පුංචි පුතත් එක්ක ගෙවන ජිවිතය, ලබන අත්දැකීම් වෙනමම එකක්- ළහිරු මුදලිගේ

Wednesday, November 03, 2021 , 0 Comments





ළහිරු මුදලිගේ කිව්වාම කළින් ටී.වී. බලපු අයයි දැන් සෝෂල් මීඩියා බලමින් සිටින අයයි නොදන්න විදිහක් නැහැ. ළහිරු මේ දවස්වල වැඩිපුරම කතා කරන චරිතයක් බවට පත්වෙලා තියෙන්නේ සෝෂල් මීඩියා අවකාශයේ දිගහැරෙන යූටියුබ් ප්‍රවාහයේ රූපවාහිනි වැඩසටහනක තිබිය යුතු ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය හරි අපූරුවට ඔහුගේ හරි ටී.වී. හරහා ප්‍රේක්ෂකයන්ට සමීප කරමින් අලුත් අත්දැකීමක් ඔවුන්ට ලබා දෙන නිසයි..ඉතිං ඔහු ඔහුගේ මේ දවස් වල අලුත් වැඩ කටයුතු ගැන පුවත්පතක් සමඟින් මෙලෙස පවසා තිබුනා.



ළහිරු කොහොමද මේ දවස්වල ජීවිතය...?


මේ දවස්වල ජීවිතය ගෙවෙන්නෙත් කලින් කරන් හිටපු වැඩ ටික එක්කම තමයි. මගේ හරි ටී. වී එක යනවා චැනල් එකක් හැටියට. ඊට අමතරව හරි ලෝබල් කියන කම්පනිය යනවා ජාත්‍යන්තර නිෂ්පාදන සමාගමක් විදිහට. ගොඩවෙලාවට අපි එකෙන් කරන්නේ වෙනත් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ එකතු වෙලා ඩොකියුමන්ට්‍රිස්. තවත් අපේ තියෙනවා හරි ඩිජිටල් ආයතනය. ඒකෙන් කරනෙන් ඩිජිටල් ඇඩ්වර්ටයිසින්. මේ සේරටම අමතරව මගේ අනෙක් ව්‍යාපාර කටයුතුත් සිද්ධ වෙනවා.මේන දේ තිබ්බත් අපි දෙන්නාගේ කටයුතු දැන් වෙනස් වෙලා ඉමේත් පුතා නිසා.


ඒ කියන්නේ පුංචි පුතා ළහිරුගේ සහ සඳුනිගෙ සැහැල්ලු ජීවිත වෙනස් කරලද..?


ඔව්, ඇත්තටම, මේක අපි දෙන්නටම අලුත් වෙනස් ඇත්දැකීමක්. මීට කලින් අපි වැඩසටහන්වලදී හරි යාළු මිත්‍රාදීන්ගේ හරි පවුලේ උදවියගේ හරි පුංචි ළමයි එක්ක වැඩ කරලා තියෙනවා. එයාල එක්ක වැඩ කිරීමේදී විවිධ අත්දැකීම් අපි ලබල තියෙනවා. ළමයි වඩාගෙන ඉඳලත් තියෙනවා. හැබැයි තමන්ගේ දරුවෙක් කියන එක වෙනම හැගීමක්.   වැඩසටහන්වලදී මම බෙදාගෙන තිබුණේ කාගේ හෝ දරුවෙකුගෙන් ලබපු අත්දැකීමන්නේ. නමුත් මෙතෙක් මට කවදාවත් ළමයෙක් ඉන්නකොට අත්දැකීම මෙහෙමයි කියලා කියන්න හැකියාවක් තිබුණ නැහැ. මට දරුවෙක් නැතුව ඒ   අත්දැකීම මට කියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඇත්තටම පුතා එක්ක ගෙවන ජීවිතය,  ලබන අත්දැකීම් වෙනමම එකක්. අනේ මන්දා ඒ අත්දැකීම් මට වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. අනෙක් ඕනම දෙයක් වචනවලින් කියන්න පුළුවන් වුණාට. එක පැත්තකින් හරීම සුන්දරයි. වෙනම සතුටක් තියෙන්නෙ.


තවම පුතාට මාස 03 ඉවර වුණා විතරයි. ඒ ගෙවුණ මාස 03 නේ දවසින් දවස එයාගෙ රිඇක්ෂන් වෙනස් වුණා. දවසින් දවස හිනාවෙන එක පවා පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වුණා. ඒ නිසා අපි දෙන්නටම දවස ගානේ අලුත් අත්දැකීම් ලැබෙනවා. එයා වොෂ් දාන එකේ ඉඳලා ඇඳුමක් අන්දන එක දක්වාම අපට වෙනස් අත්දැකීමක් එකතු කරනවා.

මාස 03 ඉවර වුණා විතරයි අපි පුතාව කෝට්ටේ රජමහා විහාරයට එක්කගෙන ගියා. එයා එක්ක මුලින්ම ගමනක් යන එකත් අපට අලුත් අත්දැකීමක් එකතු කළා. මුලින් ඕන තරම් මම කෝට්ටේ රජමහා විහාරයට ගිහින් තිබුණා. බැන්දට පස්සේ මමයි සඳුනියි ගියා. දැන් අපි හැඩ ගැහිලා තියෙන්නේ මෙයාගෙ විදිහට.




ළහිරුට කොහොමද සඳුනිව මුලින්ම හමුවෙන්නෙ...?


සඳුනිව හම්බවෙන්නේ ඇත්තටම ෆ්ලයිට් එකේදී. සඳුනිගෙ ෆැමිලි එක හිටියේ ඩුබායිවල. මමත් ඩුබායිවල තියෙන අවුරුදු උත්සවයකට කම්පියර් කරන්න යන ගමන්. අපි ගියෙත් එක ෆ්ලයිට් එකේ. ආයෙත් මම ෂෝ එක ඉවරවෙලා ආවෙත් එකම ෆ්ලයිට් එකේ. එතකොට සඳුනි A/L කරන කාලේ. අපේ ආදර සම්බන්ධය අවුරුදු 07 ක් විතර තිබුණා. ඊට පස්සෙ තමයි අපි විවාහ වුණේ.  සඳුනි සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්. ඇය තවමත් රැකියාව කරනවා. මේ දවස්වල පුතා ලැබිලා නිසා මැට්නිටි ලීව් පිට ඉන්නේ. කාන්තාවක් වුණාම රස්සාවක් කරන්න ඕන, ස්වධීනව නැගී සිටින්න ඕනෙ කියන තැන මම හැමදාමත් ඉන්නවා.



අද ලංකාවේ අමුතු සිද්ධියක් වුණාත්, අලුත් චරිතයක් කැපී පෙනුනොත් ඔවුන් ළහිරුගෙ හරි ටී.වී. වල හොට් සීට් එකේ ඉඳගන්නවා. මේක කොහොමද ඔයා කරන්නෙ.?


අද ලංකාවේ මොන සිදුවීම වුණත් ඒක දේශපාලන, ක්‍රීඩා, සමාජයීය කෝක වුණත් මීම්ස්   හැදෙනවා. ඒ මීම්ස් වලින් තමයි ඒ සිදුවීම ඉහළට යන්නේ. පහුගිය අවුරුදු එකහමාරක කාලයේ එවැනි සිද්ධියක් හෝ ඊට අදාළ පුද්ගලයන් පළමු ඉන්ටවිව් එක දෙන තැන බවට හරි ටී.වී. පත්කර ගත්තා.  එතනදී පැති දෙකක් තියෙනවා. ප්‍රධාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය කියලා ප්‍රවාහයක් දෙකක් තිබුණට මුල් කාලවලදී ප්‍රධාන ජනමාධ්‍යවලට  තමයි ප්‍රවෘත්ති සාකච්ඡා කවුරු වුණත් මුලින්ම ලබා දුන්නේ. එතනින් තමයි සමාජ මාධ්‍යවලට ඒ කතාව ආවේ. නමුත් අද ඒක වෙනස්වෙලා. 

අපි සමාජ මාධ්‍යයේ හදලා තියෙන ෆ්ලැට්ෆෝම් කොයිතරම් සාර්ථක ද කියන එක මත මිනිස්සු විශ්වාසය ඇති කරගෙන හරී ටී.වී. වලට ඉන්ටවිව් එක දෙන තැනට පත් වෙලා. විශේෂයෙන්ම දෘශ්‍ය මාධ්‍යයෙන් කෙනෙක් තමන්ගේ අත්දැකීම් කතා කරන්නේ ඒ මාධ්‍යය ගැන පූර්ණ විශ්වාසය තිබුණත් විතරයි. 



වර්තමානයේ තියෙන තාක්‍ෂණ විප්ලවය මත දෙන ඉන්ටවිව් එකේ කෑලි කපලා බට් කරල වෙනමම කතාවක් ගොඩනගන්න පුළුවන්නෙ. හරි ටී.වී. පහුගිය වැඩසටහන්වලට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මාගේ ඉඳලා ධම්මික පෙරේරා වැනි ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයින් වගේම රංගන ශිල්පීන්, නිරූපන ශිල්පීන් බොහෝ දෙනෙක් ඇවිල්ලා තමන් මෙතෙක් මාධ්‍යයට නොකියූ කතා කිව්වා. උදාහරණයක් විදිහට කිංස්ලි සිරසෙන් අයින්වෙලා මුලින්ම ඉන්ටවිව් එක දෙන්නේ හරි ටී. වී එකට. පහන්තුඩාවේ සිද්ධියේදී ඒ කපල් එක සමාජයේ  දැඩි ප්‍රහාරයකට ලක්වෙනකොට ඔවුන් මට කතා කරලා ඉන්ටර්විව් එකක් ඉල්ලුවා. ඊට පස්සේ මේක මුළු රටේම නිවුස් එකක් බවට පත් වුණා. මම විශ්වාස කරනවා විශ්වාසයක් නොමැතිව කවුරුවත් එහෙම තමන්ගේ නොකී ආත්මීය කතාව රූප මාධ්‍යයේදී කරන එකක් නැහැ කියල. දෙවැන්න අපි කරන වැඩේ තියෙන කොලිටි එක. අපි වුණත් හිතනවාන්නේ මේකට ඉන්ටර්විව් එකක්දීල මට මොනවා වෙයිද කියලා. ඒ වගේම තමන් ඉඳගන්න ෆ්ලැට් ෆෝම් එක කොයිතරම් දුරට මිනිස්සු අතරට යනවද කියන එකත් අද මිනිස්සු හිතනවා. 



මොකද අපි කොයිතරම් හොඳ කතාවක් කිව්වත් වැඩක් නැහැ ඒක බලන්නේ අහන්නෙ 10 දෙනෙක් නම්. මේ සියල්ල එක්ක තමයි හරි ටී. වී. එකට ඇවිත් ලංකාවේ දැවැන්ත චරිත පවා තමන්ගේ නොකී කතා කියන්න කැමති වුණේ. මම හරි ටී.වී. එක නිර්මාණය කරලා ඒ ෆ්ලැට්ෆෝම් එක ජනතාවට අපි බ්රෑන්ඩ් කරල පෙන්නුවා. අපි සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යයේ දිග හැරුණු යූටියුබ් කාරයෝ කියන සංකල්පයෙන් අපි වෙනස් බව ජනතාවට වටහා දුන්නා. කැමරා 03, 04 ක් යොදාගෙන ටී. වී එකේ කරන ලොකු නිෂ්පාදනයක තියෙන කොලිටියට අපි යූටියුබ් ෆ්ලැට්ෆෝම් එකට ගෙනාව. ඒ විදිහට සහ ඊටත් වඩා කොලිටියට වැඩසටහන් කළ හැකි බව පෙන්නුවා. ඒ නිසා හරි ටී. වී එක මාකට් වුණා.


හරි ටී.වී. එක ගත්තොත් හැම වෙලාවකම අලුත් වූ ප්‍රොඩක්ෂන් තමයි විකාශය වෙන්නේ. නිවේදකයාගේ ඇඳුමේ ඉඳලා අපි කොලිටි එක දෙන්න උත්සාහ කරනවා. මේ හැම එකක් එක්කම තමයි විශ්වාසනීයභාවය ඇති වුණේ.


ළහිරු හරි ටී.වී. වල හොට් සීට් එකේදී දැවැන්ත චරිත අඬවන්නේ හිතාමතාමද ? අපේ භාෂාවෙන් කිව්වොත් ටැක්ෆුලිද මේ වැඩේ කරන්නේ...


මෙහෙමයි  ටැක්ෆුලි කියන එක නෙවෙයි. හැබැයි ටැක්ෆුලි වෙන්න අවශ්‍ය සාධක මම හදා ගන්නවා. ඒ කියන්නේ නැවතත් විශ්වාසය ගොඩනගාගන්නව කියන එක. මම මගේ මාධ්‍ය ජීවිතයේ අවුරුදු 18 න් 15 ක්ම හිටියෙ ස්වර්ණවාහිනියේ. මම මුලින්ම එන්ටටේන්මන්ට් ප්‍රසන්ටර් කෙනෙක්. ස්වර්ණවාහිනිය හද රැඳී පැය තුළින් තමයි ජනතාව මාව හඳුනා ගත්තේ. ඊට පස්සේ කොෆි විත් ළහිරු ඇන්ඩ් මුදිත, මෙගා ස්ටාර් වගේ වැඩසටහන්වල ඉදිරිපත් කිරීම් කළා. මගේ එකම සහ අවසන් රස්සාව ඒක. එතන මම නිදහස ඉදිරිපත් කරන්නෙක් ලෙස පුහුණු වෙන්න ගිහිල්ලා, ඊට පස්සේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වෙලා අවසානේ ඊ.ඒ.පී. ගෘෘප් එකේ මැනේජර් ප්‍රොමෝෂන් විදිහට තමයි ස්වර්ණවාහිනියෙන් ඉවත් වුණේ. 



අදටත් මට ස්වර්ණවාහිනිය එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්වර්ණවාහිනියත් මට ආදරෙයි. මමත් ස්වර්ණවාහිනියට ආදරෙයි. ළහිරු මුදලිගේ කියන බ්‍රැන්ඩ් එක හැදුවේ ස්වර්ණවාහිනිය තමයි. ඒ නිසා ටෙලිවිෂන් එකේ වැඩ කරන්නේ කොහොමද කියන අත්දැකීම මට තියෙනවා. අනෙක් එක මම හිටියේ මැනේජ් ප්‍රොමෝෂන් විදිහට නිසා බ්‍රැන්ඩ් එකක් ප්‍රමෝට් කරන විදිහ ගැන දැනුමකුත් මට තියෙනවා. මේ දේවලුත් එක්ක ඔය කියන  ටැක්ෆුලි කතාව ගැළපෙනවා තමයි. අවශ්‍ය වැඩසටහන අවශ්‍ය වේලාවට මම ජනතාවට දෙනව.


මෙච්චර වැඩ ගොඩක හිරවෙලා ඉන්න ළහිරුට ගෙදර වැඩවලට සහයෝගය දෙන්න කාලයක් තියෙනවද...?


මම කරනවා. මොකද අපි දෙන්නා විවාහ වෙලා අපි පදිංචි වුණේම මේ ගෙදර. මම මේ ගෙදර හදලා තිබුණේ අලුතෙන්. අපි දෙන්න විතරයි මේ ගෙදර හිටියේ. සඳුනිත් රස්සාවට යනවා. හවසට ගෙදර ඇවිල්ලා අපි දෙන්නම ගෙදර වැඩ කරගන්නවා. අපේ ගෙදරට වැඩට කෙනෙක් ගත්තේ බබා ලැබුණට පස්සේ. එතකන් අපි දෙන්නා පුළුවන් විදිහට වැඩ බෙදාගෙන කළා. වළං සෝදන එකත් මම කරනවා. ඒකෙ පොඩි ජොලියකුත් තියෙනවා. මානසික නිදහසකුත් තියෙනවා. එහෙම නැතුව බැහැ අද කාලේ ජීවිත ගෙනියන්න. සඳුනි ගෙදර වැඩ කරනා, මම රස්සාව කරලා හම්බ කරලා කන්න දෙන්නම් කියන තියරි මගේ ළග නැහැ. දැන් වුණත් උදව්වට කෙනෙක් හිටියත් බබාගෙ වැඩවලට මමත් උදව් කරනවා. මේ දවස්වල සඳුනිගෙ අම්මා අපිත් එක්ක ඉන්නවා. මගේ අම්මයි, තාත්තා ඉන්නේ මාළඹේ.



හරින්දි ලියනගේ