මිනිස්සු හමුවෙන්න නැති එක ගැන මට දුකයි - තනූජා

Tuesday, August 17, 2021 , 0 Comments




තනූජා.. ජීවිතේ බොහෝ දේවල් දිනාගත්ත ඔබ දිනාගත්ත වටිනාම දේ මොකක්ද?

මම දිනාගත්ත වටිනාම දේ මේ රටේ මිනිසුන්ගේ ගෞරවය. එහෙම මිනිසුන්ගේ ගෞරවය දිනාගැනීම ලෙහෙසියෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට වාසනාවයි දක්ෂතාවයයි ප්‍රතිපත්තිගරුක වීමයි අවශ්‍ය වෙනවා. ඒ වගේම හැමවෙලේම මාධ්‍යවේදිනියක් විදිහට ජනතාවගේ පැත්තේ සිටගන්න ඕනෙ. ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඕනෙ. ඒ ලබාගත්ත ආදරය හා ගෞරවය ජීවිතේට ගොඩක් වටිනවා. ඒක මම ලබාගත්තේ මේ රටේ පොදුවේ හැම පරම්පරාවකින්මයි. රස රිසි ගී වැඩසටහනින් පටන් ගත්ත මගේ මාධ්‍ය ජීවිතය තුළ මට බොහෝ වැඩසටහන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ඒ හැම වැඩසටහනකින්ම දවසින් දවස මිනිසුන්ගේ ආදරය, ගෞරවය ලබන්න මම වාසනාවන්ත වුණා. මම කිසිම ජාති භේදයක්, කුල භේදයක්, මුදලක් සලකන්නෙ නැති කෙනෙක්. මම මනුෂ්‍ය වර්ගයා තුළ හැම කෙනෙක්ම මනුස්සයෙක් කියලා සලකන කෙනෙක්. හඬක් නගන්නෙ නැති මිනිසුන් වෙනුවෙන් හඬක් නගන්න මම බොහෝ වෙලාවට පෙනී ඉඳලා තියෙනවා. ඔවුන් මට ලබා දුන්න ඒ ගෞරවයට හානි කරන විදිහට මම කවදාවත් වැඩ කරන්නෙ නැහැ. ඒ ලබා දුන්න ගෞරවය මම කිසිම වෙලාවක මුදලට පාවලා දෙන්නෙ නැහැ. මම ලොකු සුපිරි ධනවතෙක් නෙමෙයි. ඒත් මේ දිනාගත්ත ගෞරවය ඊට වඩා ගොඩක් වටිනවා.


තනූජා කියන්නෙ මේ මහපොළොවේ හිටගත්ත ජීවිතේ සතුට උපරිමයෙන්ම විඳින කෙනෙක්?

ඔව්.. 2019 වූහාන්වල කොවිඩ් වෛරසය එන්නට පෙර. ඒ හිතපු හිතිවිල්ල හරියටම හරි. දුක සැප තේරුම් අරගෙන පොළොවේ පය ගහලා ජීවත් වෙන විදිහ කොවිඩ් වෛරසය එන්න පෙර මට මගේ අම්මා තාත්තා කියලා දුන්නා. නමුත් සමහර දේවල් අපි පොත්පත්වල කියවලා තිබුණා මිස ප්‍රායෝගිකව අත්විඳලා තිබුණේ නැහැ. ඒ හින්දා උපරිමයෙන් වින්ඳ ජීවිතය දැන් විඳිනවා කියලා මට කියන්න අමාරුයි. මේ ව්‍යසනය හමුවේ පරිස්සමින් සිටීම* තමයි උපරිම වින්දනය කියලා අපිට සලකන්න වෙලා තියෙන්නේ. අපේ දවස ගෙවෙද්දී අපි පරිස්සමින් හිටියා* කියලා අපිට තේරෙනවා නම් ඒක තමයි මේ පැය විසි හතරේ අපි ලබන ලොකුම විඳීම වෙන්නෙ. ඒ නිසා අදට වුණත් මම ජීවිතේ විඳින විදිහේ ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. නමුත් 2019 වෙනතුරු මම ඉතාම හොඳට ජීවිතේ රසවින්ඳ කෙනෙක්. මම බොහෝ තැන්වල සංචාරය කරපු කෙනෙක්. මම බොහෝ යාළුවන් ආශ්‍රය කරපු කෙනෙක්. මම යාළුවෝ එක්ක එළියට ගිහින් කතාබහ කරලා අදහස් හුවමාරු කර ගත්ත කෙනෙක්. ඒ හැමදේම මේ වෙද්දී නතරවෙලා තියෙනවා. මිනිස්සු හමුවෙන්න බැරිවීම ගැන මම බොහෝ දුකින් ඉන්නෙ. මිනිසුන් එක්ක අදහස් හුවමාරු කර ගැනීමෙන් මම බොහෝ අලුත් වුණා. Online විදිහට අද කළත්, මුණගැහිලා, කෝපි එකක් බීලා ආදරයෙන් සමුගැනීම තරම් ඒ කතාබහවල් සුන්දර නැහැ.


තනූජා.. පුංචි කාලේ දැකපු හීනය මොකක්ද?

මම පුංචි කාලේ දැකපු හීනය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරියක් හෝ තිර පිටපත් රචිකාවියක් වීමයි. මම ඉගෙන ගත්තේ ලින්ඩ්සේ බාලිකාවේ. මම පාසලේ නිසදැස් ලිව්වා. කලා සංගම්වල, සාහිත්‍ය සංගම්වල, වේදිකා නාට්‍ය පිටපත් ලිව්වේ මමයි. මම පාසලේදී නිවේදන කටයුතු කළේම නැහැ. කලා විෂය විදිහට ඉගෙන ගත්තේ චිත්‍ර විෂයයි. පාසල ඇතුළෙදි මම ලිවීමෙන් ජනප්‍රිය වුණා. මගේ අත්අකුරු ඒ කාලේ හරිම ලස්සනයි. පාසලේ අත්අකුරු තරගවලින් ජයග්‍රහණය ලබා තියෙනවා. අද කාලේ වගේ ඒ කාලේ හැඳුනුම්පත් ඩිජිටල් කළේ නැහැ. ඒ නිසා මම රස්සාවක් නැති වුණොත් හැඳුනුම්පත් ලියන්නවත් යනවා කියලා ඒ කාලේ හිතුවා. නමුත් ලොකුම හීනය වුණේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරියක් වීමයි. කොහොම හරි රෑපවාහිනියට පැමිණීමත් සමඟ මගේ ඒ හීනය මගෙන් පොඩ්ඩක් මඟහැරුණා.


අද ඔබ ආර්ථිකමය වශයෙන් යම් ශක්තිමත් කෙනෙක්. තමන්ගේ මහන්සියෙන් ලබාගත්ත මුල්ම මුදල මතකද?

ඔව්.. මට එක වැඩසටහනක් කරලා මුලින්ම රුපියල් හයසිය පනහක මුදලක් ලැබුණා. මම මුලින්ම පුවත්පත්වල ලිපි ලියන්න පටන් ගනිද්දිම තමයි සිරසට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. ප්‍රදීප් කුමාර බාලසූරිය මහතාගේ යාත්‍රා පුවත්පතේ නිදහස් ලේඛිකාවක් විදිහට සම්බන්ධ වෙද්දි ප්‍රදීප් අයියා සුසන්තිකා ජයසිංහගේ සහ නිමල් ලක්ෂපතිආරච්චිගේ ලිපි දෙකක් කරගෙන එන්න කියලා උපදෙස් ලබා දුන්නා. මුලින්ම මම නිමල් ලක්ෂපතිආරච්චි මහතාගෙන් දිනයක් වේලාවක් වෙන් කරගෙන ඔහු හමුවෙන්න ගිය මොහොතේ මාව දැකපු ඔහු ටී.වී. එකේ වැඩසටහනක් කරන්න කැමති නැද්ද?* කියලා ඇහුවා. ඒ අනුව තමයි මම රස රිසි ගී වැඩසටහනට නාරදත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් ගුරුවරයෙක් වගේ හිටපු නිමල් ලක්ෂපතිආරච්චි මහත්තයා තමන්ගේ පළවෙනි පඩියෙන් අම්මට අනිවාර්යෙන්ම දෙයක් අරගෙන දෙන්න. ඒ වගේම තමන්ට මතකයේ තියෙන මොනවා හරි දෙයක් ගන්න* කියලා ඒ කාලේ කියලා තිබුණා. ඒ නිසා රුපියල් හයසිය පනහෙන් මම අම්මට කුඩයක් අරගෙන දුන්නා. මම පොඩි ඔරලෝසුවක් ගත්තා. ඒ ඔරලෝසුව මම සෑහෙන කාලයක් යනතුරු හරිම පරිස්සමින් තියාගෙන හිටියා.


මාධ්‍යවේදිනියකගේ ජීවිතේ තුළ තනූජා ලබපු ලොකුම අභියෝගය මොකක්ද?

මම ඒ ජීවිතේ ලබපු ලොකුම අභියෝගය වුණේ සාමාන්‍ය ජීවිතේ ටීෂර්ට් එකක්, ඉරිච්ච ඩෙනිම් එකක් ඇඳගෙන කොල්ලෙක් වගේ කෙල්ලෙක් විදිහට හිටපු මාව රෑපවාහිනී තිරය ඉදිරියට ගෙන ඒමයි. ඒක තමයි මට අවුරුදු විසි තුනක් ඇතුළත තිබුණු ලොකුම අභියෝගය. ඒ වගේම ඒක පවත්වාගෙන යාමත් අභියෝගයක්. මාව ප්‍රතික්ෂේප වුණත්, මාව පිළිගත්තත් නැතත් මම කිසිම විදිහකින් මගේ ප්‍රතිරෑපය වෙනස් කළේ නැහැ. ඒ සරලකම, මම මමම වීම පවත්වාගෙන ඒම, මේ මාධ්‍ය ජීවිතේ මට ලැබුණු ලොකු අභියෝගයක් වුණා.


තනූජා ජයවර්ධන කියන සාමාන්‍ය කෙනා ජීවිතේ ලබපු ලොකුම අභියෝගය මොකක්ද?

ලොකුම දේ සල්ලි ඉතිරි කරන්න පුරුදු වුණු එකයි. ඒක මට මගේ අම්මා පුරුදු කළා. ඒ වගේම දකින දකින දේවල් අතරින් අත්‍යවශ්‍ය නොවන දේවල් නොගෙන ඉන්නත් දැන් මම පුරුදුවෙලා ඉන්නවා. මම ලෝකෙ රටවල්වලට ගියත්, ලොකු සාප්පු සංකීර්ණවලට ගියත්, කොච්චර වටිනා දේවල් දැක්කත් මට අවශ්‍ය දේවල් හා මගේ ආදරණීයන්ට අවශ්‍ය දේවල් හැරෙන්න අනවශ්‍ය දේවල් නොගෙන ඉන්න දැන් මම පාලනය වෙලා ඉන්නෙ. ඉස්සර මට එහෙම පුරුද්දක් තිබුණෙ නැහැ. මම ලෝභ නැහැ. හැබැයි මට අරපරිස්සම තිබුණා. අදටත් මම හොඳට කාලා බීලා අවශ්‍ය දේවල් අරගෙන හොඳට ඇඳලා පැළඳලා ඉන්නවා. හැබැයි අරපිරිමැස්ම තියෙනවා.



තනූජා වැඩිපුරම මුදල් වියදම් කරන්නෙ, වැඩියෙන්ම හිත යන්නෙ මොනවාටද?

මම සපත්තු සහ ඔරලෝසුවලට හරිම කැමති කෙනෙක්.


ජීවිතේ අද ඉන්න තැනට එන්න ලැබුණු ලොකුම හයිය මොකක්ද?

මගේ ජීවිතේ මට තිබුණු ලොකුම හයිය මම ගැන මට තිබුණු විශ්වාසයයි. මගේ දක්ෂතාවය පිළිබඳව මා තුළ විශ්වාසයක් තිබුණා. මගේ දක්ෂතාවය අධ්‍යාපනය පැත්තෙන් සහ අලුත් වීම තුළින් මම වැඩි දියුණු කර ගත්තා. මමම මා තුළින් පරිණත වෙන ගමන් සමාජය පරිණත කරන්නත් උත්සාහ කළා.


තනූජා පොදු හරහා රංගනයටත් එකතුවෙලා ඉන්නවා. රඟපාන්න පුළුවන් කියලා මුලින්ම කවුද කිව්වෙ?

අදටත් මට රඟපාන්න පුළුවන් කියලා මට හිතෙන්නෙ නැහැ. ෂර්මිලා ධර්මරාසා මහත්මිය මට පොදු නාට්‍යයට ආරාධනා කරද්දිත් කිව්වෙ තනූජා Be your self කියලා. ඒ නිසා තමයි මම මේක බාරගත්තෙ. අදටමත් මට රඟපාන්න පුළුවන් කියලා මට හිතෙන්නෙ නැහැ. පොදු එකේ ඉන්නෙත් මම මම විදිහටම තමයි. මේ චරිතය මට අලුත් දෙයක් නෙමෙයි. ඒ නිසා මම ඒක බාරගත්තා. රඟපෑම සසරින් අරගෙන එන දෙයක්. ඒක හැමෝටම පිහිටන්නෙ නැහැ.


ඔබ දවසට එක ෆිල්ම් එකක් බලන කෙනෙක්. ඒ ෆිල්ම් අතරින් කොච්චර බැලුවත් එපා නොවන ආයෙ ආයෙත් බලන ෆිල්ම් එකක් තියෙනවද?

ඔව්.. මේ වෙද්දි මම ළඟ බොහෝ රටවල්වල තිරගත වුණු ලොකු ෆිල්ම් එකතුවක් තියෙනවා. මම අනිවාර්යෙන්ම හැමදාම එක ෆිල්ම් එකක් හෝ බලන කෙනෙක්. ඉතින් මේ අතරින් Hamari adhuri kahani ෆිල්ම් එකට මම හරිම කැමතියි. මම ඒක සෑහෙන ප්‍රමාණයක් බලලා තියෙනවා. මගේ හිත රිදෙන බොහෝ වෙලාවන්වලදිත් මම ඒක බලලා තියෙනවා. ෆිල්ම් එකේ සින්දු ටික ෆෝන් එකේ දාගෙන මම කාර් එකේ යද්දිත් අහගෙන තමයි යන්නෙ.


තනූජා කවදාවත් විවාහ වෙන්නෙ නැහැ කියලද දැන් හිතාගෙන ඉන්නෙ?

ඔව්.. මම එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. අම්මයි තාත්තාවයි බලාගෙන ඒ අයගේ දුකට සැපට මම ළඟින් ඉන්නවා. මගේ දුකට සැපට එයාලා ඉන්නවා. මට හොඳ ආදරණීය සහෝදරියක් ඉන්නවා. අක්කා මට වෙලාවකට හොඳම හොඳ යාළුවෙක්. එයාගේ පවුලේ අයත් මගේ ළඟම හිතමිතුරන් එක්කත් මම ඉන්නවා. ඒ නිසා විවාහ වෙන්න මම තාම හිතලා නැහැ.


කවදා හරි තනි වෙයි කියලා හිතලා නැද්ද?

තනිකමට මම බය නැහැ. ඉස්සර මම තනිකමට කරුවලට හරි බයයි. ඒත් දැන් මම තනිකමට බය නැහැ. මම ඒ තනිකමට දැන් හෙමින් හෙමින් හුරුවෙමින් ඉන්නවා. ලෝකෙ මිනිසුන්ට හුරුවෙන්න බැරි ලොකුම බය තනිකමයි. නමුත් වයසත් එක්ක මිනිසුන් ඒකට හුරු වෙන්න ඕනෙ. මට මගේ බිරිඳ ඉන්නවා, මගේ සැමියා දරුවන් ඉන්නවා කියලා බොහෝ දෙනා හිත රවට්ටගෙනයි ඉන්නෙ. ඒ රුවටීමෙන් එළියට ඇවිත් තනිකම කියන මම මගෙත් එක්ක ජීවත් වීම සහ මගේ හිතිවිලි එක්ක ජීවත් වීම ප්‍රගුණ කරන්න ඕනෙ. ඒක මම ප්‍රගුණ කරමින් දැන් ඉන්නෙ.


නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් වුණු තනූජා ඊළඟට මොන ක්ෂේත්‍රයට ඇවිත් තියෙයිද?

මම සිනමා අධ්‍යක්ෂකවරියක් වෙන්න ආසාවෙන් ඉන්නවා. මුලින්ම කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ කාන්තාවන් පිළිබඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. කුල මල භේදය, දෑවැදි ප්‍රශ්න, කාන්තාවන්ගේ රැකියා ප්‍රශ්න, ළමා අපයෝජනය වැනි ප්‍රශ්න අපේ රටේ තාම තියෙනවා. ඒ නිසා මේ රටේ සමාජ ප්‍රශ්න ගැන සිනමාවෙන් එක එක විකල්පවලට අපිට යන්න පුළුවන්. කලාවෙන් මිනිසාගේ විඥානය දියුණු කරන්න පුළුවන්. ඒ නිසා අත්දැකීම් ලබන්න මුලින්ම කෙටි චිත්‍රපටයක් කරලා සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


තනූජා.. ඔයා කවුද?

මම ආදරය කිරීම සහ ආදරය ලැබීම කියන දේ දෙපැත්තෙන්ම හිරු එළිය ලැබෙනවා හා සමානයි කියන දේ තරයේ විශ්වාස කරන කෙනෙක්.