැකලා නෑ. මට ලොකු ආසාවක් තිබුණා මේ අය හැබැහින් දැක ගන්න. බණඩාර අතාවුද හා සුජාතා පරමානාදන් මම දැකලා තිබුණා ඔවුන් දෙන්නා මාතලේ හිටපු නිසා. මම හිතුවා කොළඹට ආවොත් මට මේ හැම කෙනෙක්ම දැක ගන්න පුළුවන් වෙයි කියලා. 82 මම කොළඹට ආවට පස්සේ නන්දා මිස්ගේ පන්ති එන්න පටන් ගත්තම විවිධ අවස්ථාවල මේ අය මට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කාලේ මම ඒ අයගෙන් සමරු සටහන් පවා ලබා ගන්නවා. තාමත් මගේ ළඟ ඒ සමරු සටහන් පොත තිබෙනවා. හැබැයි 1983න් පස්සේ මම ඒ සමරු සටහන් ලබා ගෙන නැහැ. මොකද ඒ වෙනකොට මම ටිකෙන් ටික මේ අයව හඳුනා ගන්න පටන් ගත්තා. ඊට පස්සේ මම සමරු සටහන් ගැනීම නැවැත්තුවා. මොකද අර මුලින් ලබා ගත්ත සමරු සටහන් දයාන් විතාරණ කියන රසිකයා ලබා ගත් පිරිසුදු සමරු සටහන් නිසා.


 


වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වුණාට පස්සේ නේද ඔබ වෘත්තීය ගායකයෙක් වෙන්නේ?


ඡායාරූප ශිල්පියෙක් වුණාට පස්සේ මට තිබුණු කාර්ය බහුලත්වය නිසා මට ගායකයෙක් වෙන්න තිබුණු කාලය ඇහිරිලා ගියා. සින්දුවක් ඉන්න ගමන් මිමිණුව මිසක් සින්දුවක් රෙකෝඩ් කරන්න ඕන කියන හැඟීම මට ඇති වුණේ නෑ. මම දන්න විදියට මට ලොකුම ඉල්ලුම තිබුණේ ඡායාරූප ගන්න. ගීත ගයන්න අවස්ථාවක් ඇවිල්ලා තිබුණේ නැති නිසා මම ඒ ගැන දැනගෙන හිටියෙත් නෑ. නන්දා මිස් පින්තූර ගන්න ඇවිත් කරපු යෝජනාවක් නිසා තමයි මම ඇත්තටම ගායකයෙක් වුණේ. මට හැඟීමක් ආවෙත් එතකොට තමයි. කොහොම හරි නන්දා මිස් ගේ ආරාධනයෙන් රෝහණ වීරසිංහයන් ගේ සංගීතයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ ගීපද රචනයෙන් ‘ වැටෙන් එහා මල් පඳුරේ ‘ ගීතය ගයමින් තමයි මම මුලින්ම ගායකයෙක් වුණේ. දැන් ඒ ගැන මට හිතද්දි හරියට හීනයක් වගේ.


 


එහෙම ගායකයෙක් වෙලා දැන් කොච්චර කල්ද?


ඒක වුණේ 1999 දී. දැන් හරියට අවුරුදු විසි දෙකක්. වැටෙන් එහා ගීතය 99 දෙසැම්බර් මාසේ තමයි ස්වර්ණවාහිනියෙන් රූප රචනා කළේ. 2000 මුල ඉඳලා ඒක ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. වැටෙන් එහා ජනප්‍රිය වෙන්න ගත්තම මට තව තව සින්දු කරන්න හිතුණා . ඊට පස්සේ පුදසුනක නිසල බව, ඔබෙ සුසුම් පවන් සලයි, ඩැෆඩිල් මල, වසත් කාලය මනරම්, වැනි සින්දු කරන්න පටන් ගත්තා . ඒ වගේම මේ සින්දු ජනප්‍රිය වෙන්නත් ගත්තා. 2002 අප්‍රේල් 30 මේ ගීත ඇතුළත් ගීත ඇල්බමයකුත් නිකුත් කළා. ඊට පස්සේ ‘ සිත්තම් කරමින්‘ නමින් තවත් සංයුක්ත තැටියක් කළා. හැබැයි ඊට පස්සේ සීඩී කරන එක පාඩු වුණා. පේව්මන්ට් එකෙත් අඩු ගානට සීඩි විකිණෙන්න ගත්තා. තාක්ෂණයේ වෙනස්. නමුත් එක්ක අපිත් වෙනස් වෙලා දැන් ඉතින් යූ ටියුබ් හරහා සින්දු ජනගත කරන එක තමයි කරන්නේ. ඇත්තටම කියනවා නම් ඒකෙන් අපට ලොකු ආදායමක් නෑ. නමුත් ලබන සතුට තමයි අපේ තෘප්තිය. ඕක ඉතින් ටිකක් සූක්ෂ්ම විදියට කරනවා නම් ආදායමක් ලබන විදියටත් කරන්න පුළුවන්. එහෙම තැනකටත් අපි එන්න ඕන. නමුත් තාම අපි ඉන්නේ සින්දු කීමේ හා ශ්‍රවණය කිරීමේ ආසාව මූලික කර ගත් තැනක . නිර්මාණයෙන් කොච්චර මුදලක් හම්බවෙනවද කියන තැන නොවෙයි. ඡායාරූපකරණයේදි වුණත් එහෙමයි. තවමත් මම මුදලට වඩා ආස පින්තූර ගන්න. මම කැමැතියි අනිත් අයව ලස්සනට දකින්න. නිර්මාණයක් කිරීමේ ආත්ම තෘප්තිය තමයි එතැන තියෙන්නේ. මම මගේ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවොත් කොයි තරම් ඡායාරූප ප්‍රමාණයක් මේ වෙනකොට අරන් ඇත්ද? ඒත් අද මේ දැන් කෙනෙක් ඡායාරූප ගන්න ආවොත් ඒක මම ගන්නෙත් ඉස්සල්ලම ඡායාරූපයක් ගන්නවා වගේ හැඟීමකින්.


 


ඡායාරුපකරණයට වගේම ගායනයටත් ඔබට පූර්වාදර්ශ තිබුණද?


පොඩිකාලේ ඉඳලම මම පින්තූර බලන්න ආසයි. පත්තරේ අන්තිම පිටේ යන නළු නිළි ඡායාරූප මම හැමදාම බලනවා. ඊට පස්සේ ෆිල්ම් ෆෙයාර් සඟරාව බලන්න පටන් ගත්තා. බැක් ලයිට් පිළිබඳ මුලින්ම මගේ ඔලුවට ආවේ ෆිල්ම් ෆෙයාර් බලල තමයි. මට ගුරුවරු හිටියේ නෑ. සින්දු කියන්න ආවෙත් එහෙම තමයි. නමුත් මම හොඳ සින්දු අහන්න ගත්තා. අමරදේව සර්, නන්දා මිස්, ටී. එම් ජයරත්න, , සුනිල් එදිරිසිංහ , එඩ්වඩ් ජයකොඩි , සනත් නන්දසිරි, දයාරත්න රණතුංග, සෝමතිලක ජයමහ වැන්නන්ගේ ගීත නිතර ශ්‍රවණය කරන්න ගත්තා. නිතර ගායනා කරන්න ගත්තා . එතකොට මගේ හඬත් මැදිලා ආවා. නන්දා මිස්ගේ පන්තියෙන් ඒක තවත් ඔපවත් වුණා.


 


පස්සෙ කාලෙක ඔබ නළුවෙකුත් වෙනවා?


ඒකත් අහම්බයකින් සිද්ධ වෙච්ච දෙයක්. ඇත්තටම මම නළුවෙක් වුණේ උදයකාන්ත වර්ණසූරිය නිසාවෙන්. නිල්මිණි තෙන්නකෝන්ගේ විවාහ උත්සවයේ පින්තූර ගන්න ගිහින් ඉන්න කොට උදයකාන්ත හා බිරිඳත් එනවා විවාහ උත්සවයට. එතකොට උදයකාන්ත අලුත් ටෙලිනාට්‍යයක් කරන්න සූදානමින් ඉන්නෙ. මාව දැකලා උදයකාන්තගේ බිරිඳ උදයට කියලා තිබෙනවා අලුත් නාට්‍ය යේ චරිතයකට මාව හොඳයි කියලා. අන්තිමේ නිල්මිණි දවසක් මට කතා කරල ඇහුවා රඟපාන්න කැමැතිද? කියලා. ඒ වෙලාවේ නම් මට හීන් දාඩිය දැම්මා . හැබැයි වැඩිය රඟපාන්න නෑ. දෙබස් අඩුවෙන් තියෙන්නෙ කීවම මමත් කැමැති වුණා. එහෙම තමයි මම උදයකාන්තගේ ‘සාගරය පරදා‘ නාට්‍යයෙන් ඉස්ඉස්සලම නළුවෙක් වුණේ. පස්සෙ කාලෙක සංගීතා වීරරත්න නිසා මට චිත්‍රපටයකත් රඟපාන්න අවස්ථාව හිමි වුණා. දවසක් සංගීතා මට කතා කරල අහනවා ‘ඔයා මගේ මහත්තයා වෙන්න කැමැතිද? කියලා. මම බැලුවා මේ මොකක්ද මේ කියලා . එතකොට සංගීතාත් විවාහ වෙලා ඉවරයි. එයා මට කියලා තියෙන්නේ එයා නිෂ්පාදනය කරන චිත්‍රපටයේ එයාගේ ස්වාමි පුරුෂයාගේ චරිතය රඟපාන්න කියලයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ වසන්ත ඔබේසේකර. මම ඔහුව මුණ ගැහෙන්න ගිය පළමු වතාවෙදිම ඔහු මාව චරිතයට තෝරගෙන තිබුණා. ඒ අනුව තමයි මම ‘සෙව්වන්දි‘ චිත්‍රපටයෙන් සිනමා නළුවෙක් වෙන්නේ.


 


කැමරා කාචය තුළින් ඔබ ඕනෑතරම් කාන්තා සුන්දරත්වය විඳ තිබෙනවා. මේ කාන්තා චරිත හා ප්‍රේමය , ආදරය වැනි කාරණා පිළිබඳ ඔබේ ජීවිතයේ කොයි වගේ තැනක්ද තිබුණේ?


කාන්තා චරිත කිව්වම මුලින්ම ඔලුවට එන්නේ අම්මනේ . අම්මගේ ආදරේ කියන එක අදටත් වෙන කොහෙන්වත් හොයා ගන්න බැරි දෙයක්. අම්මගේ තිබුණ ඒ ආදරය හරි ප්‍රබලයි. මට තිබුණු ලොකුම ප්‍රශ්නෙ තමයි අපේ අම්මා තාත්තාත් නැතිව මාව හදලා , අම්මත් මේ ගෙදර රැජණක් වගේ ඉඳලා තවත් කාන්තා චරිතයක් මේ ගෙදරට ආවම අම්මට තියෙන තැන කොතැනද කියන එකයි. බිරිඳක් ආවම අම්ම මා වෙනුවෙන් කරන වැඩ ටික ඇයට පවරන්න වෙනවා. ඇත්තටම කිවුවොත් මට සිනමා ක්ෂේත්‍රයෙන් පවා විවාහ යෝජනා ආවා. ජනප්‍රිය කෙනෙක් මගේ බිරිඳ කර ගන්න පවා අවස්ථා මට තිබුණා. හැබැයි ඒ එක්කම අම්මට වෙනස්කමක් වෙලා හිත රිදෙයි කියන ලොකු බයකුත් මගේ හිතේ තිබුණා.


 


අම්මට ඕන කමක් තිබුණෙ නැත්ද ඔබට විවාහයක් කරලා දෙන්න?


මුල් කාලේ එහෙම වුවමනාවක් තිබුණා. නමුත් පස්සේ පස්සේ ඒ ගැන අම්මා වැඩිය කරදර වුණේ නෑ. මම හිතන්නේ මගේ කැමැත්තට ඉඩ දුන්නද දන්නෙ නෑ. ගෙදරදි මට හැම දෙයක්ම කරලා දුන්නේ අම්මා. කොහේහරි යන්න ඕන වුණොත් ඇඳුමක් පවා තෝරලා දුන්නේ අම්මා. මගේ මුදල් පරිපාලනය කළේ අම්මා. බැංකුවේ කොච්චර සල්ලි තිබුණද කියලවත් මම දන්නේ නෑ. මට හිතුණා මම විවාහ වුණොත් මේ කොටස ඔක්කොම බිරිඳට දෙන්න වෙනවා. එතකොට ඒක අපෙ අම්මා කොහොම දරා ගනීද කියන එක මට හිතා ගන්න බැරි වුණා. මම විවාහ වුණා නම් ඒ අම්මගේ අණසක යටතේ. අනිත් පැත්තෙන් කාන්තාවක් ගෙනත් ඇයට අසාධාරණයක් කරන්නත් බෑ. කාලය ඔහොම ගිහින් විවාහය කෙරෙන්නෙ නැති තැනට ආවා. අපේ අම්මා මිය යනකොට මට අවුරුදු 44ක්. ඒ කාලේ වෙනකොට මගේ යාළුවෝ ඔක්කොම විවාහ වෙලා. දරු මල්ලො ලබලා. අනිත් පැත්තෙන් මම වෙඩින් කරන නිසා විවාහයේ තිබෙන ගැටලුකාරී තත්වයන් හොඳීන් අත් විඳීනවා. මේක හරි අමාරු දෙයක් කියලා මට දැනෙන්න ගත්තා. සමහරු වෙඩින් කරලා ෆොටෝ ටික ගෙනියන්න කලින් ඩිවෝස් වුණු අය ඉන්නවා.


 


විවාහයක් නැති වුණාට ඔබට ප්‍රේමයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් වුණාද?


විවාහය කියන එක අත්‍යවශ්‍ය නෑ. නමුත් ප්‍රේමය, ආදරය අත්‍යාවශ්‍යයි. ප්‍රේමය මට තිබුණා. මම හුදකලා වෙලා කියලා මට දැනෙන්නේ නෑ. හැමෝගෙම ආදරයට බඳුන් වෙනවා. අදටත් මම ප්‍රේම කරනවා. මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙනියන කෙනෙක් නොවෙයි. ප්‍රේමය විඳීන, ප්‍රේමය හොඳට දන්න හැබැයි කිසි දෙයක් අල්ල ගන්නෙ නෑ. අල්ලගත්තොතින් තමයි අතහරින්න වෙන්නේ. දරාගන්න පුළුවන් තැනක ප්‍රේමය තියෙනවා.


 


විවාහයක් කර ගත්තේ නැති එක ගැන පොඩි පසුතැවීමක්වත් නැත්ද?


කිසිම පසුතැවිල්ලක් නෑ. සතුටක් මිසක්. මගේ බොහොමයක් යාළුවෝ අද කියන්නේ උඹට තියෙන සැනසීම අපිට නෑ කියලයි. මම විශේෂයෙන් හිතල විවාහ නොවුණා නොවෙයි. කොහොම හරි ඒක සිද්ධ වුණේ නෑ. අහිමි වීම් ගැන මම දුක් වෙන කෙනෙක් නොවෙයි.


 


විවේකය ගත කරන්නේ කොහොමද?


ගෙවුණු අවුරුදු ගණනාවටම විවේකයක් තිබුණේ නෑ. ඇත්තටම දැන් මට විවේකයක් අවශ්‍යයි. දැන් ටික කලක පටන් මම උපන් දින සුබ පැතුම් මුහුණු පොත හරහා කරගෙන යනවා. ඒ වෙනුවෙනුත් මම හුඟාක් වෙහෙසෙනවා.


 


සින්දු කොච්චර කියලා තියෙනවද?


මේ වනවිට ගීත 468 ක් ගායනා කරලා තියෙනවා. තව ඉස්සරහටත් පටිගත කිරීම් කිහිපයක්ම තිබෙනවා.


 ජීවිතේ ඉතිරි කාලය ගෙවන්නේ කොහොමද?


මට ඕන කරදරයක් නැතිව සතුටින් ඉතිරි කාලය ගෙවන්න. ලෙඩක් දුකක් වෙලා ඇඳට වැටෙන්නෙ නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


 

හේමාලි විජේරත්න