ළඟදීම මාව ආයෙත් දැක බලා ගන්න පුළුවන් - තාරුකා වන්නිආරච්චි

Tuesday, August 17, 2021 , 0 Comments

 


තාරුකා වන්නිආරච්චි කියන්නේ රූප රාජිනියක ලෙසින් කිරුළු පැලඳූ තැනැත්තියක්. වර්තමානයේ අපට සිටින දක්ෂ, තරුණ රංගන ශිල්පිනියක්ද වනවා. රංගනයටත්, නර්තනයටත් එකලෙසින් දස්කම් දක්වන ඇය උතුම් මවු පදවිය ලැබීමත් සමඟ කලාවෙන්  කෙටි විවේකයක් ලබා ගත්තාය. මේ වන විට සුරතල්, සිඟිති පුතකුගේ මවක් වන තාරුකා නැවතත් කලා කටයුතුවලට පිවිසීමට සූදානම් වන බව අපට ආරංචි වුණා. එනිසාම  ඇයගේ නවතම කලා තොරතුරු ගැන ඇය ෙමලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 


පුතා සමඟ ගතවන මේ සුන්දර කාලය ගැන මොකද හිතෙන්නේ?


පුතාට දැන් අවුරුද්දයි. ඔහුත් සමග ගතවන මේ කාලය තමයි මගේ ජීවිතයේ සුන්දරම කාලය. අවුරුද්දක කාලය ගත වුණු ආකාරයවත් අපට තේරුණේ නැහැ. ඔහු මෙලොවට ආ දා පටන් අද දක්වා කාලය ඇත්තටම හීනයක් වගේ. ඔහු දැන් යම් යම් දේවල් ඉගෙන ගන්නට උත්සාහ කරනවා සහ ටිකෙන් ටික කතා කරන්නත් උත්සාහ ගන්නවා. මේ දේවල් හරිම ආසාවෙන් තමයි මම බලාගෙන ඉන්නේ. ඒ වගේම පුතාව ඉක්මනට තව ටිකක් උස් මහත් කරන්නත් නොඉවසිල්ලෙන් සහ හරිම ආසාවෙන් තමයි ඉන්නේ.


තාරුකා කලාවෙන් අරුත්වෙලා කියන්නේ ඇත්තද?


ඇත්තටම මම කලාවෙන් අරූවෙලා නම් නැහැ. පොඩි විරාමයක් ගත්තා පමණයි. බබා

හම්බ වෙන්න හිටිය අවුරුද්දකට ආසන්න කාලය වගේම බබා ලැබුණට පස්සෙත් අවුරුද්දක් පමණ යනතුරු මම කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. ඉතින් ඒ කාලයේදී රංගන වැඩකටයුතු කරන්න කොහොමත් අපහසුයිනේ. අනික මේ කොරෝනා කරදරත් සමඟ රංගන කටයුතුවලින් ටිකක් අවෑත් වෙන්නත් සිදුවුණා. හැබැයි ඉදිරියේදී අනිවාර්යයෙන්ම අලුත් නිර්මාණ තුළින් මාව ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබේවි.


නුදුරේදීම අලුත්ම නිර්මාණයකට දායක වෙනවා කියලත් ආරංචි වුණා?


 ඔව්. ඇත්තටම ළඟදීම ටෙලි නාට්‍යයක් හරහා මාව නැවතත් ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්. මේ දවස්වල විකාශය වන ටෙලි නාට්‍යයකට මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ගැන සම්පූර්ණ විස්තර ඉතා ඉක්මනින් නුදුරේදීම කියන්නම්.


ඔබ අවසන් වරට සම්බන්ධ වූ නිර්මාණයක් ගැන මතක් කළොත්?


මම අවසාන වරට සම්බන්ධ වුණේ කැලැහඳ ටෙලි නාට්‍යයට. බබා හම්බවෙන්න ඉන්න විටදීත් මම එහි රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. එම නිර්මාණය ජාතික රූපවාහිනි නාළිකාවේ තමයි විකාශය වුණේ. ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන් අතින් 1933දී රචිත කැලෑහඳ නවකතාව ඇසුරින් දයාරත්න රටගෙදර මහතාගේ නිර්මාණ කාර්යයක් වශයෙනුත් තමයි ප්‍රේක්‍ෂකයාට එම ටෙලි නාට්‍ය තිළිණ වුණේ.


කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයේ ඉහළම තලයේ සිටි අවධියකදී කලාවෙන් අවෑන්වීමට සිදුවීම ගැන දුකක් නැද්ද?


මම මගේ පෞද්ගලික ජීවිතය ගැන ගොඩක් සිතන කෙනෙක් විවාහ වෙලා දරුවකුත් සිටින නිසාවෙන් රංගනයට පමණක් නොවෙයි පෞද්ගලික ජීවිතයටත් මූලිකත්වය දිය යුතුමයි. ඉතින් රංගනයෙන් කෙටි විරාමයක් ගන්නට සිදුවීම පිළිබඳව කිසිදු දුකක් නම් නැහැ.


ඔබ සතු නර්තන හැකියාවෙන් උපරිම පල ලබාගත්තා කියා ඔබ සිතනවාද?


ඇත්තටම මගේ නර්තන හැකියාව උපරිමයෙන් පෙන්වීමට මට හැකියාව ලැබුණේ Reality තරග වේදිකාවක් තුළදී පමණයි. නිර්මාණ කාර්යයක් හරහා එම හැකියාව හරිහැටි පෙන්වීමට මට තවම අවස්ථාව ලැබිලා නැහැ. ඉදිරියේදී බලමු ඉතින් එවැනි නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මට ගැළපෙනවා නම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.


ඔබ රූ රාජනි තරගයක් ඔස්සේ කලාවට පිවිසි කෙනෙක්. වර්තමානයේදී එවැනි තරග ඔයේ කලාවට පිවිසෙන නවකයන්ට කියන්න තිබෙන්නේ කුමක්ද?


ඇත්තටම අපි කලා ක්ෂේත්‍රයට ආපු කාලයට වඩා, අද සිටින අලුත් පරපුරට කලාවට සම්බන්ධවීමට ගොඩක් අවස්ථාවක් ලැබෙනවා. විවිධ වූ ක්‍ෂේත්‍ර ඔස්සේ ඔවුනට කලාවට පැමිණිය හැකියි. මම කියන්නේ, තමන්ගේ දක්‍ෂතා හරිහැටි හඳුනාගෙන කලාව තුළ තම ගමන ශක්තිමත්ව යෑමට අවශ්‍යය අඩිතාලම දමා ගත යුත්තේ තමන්මයි. හැදියාවෙන් පටන් ගෙන දක්‍ෂතාව දක්වාම තමන්ගේ හැකියාවන් වර්ධනය කරගත් කෙනෙක්ට කලාව තුළින් හොඳ ගමනක් යා හැකියි.


පවුලේ විස්තර කියමු?


මගේ පවුලේ විස්තර කියනවා නම්, මගේ පුතා ජ ඩියොන් අඹගහවත්ත. හස්බන්ඩ් ජනක අඹගහවත. ඒ වගේන්ම මගේ අම්මා හා තාත්තාත් ඉන්නවා. තව මට අක්කා කෙනෙක් ඉන්නවා. ඉතින් අපේ පවුල ඇතුළේ අපි හරිම සතුටින් ඉන්නවා. ඒවා තමයි මගේ පවුලේ විස්තර.


කලා කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?


කලා ක්‍ෂේත්‍රය තුළ ඉදිරියට යන්නට මට මගේ අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබුණනේ. ඒ හා සමානම සහයෝගයක් දැන් මගේ ස්වාමිපුරුෂයාගෙනුත් මට ලැබෙනවා. සමහර වෙලාවට රංගන ශිල්පිනියන්ට කුඩා දරුවන් සිටිනවා නම් එවැනි කෙනෙක් නැවත කලා කටයුතුවලට යොමු වෙනවට ගොඩක් හස්බන්ඩලා කැමැති නැහැනේ. නමුත් මගේ හස්බන්ඩ්ට ඒ සියලු දේ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා නැවතත් කලාවට පිවිසීමට අවශ්‍ය වටපිටාව ඔහු මට සකස්කොටදී තිබෙනවා. ඇත්තටම එය මගේ හිතට මහත් සහනයක්. දැන් මං කිසිදු ගැටලුවකින් තොරව මගේ කලා කටයුතු ටික නැවත ආරම්භ කරන්න පුළුවන්.


ඉදිරියට එන්න තිබෙන අලුත් වැඩකටයුතු මොනවාද?


ඇත්තටම ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කියන දෙයංශයටම ආරාධනා දිගටම ලැබුණා. කොවිච් වසංගතයත් සමඟ එම නිර්මාණ තරමක් ප්‍රමාද වුණා. ඇත්තටම බබාට මාස 06 පමණ වූ දා පටන්ම මට අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණත් මම ඒවා භාරගත්තේ නැහැ. හැබැයි දැන් බබාට අවුරුද්ද සම්පූර්ණයි. ඒ නිසා මට නැවතත් රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. චිත්‍රපටයකට ලැබුණු ආරාධනාව මේ දවස්වල සාකච්ඡා මට්ටමක පවතිනවා. ඉදිරියේදී බලමු ඉතින්.


අවසන් වශයෙන් අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කරමු?


මට එහෙම ලොකුවට අනාගත බලාපොරොත්තු නම් නැහැ. මගේ එකම බලාපොරොත්තුව තමයි මගේ දරුවා. මොකද ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. සමාජයේ හොඳ කෙනෙක් සහ පොළොවේ පයගහල ඉන්න කෙනෙක් කරන්න තමයි මගේ සහ හස්බන්ඩ්ගේ ප්‍රාර්ථනය. මොකද අද සමාජයත් හරිම වෙනනේ. ඒ දේවල් සමඟ දරුවව පරිස්සමෙන් සමාජගත කරන එක තමයි ලොකුම බලාපොරොත්තුව.