කමක් නැහැ අත දිග හැරලා ගහන්න කියලා චමීර කිව්වා - ටීනා ෂනෙල්

Friday, August 13, 2021 , 0 Comments

 





බටහිර නාට්‍ය ආභාසයට සියුම් වැර පහරක් එල්ල කරමින් ලාංකික සුවඳ විහිදෙන, අපේ භූමියේ පැළ වූ, අපූරු නිර්මාණකරණය “වලවෙට්ටුවා" නාට්‍යයේ අභියෝගාත්මක කාන්තා චරිතය ඇයයි. ටීනා ෂනෙල් අරූ හදගැස්ම සරසන කතා නායිකාවයි.


කොහොමද මේ දවස්වල ජීවිතේ?


ස්වර්ණවාහිනියේ විකාශය වන වලවෙට්ටුවා හා සිරස නාළිකාවේ විකාශය වන සකූගේ ලෝකය ටෙලි නාට්‍යවල රූගත කිරීම් සමඟ තරමක් කාර්යබහුලව කාලය ගෙවෙනවා.



වලවෙට්ටුවාහි වෙල්මාගේ චරිතය භාර ගැනීමට පෙර එකී චරිත ස්වභාවය පිළිබඳව ඔබ අධ්‍යයනයක් කළාද?


ඔව්, අනිවාර්යයෙන්ම. තිර පිටපත කියවන විටම එකී චරිත ස්වභාවය මගේ හිතේ මැවී පෙනුණා. ඒ වගේන්ම ඒ චරිතයේ සියුම් ගති ලක්ෂණ මං හොඳින් අධ්‍යයනය කළා. චරිතය ඉදිරියට කරගෙන යන අතරතුරත් මං එකී අධ්‍යයනය දිගටම පවත්වාගෙන යනවා. වලවෙට්ටුවා නිර්මාණයේ වෙල්මාගේ චරිතයට මාව යොදාගැනීමේ ගෞරවය මං හැමවිටම සුරකිනවා. ඒ වගේම චරිතය නිරූපණය කිරීමේදී මට ලබාදෙන නිදහස තුළ එයට උපරිම සාධාරණයක් ඉටුකිරීමට හැකිවෙනවා.



චමීරට අත දිග ඇරලා ගහපු කම්මුල්පාර හරිම සජීවීයි. ඒ තරම් ස්වාභාවික රංගනයකට පරිසරය සැකසුණේ කොහොමද?


මං රංගන ක්ෂේත්‍රයට ආධුනිකයි. නමුත් චමීර රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයි. යම් නිර්මාණයක සාර්ථක රංගනයක් ඉදිරිපත් කිරීමට නම් එක් එක් චරිතවලින් ලැබෙන සහයෝගය වඩාත් වැදගත් වෙනවා. චමීර කියන්නේ මගේ හොඳ මිතුරෙක්. මගේ චරිතයට යම් සාධාරණයක් ඉටු වුණා නම් ඔහුටත් එහි ගෞරවයේ අඩක් අයිතියි. “ කමක් නෑ අත දිග හැරලා ගහන්න කියලා කියපු නිසා මට ඒ රංගනය තාත්විකව නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා.


ඔබ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?


මං කුඩා කාලයේ පටන්ම නිරූපණ ක්ෂේත්‍රයට කැමැතියි. ඒ නිසා ඒ පිළිබඳව සොයා බලන්න වරෙන්ම අධ්‍යයනය කරන්න මං යොමු වුණා. වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීම, විලාසිතා නිරූපණය කිරීම තුළ එකී ක්‍ෂේත්‍රයේ ඉදිරියට යෑමට අවස්ථාව ලැබුණා.


නිරූපණ ක්ෂේත්‍රය තුළ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලයි සමහරක් දෙනා කියන්නේ. ඒ කතාවේ සත්‍ය අසත්‍යතාව ඔබ දකින්නේ කොහොමද?


ඕනෑම ක්ෂේත්‍රයක කිසිම දෙයක් බලහත්කාරයෙන් සිදුවෙන්නේ නැහැ. කෙනකුගේ කැමැත්තෙන් යම් යම් අකටයුතුකම් කරමින් ක්ෂේත්‍රයට ඇඟිල්ල දිගු කරනවා නම් එය ගැටලුකාරී තත්වයක්. බොහොමයක් දෙනා සමාජ මාධ්‍යයන්වල මොඩ්ලලා විදිහට තමන්ව හැඳින්වුවත් ඔවුන් නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ අංශු මාත්‍රයක්වත් දන්නේ නැහැ.


| ගීතයක, දෙකක රූප රචනාවකට රංගනයෙන් දායකවෙලා අතුරුදන් වෙන්නේ එවැනි නිරූපණ ශිල්පීන්. ඕනෑම ක්‍ෂේත්‍රයක පැවැත්ම තීරණය වෙන්නේ ඒ වෘත්තීය තුළ සිදුකරන කැපකිරීම් මත. නිරූපණ ක්ෂේත්‍රය තුළ මං කළ කැපකිරීම් බොහොමයි. ඒ වගේම යම් නිරූපණයකට ආරාධනා ලැබුණත් එයට සම්බන්ධ ආයතනය, එහි වැඩකටයුතු සිදුකරන ආකාරය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් තිබිය යුතුයි. එවිට නිරූපණ ක්‍ෂේත්‍රය තුළ අතරමං වෙන්නේ නැහැ.


ඔබටත් එවැනි අයුතු යෝජනා ඇවිත් තියෙනවද?


මට එවැනි සිද්ධීන්වලට මුහුණදීමට සිදුවූ අවස්ථා ඉතාමත් සීමිතයි. ඕනෑම දෙයක් සෘජුව ප්‍රකාශ කරන නිසා මට අයුතු යෝජනා කරන්න කවුරුත් පෙලඹෙන්නේ නැහැ.



පෙයාර්ස් bpdy shap   එක ඔබට උප්පත්තියෙන් ලැබූ දෙයක්ද? වර්ක් අවුට් කරලා හදාගත්  දෙයක්ද?


මං ජිම් එකට යන්නේ හරිම අඩුවෙන්. මෑතකදී නම් ජිම් ගියේම නැති තරම්. ඒ මගේ උප්පත්තියෙන් ලැබුණු ශරීර හැඩය. ආහාර පාලනයෙන් ගොඩක් ඇඟ සමබර කරගන්න  මං උත්සාහ කරනවා. ගොඩක් ප්‍රිය කරන පීසා, චොක්ලට් වගේ දේවලුත් මං ඉතාමත් සීමිතව කෑමට ගන්නේ. බර වැඩිවෙනවා වගේ දැනෙන කොට ජොගින් යනවා. නමුත් ජිම් යන්න නම් මං කාලයක් වෙන්කරන්නේ නැහැ.


බොහොමයක් දෙනා ශරීර හැඩය වෙනස් කරගන්න ප්ලාස්ටික් සර්ජරිස්, සිලිකන් ෆිලින් සිදුකරනවා. ඔබ එවැනි රූපලාවණ්‍ය විධික්‍රම අනුගමනය කර තිබෙනවාද?


කිසිම විටෙක එවැනි ක්‍රම අස්හදා බලලා නැහැ. එකී රූපලාවන්‍ය ක්‍රම සිදුකළාම කාලයත් සමග විවිධ අතුරු ආබාධවලට මුහුණදීමට සිදුවෙනවා. ඒ වගේත්ම මස්පිඩු ඉලිප්පුණු ශරීරයක්වත් ගොඩක් කෙසඟ ශරීරයක්වත් නිර්මාණය කරගන්න මං කැමැති නැහැ. මං දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා මෙවන් ශරීර හැඩයක් මට ලබාදුන්නාට.


ආදරය ගැන ඔබට දැනෙන්නේ කොහොමද?


ආදරය කියන්නේ හරිම සුන්දර හැඟීමක්. එහිදී වැදගත්ම කරුණ තේරුම් ගැනීම. යම්

කෙනෙක්ගේ වෘත්තියක් කරගෙන යෑමට ලබාදෙන නිදහස වගේම සහයෝගය ආදරයේදී  ගොඩක් වැදගත් වෙනවා. ආදරය දලුලන්නේ එකී මානසික සුවය මත.


ටීනාටත් හිතට සුව දෙන ආදරයක් මුණගැහිලා වගේ?

ඔව්, මං පෙම්වතියක්.


ඔහු ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?


නැහැ. මං ඉදිරියේදී ඔහු ගැන කියන්නම්.


නුදුරේදීම මංගල සීනු හැඬවෙයිද?


තවම විවාහ වීමට බලාපොරොත්තුවක් නැහැ.


අනාගත බලාපොරොත්තු මොනවාද?


ටිනා බටහිර පන්නයේ චරිතවලට පමණක් කොටු වී නැහැ කියලා වලවෙට්ටුවා නාට්‍යයෙන් මං ඔප්පු කළා. මං විශ්වාස කරනවා චරිතය තුළ මට නවමු යමක් කළ හැකි වෙනස් චරිත මට ඉදිරියේදී නිරූපණය කිරීමට අවස්ථාව ලැබෙයි කියලා. විවිධ පරාසයන්ගේ චරිතවලට පණපොවමින් අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය සාර්ථකව ගෙවීමයි මගේ එකම බලාපොරොත්තුව.